යෝධ තල්මසාගේ පුංචි නෑයා - ඉන්දියාවෙන් හමු වූ ඉන්දෝහියුස්


මේ ඇට කටු අයත් වන්නේ ඉන්දෝහියුස් (Indohyus) නම් වසර මිලියන 48කට පෙර මිහිමත ජීවත් වූ ක්ෂීරපායී සතකුටයි. මේවා හමු වී ඇත්තේ ඉන්දියාවේ කාශ්මීර ප‍්‍රාන්තයෙන්. මේ ඇටකටු අයත් සතා හැඩයෙන් මීමින්නකු තරම් වුනත් ඌ නෑකම් කියන්නේ පුංචි පහේ සතකුට නෙවෙයි, යෝධ තල්මසාටයි. තල්මසා මුහුදට හුරුවෙන්න ඉස්සර ගොඩ බිම ජීවත් වෙන්න ඇති කියලා විශ්වාසයක් විද්‍යාඥයන් අතර තිබුණා. ඔවුන් මෙතෙක් කලක් විශ්වාස කළේ හිපොපොටේමස් යෝධ තල්මසාගේ ළඟම නෑයා ලෙසයි. ඒත් මේ නව සොයා ගැනීමත් නිසා විද්‍යාවේ නව පිටුවක් පෙරළෙනවා.


මේ සොයා ගැනීමට මුල් වුණු විද්‍යාඥ පිරිසේ නායක මහාචාර්ය හෑන්ස් තීවිසෙන් විසින්. ඔහු ඇමෙරිකාවේ ඔහියෝ ජනපදයේ වෛද්‍ය විද්‍යාව හා ඖෂධ වේදය පිළිබඳ විශ්ව විද්‍යාලයක කායික විද්‍යා අංශයේ ප‍්‍රධානියායි. ඔහු ඇතුළු පර්යේෂණ කණ්ඩායම මේ පණ පොවන්නේ චාල්ස් ඩාවින්ගේ පටන් විද්‍යාඥයන් විශ්වාස කළ මතයකටයි. ඒ තල්මසුන් ගොඩබිම සිට මුහුදට හුරු වූ ක්ෂීරපායී සතුන් ය යන මතයයි. පසුගිය වසර 15 තිස්සේ ඔහු කළ ගවේෂණවලින්, තල්මසා ජලයට හැඩ ගැසීම පිළිබිඹු කරන ඇට කැබලි හා ඇට සැකිලි කොටස් පෙළක් ම සොයා ගැනීමට හැකි වී තියෙනවා. ඒත් මෙතෙක් තල්මසා ගොඩබිමට සම්බන්ධ කළ හැකි ප‍්‍රධාන පුරුක සොයා ගැනීමට ඔහුට හැකි වුණේ නැහැ. මහාචාර්ය හෑන්ස් තීවිසෙන් ප‍්‍රමුඛ පර්යේෂක කණ්ඩායමට මෙය කළ හැකි වූයේ මේ ඉන්දෝහියුස් හෙවත් ‘ඉන්දියානු ඌරා’ගේ ඇට කැබලි සොයා ගැනීමත් සමගයි. කුර දෙකක් සහිත පාද ඇති මේ සතාගේ පොසිල ඇට කැබලි සොයා වසර ගණනාවක් තිස්සේ ඔහු හා පිරිස ඉන්දියාව් කාශ්මීර කඳුකරයේ මඬගල් සහිත ප‍්‍රදේශ පීරුවා.


මේ සතාගේ පොසිල මුලින් ම හමුවුණේ මීට වසර 30කට පෙර ඉන්දියාවේ කාශ්මීර කඳුකරයේ පාෂාණ කොටස් අතර තිබිලයි. රංග රාවෝ කියන ඉන්දියානු භූවිද්‍යාඥයා විසින් මුලින් ම සොයා ගත්තේ දත් කීපයක් හා හකු ඇටයක කොටස් කීපයක් විතරයි. මේ සොයා ගැනීම සම්පූර්ණ කරන්න කලින් හදිසියේ ම ඔහු මියගියා. ඔහු මිය යන විට කාශ්මීරයෙන් ගෙනා පාෂාණ කැබලි රැසක් තවමත් ඉතිරිව තිබුණා. ඔහුගේ වැන්දඹු බිරිඳ මේ තවමත් ගවේෂණය නොකළ මේ පාෂාණ කොටස්, මේ පිළිබඳව තවදුරටත් පර්යේෂණ කරමින් සිටි මහාචාර්ය තීවිසෙන්ට දුන්නා. මේ ගැන තවදුරටත් පර්යේෂණ කරමින් සිටිය දී මේ එක් පොසිල හිස් කබලක් තීවිසෙන්ගේ සහයකුගේ අත්වැරැද්දක් නිසා බිඳුණා. එහි තිබී අමුතු හැඩයක් ඇති කනෙහි අස්ථිකාවක් හමු වුණා. මේ කුඩා ඇටය තල්මසුන්ගේ කන්වලට සුවිශේෂ වූ ඇටයකට සමාන එකක්.

ප‍්‍රමාණයෙන් ගෙදරදොර ඇති කරන බළලකු තරම් වන මේ සතා හැඩයෙන් මීමින්නකුට හෙවත් කුඩා මුවෙකුට සමානයි, කුර සහිතයි. ඒ වගේ ම ශාක භක්ෂකයෙක්. ඇටවල පිහිටීමෙන් බොහෝ දුරට තල්මසාට සමානයි. ඌ ජලයේ ජීවත්වීමට හැඩ ගැසුණු බවට පැහැදිලි ලක්ෂණ තියෙනවා. උගේ ඇට බරින් හා ගණකමින් වැඩි සවිමත් ඒවා. හරියට දැන් ජලජ ජීවිතයට හැඩ ගැසී ඇති හිපොපොටේමසුන්ගේ ඇටවලට සමානයි. මේ නිසා හිපොපොටේමසුන්ට වාගේ උන්ටත් පාවීමෙන් තොරව දිය යට රැඳී ඉන්න පුළුවන්. මෙය හරියට ම සමානයි දිවි රැක ගැනීමට අපි‍්‍රකානු මීමින්නා කරන කි‍්‍රයාවකට. ඌට තමන්ව ගොදුරු කර ගන්න ආ කුරුලූගොයකුගෙන් බේරෙන්න දියට පැනලා දිය යට හැංගෙනවා. මේ විදියට දිය යට මිනිත්තු හතරක විතර කාලයක් හැංගිලා ඉන්න ඌට පුළුවන්. ඉන්දෝහියුසුත් මේ විදියට දියට පුරුදු වෙන්න ඇති.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

3 Comments

  1. Thalmasage punchi neyage thorathuru aasaven kiyevva. Malkakulu thulin aluth karunu godak igana gannava. Thanx.

    ReplyDelete
  2. අඩේ මාර වැඩක්නේ තල්මසා ගොඩත් ඉඳලද??

    ReplyDelete
  3. Honda Lipiyak.Congratulations Malkakulu!!!!
    100000 katath vadiya visit karala neda dan vana vita. Lovata honda de thilina karanna thava thavath dhairyaya saha shakthiya labeva!!!

    ReplyDelete