HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබේ මුතුන්මිත්තන් හමුවෙන්න! වසර මිලියන හතක් අතීත ආදි මානවයාගේ හැඩරුව

ජර්මනියේ මානව පුරාවිද්‍යාඥයන් පසුගිය දා අමුතු ම පන්නයේ පිළිරූ පෙළක් නිර්මාණය කරල තියෙනව. ඊට ඇතුළත් වන්නේ අපේ මුතුන්මිත්තන් වන ආදි මානවයන් 27කගේ මුහුණුයි. ඒවා නිර්මාණය කර ඇත්තේ ජර්මනියේ ඩෙ‍්‍රස්ඩෙන්හි පැවැත්වෙන අපූරු ප‍්‍රදර්ශනයක් සඳහායි. මේ සමග පළවෙන්නේ ඉන් කීපයක්. මෙම අපූරු නිර්මාණ පෙළ සකසා ඇත්තේ වෝහාරක වෛද්‍ය විද්‍යාව යොදා ගනිමින් පොසිල හිස්කබල්වල ශේෂයන් ඇසුරු කර ගෙනයි. ආදි මානවයාගේ පරිණාමය ඇසුරෙන් වසර මිලියන හතක් පුරා මිනිසාගේ ආදි මුහුණුවරෙහි ඇති වූ වෙනස්කම් මෙම පිළි රූ තුළින් ඔබට දැක ගත හැකියි. මිනිස් පවුල නිර්මාණය කළ මුලින් අප‍්‍රිකාවෙන් බිහිවූ ආදි මානවයන් අතර වසර මිලියන 7කට පමණ පෙර ‘ටූමායි’ හෙවත් සහෙලන්ත්‍රොපුස් චාඩෙන්සිස් sahelanthropus tchadensis නම් මානවයා ද මේ අතර සිටිනවා. මේ මානවයා හැඳින්වෙන්නේ පරිණාමයේ දී චිම්පන්සියාත් මිනිසාත් අතර වූ ආදීම පුරුකක් ලෙසයි.

 
ප‍්‍රදර්ශනයට සකස් කළ නියැන්ඩර්තාල් මානවයන් තිදෙනකුගේ මුහුණේ ඉරියව්


හෝමෝ රුඩොල්ෆෙන්සිස් Homo rudolfensis වසර මිලියන දෙකකට පෙර විසූවෙක්. මොහුගේ ශේෂයන් හමුවූයේ අපි‍්‍රකාවේ කෙන්යාවේදීයි. මොහු මිනිස් පරිණාමයේ පුරුකක් ද යන්න තවමත් ස්ථිරව නිගමනය කර නැහැ.

පැරන්ත්‍රොපුස් බොයිසේ Paranthropus boisei වසර මිලියන දෙකක් ඉහත ජීවත් වූවෙක්. මොහුගේ හිස්කබල සකස් වී ඇත්තේ ඉතා දැඩි දේවල් විකීමට හැකි වන සේ යි. ඒ නිසා මොහු ‘ඇටවිකන්නා’ යන අන්වර්ත නාමයෙන් ද හැඳින්වෙනවා. මොහුගේ හකුපාඩා විශාලයි; ඒ වගේ ම ඉතා ශක්තිමත්. මානවයන් අතුරෙන් සවිමත්ම ඇනමලය ඇත්තේ මොහුගේ දත්වලයි.

වෝහාරක මානවවිද්‍යාඥයන් මේ මානව පිළිරූ තැනීමේ දී උපයෝගී කර ගෙන ඇත්තේ පොලීසිය අපරාධකරුවන් ඇල්ලීමේ දී හමුවන මිනිස් ශේෂයන් ඇසුරෙන් පිළිරූ ප‍්‍රති නිර්මාණය කරන්නට යොදා ගන්නා පරිගණක තාක්ෂණයට සමාන තාක්ෂණයක්.

”වෝහාරක මානවවිද්‍යාත්මක ක‍්‍රමවේදයන් යොදා ගෙන නිර්මාණය කර ඇති මෙම පිළිරූ තුළින් මානවයාගේ සම්භවය සම්පූර්ණයෙන් ම විදහා දක්වෙන්නේ නැහැ. ඒත් මේ හැම මුහුණකින් ම වෙන වෙන ම කතාවක් කියැවෙනවා. ඊට අදාළ වෙනත් ප‍්‍රදර්ශන භාණ්ඩ රැසක් ද මෙයට එක් කර තියෙනවා. ඔවුන් ජීවත් වූ පරිසරය, කෑමට ගත් දේ, මරණයට තුඩු දුන් හේතුව ඇතුළු තොරතුරු රැසක් මෙහි දී ඔබට දැක ගන්න පුළුවන්” කෞතුකාගාර විශේෂඥයෝ පවසනවා.

ලෝකයේ මෙතෙක් හමු වී ඇති පැරණි ම හෙල්ලක් ද මේ ප‍්‍රදර්ශනය සඳහා එක් කර තියෙනවා. එය කාල නිර්ණය කර ඇත්තේ වසර හාර ලක්ෂයක් පැරණියි කියායි.

ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆ්රිකානුස් Australopithecus africanus වසර මිලියන දෙකකට පෙර විසූ ආදි මානවයෙක්. ඍජුවම අපේ ආදි මුතුන්මිත්තකු ලෙස සැලකෙන ඔහුගේ හිස්කබල විශාල මොළයක් තිබූ බව ප‍්‍රකට කරවන්නක්.

දකුණු අපි‍්‍රකාවෙන් සොයා ගනු ලැබූ ඔස්ටෙ‍්‍රලෝපිතිකස් ඇෆි‍්‍රකානුස් Australopithecus africanus හිස්කබලක් යොදා ගෙන වසර මිලියන දෙකකට පෙරාතුව ජීවත් වූ ප්ලෙසියන්ත්‍රෝපුස් ට‍්‍රාන්ස්වාලෙන්සිස් Plesianthropus transvaalensis (ට‍්‍රාන්ස්වාල්වලින් හමු වූ මිනිසා) ආදි මානවයාගේ මුහුණුවර නිර්මාණය කර තියෙනවා.

අපේ බලංගොඩ මානවයාට පවා නෑකම් කියන හෝමෝ ඉරෙක්ටස් Homo erectus වසර මිලියන එකකට පෙර විසූ ආදි මානවයෙක්. මොහු අපි‍්‍රකාවෙන් ආරම්භ වී ඉන්දියාවට, චීනයට හා ජාවාවලට සංක‍්‍රමණය වන්නට ඇතැයි මතයක් තියෙනවා. ආසියාවෙන් ආරම්භ වී අපි‍්‍රකාවට සංක‍්‍රමණය වූවාය කියාත් මතයක් තියෙනවා.

”ආදි මානවයාගේ විවිධ අවස්ථා දැක්වෙන හිස්කබල පොසිල විශාල ප‍්‍රමාණයක් හමුවී තියෙන්නේ අප‍්‍රිකාවෙන්. ඒ නිසා ‘අපි‍්‍රකාව මානවයාගේ තොටිල්ල’ යනුවෙන් හැඳින්වීමේ වැරැද්දක් නැහැ.” මෙම පිළිරූ නිර්මාණය කරන්නට මුල් වූ ඩෙ‍්‍රස්ඩෙන් කෞතුකාගාරයේ විශේෂඥයෙක් පැවසුවා. ”මෙම ප‍්‍රදර්ශනයේදී මානව වර්ගයාගේ පරිණාමය සොයා විද්‍යාඥයන් පර්යේෂණ පවත්වන ස්ථාන හා කැණීම් කරන තැන් හඳුන්වා දීමත් සිදු කෙරෙනවා. මෙහිදී සිදු කෙරෙන විද්‍යාත්මක කි‍්‍රයාවලියේ සෑම පියවරක් ම විස්තර කෙරෙන අතර නිගමනවලට එළඹෙන ආකාරය ගැනත් පැහැදිලි කෙරෙනවා” ඔහු වැඩි දුරටත් විස්තර කළා.

හෝමෝ අර්ගැස්ටර් Homo ergaster වසර මිලියන එකහමාරකට පෙර විසූ අපි‍්‍රකාවෙන් බිහි වූ ආදි මානවයෙක්. ගී‍්‍රක බසින් ‘වැඩකාරයා’ යන අරුත් ඇති අර්ගැස්ටර් හෝමෝ ඉරෙක්ටස්ට බොහෝ සේ සමානයි.

නියැන්ඩර්තාල් මානවයා Homo neanderthalensis වාසය කළේ වසර 60,000කට පෙරයි. සමහර විට ඔවුන් අපගේ ළඟම නෑයා විය හැකියි. මානව වංශ කතාවේ එක් පරපුරක් නියෝජනය කරන මෙම නියැන්ඩර්තාල්වරුන් තුළ අපට වඩා වෙනස්කම් තියෙනවා. අප අයත් වන්නේ හොමෝ සේපියන්ස් විශේෂයටය. ආදි මානවයා අප‍්‍රිකාවේ පරිණාමය වෙද්දී නියැන්ඩර්තාල් පරිණාමය වූයේ යුරෝපයේ හා ආසියාවේය.

 
‘ටූමායි’ හෙවත් සහෙලන්ත්‍රොපුස් චාඩෙන්සිස් Sahelanthropus tchadensis

 
හෝමෝ රුඩොල්ෆෙන්සිස් Homo rudolfensis

 
පැරන්ත්‍රොපුස් බොයිසේ Paranthropus boisei

 
ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆ්රිකානුස් Australopithecus africanus

 
ප්ලෙසියන්ත්‍රෝපුස් ට‍්‍රාන්ස්වාලෙන්සිස් Plesianthropus transvaalensis

 
හෝමෝ ඉරෙක්ටස් Homo erectus

 
හෝමෝ අර්ගැස්ටර් Homo ergaster

 
නියැන්ඩර්තාල් මානවයා Homo neanderthalensis

Post a Comment

3 Comments

  1. Muthun miththan hamuveema sathutak!
    Samahara aya hugak sathutin hitiya bava penuna.

    ReplyDelete
  2. අඩේ ඔ්‍ය වගේ මිනිස්සුත් තාම ඉන්වනේ අපි අතර උන් හීණ වෙච්ච ලක්ෂන ඇති අය වෙන් ඇති..

    ReplyDelete
  3. ස්තුතියි ලිපියට... ගොඩක් වැදගත් !!!

    ReplyDelete