ඩයිනසෝරයන්ටත් පෙර මිහිමත ඇවිද ගිය විලෝපිකයෙක් සොයා ගෙන - මග පෙන්වීම ලැබුණේ ගුගල් සිතියම්වලින්

දිගටි විහිදුණු උල් දත් ඇති, දිවියකු තරම් ලොකු අමුතු විදියේ දඩයක්කාරයෙක් මීට අවුරුදු මිලියන 265කට පෙර මේ මිහිමත ඇවිද ගිය බව සොයා ගන්නට විද්‍යාඥයන් පිරිසක් සමත් වී තියෙනවා. උරගයකුගේ යැයි සිතිය හැකි උගේ පොසිල අස්ථි හමුවෙලා තියෙනවා දකුණුදිග බ‍්‍රසීලයෙන්. ඒ අස්ථි පරීක්ෂා කිරීමේදී තහවුරු වුණා, ඒවා වසර මිලියන 265 කට වඩා පැරණි බව. ඒ කියන්නේ මේ සතා ලොව ජීවත්වෙලා තියෙන්නේ ඩයිනසෝරයන් මිහිමත පහළ වෙන්නත් ඇවිද යන්නත් කලින්. ඒ විතරක් නොවෙයි, මේ සතා ඩයිනසෝරයන් ගොදුරු කර ගත් විලෝපිකයකු වන්නට ඇතැයි ඒ විද්‍යාඥයන්ගේ අදහසයි.

 
(පැම්පාෆෝනියස් සතකු පේරිසෝරයකු දඩයම් කරන අයුරු දැක්වෙන චිත‍්‍රයක්)


මේ විලෝපිකයාගේ හිස් කබලක් හමුවුණේ බ‍්‍රසීලයේ රියෝ ග‍්‍රාන්ද් දෝ සල් නිම්නයේ පිහිටි ගම්මානයක් අසලින්. ඒ සොයා ගැනීමට මඟ පෑදී තිබෙන්නේ අන්තර් ජාලයේ ‘ගූගල් මැප්ස්’ යොදා ගනිමින් චන්ද්‍රිකා තාක්ෂණයෙන් ප‍්‍රදේශයේ භූ විෂමතා පරීක්ෂා කිරීමෙන් අනතුරුව යැයි පැවැසෙනවා. අසාමාන්‍ය සලකුණක් දැකපු බ‍්‍රසීල විද්‍යාඥයන් කණ්ඩායමක් ගියා ඒ ගැන පරීක්ෂා කරන්න. එවිටයි පොසිලකරණයට ලක් වුණු හිස් කබල හමුවුණේ.

මේ සතා ලොව පහළ වී ඇත්තේ ඩයිනසෝරයින් මිහිමත පහළ වීමට වසර මිලියන 40 කට පෙරයි. මෙයා අයත් වන්නේ වඳ වී ගිය උරග පවුලකටයි. ඒ හින්දා මෙයාගේ මුතුන්මිත්තන් ගැන කිසිම සාක්ෂියක් තාමත් ලැබිලා නැහැ.

මේ සතා නම් කර තියෙන්නේ ‘පැම්පාෆෝනියස් බිකායි’ Pampaphoneus Biccai යනුවෙනුයි. මේ සතා ඩයිනෝසෙපේලියානුවෙක්. ඒ කියන්නේ ඩයිනසෝරයින් හා පෙනුමෙන් සමාන ඩයිනසෝරයන් නොවන ‘අන්ටේසෝරස්’ නමැති පවුලේ සාමාජිකයෙක්. ‘අන්ටේසෝරස්’ සතුන් ඩයිනසෝරයින් ලොව පහළ වෙද්දී මියැදුණා කියලයි මෙතෙක් කල් විශ්වාස කළේ.

 
(ආචාර්ය ජුලියන් සිස්නේරස් සොයා ගත් පැම්පාෆෝනියස්ගේ හිස් කබලෙහි ස්වරූපය)

‘පැම්පාෆෝනියස් බිකායි’ අචලතාපියෙක්. සතුන් පසුපස ලූහුබැඳ ඔවුන් ගොදුරු කර ගන්න ශක්තිමත් හකු යුගලක් සහ තියුණු දත් මේ සත්ත්වයාට තිබෙනවා. ‘පැම්පාෆෝනියස් බිකායි’ යන නම මේ සතාට යොදා ඇති අයුරුත් අපූරුයි. ‘පැම්පාස්’ කියන්නේ බ‍්‍රසීලයේ ඇති තැනිතලා තණ බිම්වලටයි. ‘ෆෝනියස්’ යනු ගී‍්‍රක වදනක්. එහි අර්ථය ‘ඝාතකයා’ යන්නයි.

වර්තමානයේ බ‍්‍රසීලයෙන් මේ සතාගේ පොසිල හිස් කබලක් හමුවුණත්, මේ සතා ජීවත් වෙද්දී ලෝකය මහද්වීපවලට වෙන් වී තිබුණේ නැහැ. අද බ‍්‍රසීලය යැයි හඳුන්වන රට ලෝකයේ කොතැනක තිබුණේදැයි විද්‍යාඥයන්ට හරියට ම කියන්න බැහැ. ‘පැම්පාෆෝනියස් බිකායි’ ජීවත් වෙද්දී, අතීතයේ පැවැතියේ එක් මහා මහද්වීපයක්. එය හැඳින්වෙන්නේ ‘පැන්ජියා’ කියලයි.

මීට පෙර, ඩයිනසෝරයන්ට පෙර ජීවත් වූ සතුන් හමුවුණේ රුසියාවෙන්, කසකස්තානයෙන්, චීනයෙන් සහ දකුණු අපි‍්‍රකාවෙන්. ඒත් මේ අලූත් සොයා ගැනීමෙන් පැහැදිලියි මේ සතුන් අතීතයේ ලෝකය පුරා ව්‍යාප්ත වී සිටිය බව.

පැම්පාෆෝනියස් බිකායිගේ පොසිල හිස්කබල සොයා ගැනීමේ පොසිල විද්‍යාඥ කණ්ඩායමට නායකත්වය දුන්නේ බ‍්‍රසීලයේ ටෙරේසිනාහි පියාඋයි ෆෙඩරල් සරසවියේ පොසිල විද්‍යාඥ ආචාර්ය ජුවාන් කාලෝස් සිස්නේරස්. ඔහු ඒ ගැන කියන්නේ මෙහෙමයි: ”මේ පොසිලය මංශභක්ෂක ඇන්ටේසෝරසයකුගේ. මෙම සොයා ගැනීමෙන් ආදිකාලෙයේ පැන්ජියාව පවතිද්දී ඒ ප‍්‍රදේශය පුරා මංශභක්ෂක ඩයිනෝසෙපේලියානුවන් (ඩයිනෝසෝරයන්ට සමාන සතුන්) ජීවත් වූ බව.”

 
(ආචාර්ය ජුලියන් සිස්නේරස් හා පිරිස පොසිල හමු වූ පස් පිරික්සමින්)

ඩයිනෝසෙපේලියානුවන්ට අයත් වන අනෙක් සතුන් වන්නේ දකුණු අපි‍්‍රකානු ඇන්ටේසෝරස් මැග්නිෆිකස් හා රුසියානු ටයිටනොෆෝනියස් පොටෙන්ස් දෙදෙනායි. ඒ අතරින් රුසියානු සත්ත්වයා ප‍්‍රමාණයෙන් විශාලයි. උගේ දිග අඩි 18කට වැඩියි. පර්මීයානු යුගයේ මේ මිහිමත ඇවිද ගිය විශාල ම සත්ත්වයා මොහු විය හැකියි.

පර්යේෂකයන් විශ්වාස කරන්නේ ලෝකයේ භූමි එකට එක්ව තිබූ නිසා මේ සත්ත්වයාට පැන්ජියාවේ උතුරුදිග කොටසේ එනම් ලොරේසියාවේ සිට දකුණුදිග කොටසේ එනම් ගොඞ්වානාවට සංක‍්‍රමණය වෙන්නට හැකි වෙන්න ඇති කියායි.
පර්මීයානු යුගය අවසාන වෙත්ම මේ සියලූ සත්ත්ව ජීවිත සම්පූර්ණයෙන් මිහිමතින් තුරන් වෙන්නට ඇති, කලින් ඇති නොවූ, නොසිතූ විරූ මහා විනාශයක් හේතුවෙන්.

 
(පැම්පාෆෝනියස් සතකුගේ මේ ලොකු දත්වලින් ගොදුරක් කීතු කීතු කළ හැකියි)

ලෝකය පුරා විසිරී තිබුණු සංකීර්ණ පරිසර පද්ධති සියල්ල කුමක් හෝ විශාල සංසිද්ධියක් නිසා මුලූමනින්ම විනාශ වී යන්නට ඇති. ඉතිරි වන්නට ඇත්තේ සත්ත්ව විශේෂ අතරින් සියයට පහක් පමණයි. මේ විනාශය සිදු වන්නට ඇත්තේ සමහර විට වසර පන්ලක්ෂයක් තිස්සේ සිදු වුණු දැවැන්ත යමහල් විදාරණයක් නිසා, එනම් ලොව පුරා සෑම තැනකින් ම ගිනිකඳු පිපිරීම් නිසා වියහැකි යැයි දැන් අනුමාන කෙරෙනවා.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

3 Comments

  1. හැමදාම වගේ වටින විස්තරයක්.....

    ReplyDelete
  2. Iparani fossils soyagena karana thorathuru heli kireem harima apuuruy. Me satha goduru kara gath aya eelagata hamuvey.Thanks Malkakulu vatina lipi valata.

    ReplyDelete
  3. Api punchikaale aasawen "Wijaya" paththare thibunu dinosaur wistahra kiyewwa wage wadihiti wunata passeth watina thorathuru kiyawanna lebuna ekama web adawiya "MalKakulu" kiyala hithanawa. MalKakulu web adawiya karana sewayata api hemoma kruthaguna dekwiya yuthuyi.

    ReplyDelete