මේක මීට අවුරුදු 108කට විතර ඉස්සර වැල්ලවත්තේ වෙස්ලි පාසලේ වෙච්ච පුංචි සිද්ධියක්. පන්තියෙ පුංචි ළමයින්ට වාක්‍ය රචනාවක් ලියන්න ලැබුණා. මාතෘකාව - පොල් ගස. ළමයි වාක්‍ය රචනාව ලිව්වා. හමෝම එක වගේම කරුණු ලිව්වෙ. ‘පොල් ගස තාල වර්ගයේ ගසකි. එයින් අපට බොහෝ ප‍්‍රයෝජන තිබේ.’ ආදි වශයෙන් හැම රචනාවකම තිබුණෙ. ඒත් එක ළමයෙක් විතරක් වෙනස් විදියකට ඒ රචනාව අවසන් කරල තිබුණා. ඒ මෙහෙමයි, ‘පොල් ගස පුදුම ගසකි. එයින් තවත් ගසක් උපදියි. ඒ නම් මෝල් ගසය.’ එදා ‘පොල් ගසෙන්’ උපන්නේ මහා ලේඛකයෙක් බව පන්තිභාර ගුරුවරයාට දැනෙන්නට ඇති ඒකයි, පන්තියෙ හැමෝටම ඇහෙන්න ඒ රචනාව කියෙව්වෙ ඒ හින්ද වෙන් ඇති. හදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කිව්වා වාගේ ඒ රචනාව ලිව්ව පුංචි ඒබ‍්‍රහම් පසු කාලෙක අපේ සාහිත්‍යයට මහ මෙහෙයක් කළා. ඔහු තමා ඩබ්ලියු. ඒ සිල්වා. උප්පැන්නෙ තියෙන විදියට කීවොත් වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ‍්‍රහම් සිල්වා. සිංහලෙන් ලියන කියවන අප අමතක නොකළ යුතු නමක්.
ඩබ්ලියු. ඒ සිල්වා උපන්නේ 1890 ජනවාරි 16 වැනිදා වැල්ලවත්තෙදියි. පියා වැල්ලෙවත්ත ආරච්චිගේ හරමානිස් සිල්වා. මව බෝමිරියගේ කැරලයින් ගෝමිස්. මුලින්ම ගියේ වැල්ලවත්තේ වෙස්ලි පාසලට. ඊළඟට ගියේ මිලාගිරියේ සැන්ට් පෝල්ස් එකට. ඔහු සිංහල, ඉංගී‍්‍රසි භාෂා විතරක් නොවෙයි, පාලි හා සංස්කෘත භාෂාත් හදෑරුවා. ඒ නිසා ඔහුගේ පොත්වල භාෂාව නිවැරදියි. ඒවා සිංහල බසින් ලියන කියවන අයට හොඳ අත්වැලක් හැටියටයි, මට නම් හිතෙන්නෙ.
ඔහු ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්, ද කේ. එච්. ඞී. ධර්මසේකර සූරීන් විසින් ‘කතා රජ කතාව’ නමින් ලියූ චරිතාපදානයෙන්.
අපේ සිංහල නවකතාවේ සක්විති ලෙසින් විරුදාවලිලත් ඩබ්ලියු. ඒ. සිල්වා ඔහුගේ මුල්ම නවකතාව ‘සිරියලතා’ ලිව්වේ 1907දි. එතකොට ඔහුගේ වයස 17යි. ඒක මුලින් ‘ශි‍්‍රයාලතා’ නමින් පළ කළේ. තමන් ම මුද්‍රණය කරල පොත් මිටි කර ගහගෙන පොත් සාප්පු ගානෙ ගිහින් විකුණුවාම සල්ලි දෙන පොරොන්දුව පිට පොත් දැම්මා. ඒ එක්කම එකල සිටි පඬිවරුන්ටත් පොත යැව්වා. වැඩි දෙනෙක් ඒක ගණන් ගත්තෙ නෑ. ඒත් එවකට සිටි ප‍්‍රකට පඬිවරයකු වූ වාසල මුදලි ඩබ්ලිව්. එෆ්්. ගුණවර්ධනයන්ගෙන් තරුණයාට දිරි ගන්වන ලිපියක් ලැබුණා. ”ඔබේ පොත කියෙව්වා. භාෂාව හොඳයි. රසවත්. හොඳ අනාගතයක් තියෙනවා. ඒත් පොතේ නමේ දෝෂයක් තියෙනවා. ‘ශි‍්‍රයාලතා’ කියන නම වෙනස් කර ‘සිරියලතා’ කියල යොදන්න” මේ විදියෙ අදහස් ඇතුළත් ලිපියක් ඉක්මනින් ම ආවා. එයින් දිරිමත් වුණු ඩබ්ලියු. ඒ සිල්වා ඊළඟට පොත පොත් සාප්පුවලට දැම්මෙ ඒ විදියට නම වෙනස් කරලා. පොත උණු කැවුම් වගේ ගියා.
ඔහු ලියූ පොත්: සිරියලතා (1907), ලක්ෂ්මී (1922), හිඟන කොල්ලා (1923), පාසල් ගුරුවරී (1924), දෙයියන්නෙ රටේ (1926), කැලෑහඳ (1933), දෛව යෝගය (1936), සුනේත‍්‍රා (1936), විජයබා කොල්ලය (1938), රදළ පිළිරුව (1938), අවිචාර සමය (1939), හඳපාන (1941), ලේන්සුව (1947), මායා යෝගය (1948), අමෘත හස්තය (1952), දල කුමාරි (1957), වාල්මිකී රාමායනය (1961), රිදී හවඩිය (1962). මේ සෑම පොතකම අලූත් මුද්‍රණ දැන් නිකුත් වෙලා තියෙනවා. මේ හැම පොතක් ම ඇස්. ගොඩගේ පොත් මැඳුරෙන් ලබා ගන්න පුළුවන්.
1957 දී බරපතල ලෙස රෝගීවූ ඩබ්ලියු. ඒ සිල්වා මැයි 31 වැනිදා අභාවයට පත් වූයේ ඔහුගේ පොතපත කියවූ ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ගේ සෝසුම් මැදයි. ඔහුගේ මරණයෙන් පසුව පළ කෙරුණු ‘දල කුමාරි’ ඔහු විටින් විට මෙරට පුවත් සඟරාවලට ලියූ කෙටිකතාවල එකතුවක්. ‘වාල්මිකී රාමායනය’ත් ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේ කළ අනුවාදයක්. ‘රිදී හවඩිය’ රහස් පරීක්ෂක නවකතාව එවකට ‘නවයුගය’ සංස්කාරක වූ ශ‍්‍රී ලාල් හික්කඩුව ලියනගේ සූරීන්ගේ ඉල්ලීමක් ‘නවයුගය’ සඟරාවට කොටස් වශයෙන් ලියූවක්.
4 Comments
නව පරපුර දැනුවත් කරන මේ සත්කාර්යයට ඔබට බොහොම ස්තුතියි. මට මගේ පාසල් කාලය 1960 - 1974 මතකයට ආව.
ReplyDeleteMatath vijayaba kollaya pasaledi igenagath kaalaya mathak vuna. Me lipiya harima asaven kiyevva.Sthuthiy!
ReplyDeleteඔබ කරනා කාර්යය ඉතා වටිනවා.මගේ නිරීක්ෂණයට අනුව මෙතුමා ලියු නවකතා මාටින් ට වඩා වටිනවා...තව මෙතුමා ගැන විස්තර දාන්න
ReplyDeleteඑතුමා සංස්කෘත ආදිය ඉගෙන ගත්තේ පැලැනේ ශ්‍රී වජිරාරාම උන්නන්සේගෙන් කියල අහල තියෙනවා.
ReplyDelete