යුද්ධයට අති දක්ෂ ඇස්ටෙක්වරු : පුරාණ ශිෂ්ටාචාර


1519 දී ස්පාඤ්ඤ දේශ ගවේෂක හර්නාන් කෝටේස් (1485-1547) සහ ස්පාඤ්ඤ හමුදා මෙක්සිකෝ නිම්නය ආක‍්‍රමණය කරද්දී එක්තරා රතු ඉන්දියානු ගෝත‍්‍රයක් එම ප‍්‍රදේශයේ විශාල අධිරාජ්‍යයක් පිහිටුවා ගෙන සිටියහ. මේ රතු ඉන්දියානුවෝ දඩයම් යුගය අත්හැර නාගරීක ශිෂ්ටාචාරයකට හැඩ ගැසුණු පිරිසක් වූහ. එසේ ම යුද්ධයට අති දක්ෂයෝ වූහ. ඔවුන් විශ්වාස කළේ ඔවුන් ඇදහූ දෙවිවරුන් ලේ පිපාසියෙන් පිරුණු අය ලෙසයි. ඒ නිසා බිලි පූජාවලින් ඒ දෙවිවරුන් පිදූහ. ස්පාඤ්ඤ හමුදා පැමිණෙන විට මෙම ගෝත‍්‍රිකයෝ ඔවුන්ට පක්ෂපාතී අනෙකුත් ගෝත‍්‍රික ජන කොටස් හා එක්ව මිලියන 25 කට වැඩි මහා ජනකායක් පාලනය කරමින් සිටියහ. ඔවුන්ව හැඳින්වෙන්නේ ‘ඇස්ටෙක්’ යන නමිනි. මේ ඔවුන්ගේ කතාවයි.


ඇස්ටෙක්වරුන්ගේ ආරම්භය
1100-1300 අතර කාලයේ මධ්‍යම ඇමෙරිකාවේ විශාල ප‍්‍රදේශයක ටොල්ටෙක් යනුවෙන් අධිරාජ්‍යයක් පැවතිණි. උතුරින් ආ ම්ලේච්ඡු ගෝත‍්‍රිකයන්ගේ ආක‍්‍රමණ හමුවේ මෙම අධිරාජ්‍යය බිඳ වැටිණි. මෙම ගෝත‍්‍රිකයන් අතර ඇස්ටෙක් යනුවෙන් හැඳින්වූ ගෝත‍්‍රයක් ද විය. ටෝල්ටෙක් අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමඟම ඇති වූ අවුල් වියවුල් තත්වය නිමා වූයේ 13 වැනි සියවස අවසානයේ නගර රාජ්‍යයන් කිහිපයක් බිහිවීමත් සමඟය. ඉන්පසු මෙම නගර රාජ්‍යයන් අතර ආධිපත්‍යය වෙනුවෙන් ඇරඹුණු සටන් අවසන් වූයේ ඇට්සපොට්සොලෙක් හෙවත් ටෙපනෙක් රාජ්‍යය බිහිවීමෙනි. ඇස්ටෙක්වරුන් මුලින්ම ප‍්‍රසිද්ධියට පත්වූයේ ටෙපනෙක් රාජ්‍යයේ කුලී සෙබළුන් ලෙසයි. සටන් කිරීම ප‍්‍රධාන වෘත්තීය කොටගත් ඇස්ටෙක්වරුන් ඔවුන්ගේ සමාජ රටාවන් සකස් කළේ මේ අවධියේ දීය.

ඇස්ටෙක් කැරැල්ල
1427 දී ඒකාධිපති පාලනයක් ගෙන ගිය ටෙපනෙක් රජු මියයාමත් සමඟ රාජ්‍යයේ පාලනය ගැන කලකිරී සිටි අනෙකුත් ගෝත‍්‍රිකයෝ ඇස්ටෙක් ගෝත‍්‍රිකයන්ගේ ප‍්‍රධානත්වයෙන් කැරැළි ගසා නගර රාජ්‍ය සංගමයක් පිහිටුවා ගත්හ. මෙම රාජ්‍ය සංගමයේ ප‍්‍රධාන තැන හිමිවූයේ ඇස්ටෙක් රාජ්‍යයටයි.


ඇස්ටෙක් රාජ්‍යය 
ප‍්‍රථම නිදහස් ඇස්ටෙක් රජු වූයේ ඉට්ස් කෝට්ල් ය. ඒ 1428 සිට 1440 දක්වා කාලයයි. ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ දියුණුව ආරම්භ වුණේ මේ අවධියේ දී බව පුරාවිද්‍යාඥයෝ කියති. තමන් ඇදහූ ලේ පිපාසිත බිලි පූජා අපේක්ෂා කළ දෙවිවරුන්ට මහා දේවාල තැනීමත් පූජක පන්තියක් බිහිවීමත් සිදුවූයේ මේ කාලයේදීය. යුද්ධ කිරීමත් බිලි පූජා සඳහා වහලූන් එකතු කිරීමත් ඇස්ටෙක්වරුන්ගේ ප‍්‍රධාන ප‍්‍රතිපත්තිය විය.

දේශපාලන විත්ති
ඇස්ටෙක් රාජ්‍යයේ දේශපාලන ව්‍යාප්තිය ඇරඹුණේ 1400 සිට 1468 දක්වා විසූ පළමුවන මොන්ටෙසුමා රජුගේ කාලයේ දීය. දේශපාලන කටයුතුවල උච්ඡුතම අවස්ථාව ලෙස සැලකෙන්නේ ශ්‍රේෂ්ඨ අධිරාජ්‍ය නිර්මාපකයෙකු වූ අහුයීට්සොට්ල් (1486-1502) රජුගේ පාලන සමයේයි. අහුයීට්සොට්ල් අධිරාජ්‍යය මධ්‍යම හා දකුණු මෙක්සිකෝව දක්වා පැතිර පැවතිණි. ටෙනොච්ටිට්ලාන් නගරයේ ඇති විශාලතම දේවාලය ඉදි කරනු ලැබුවේ ද මේ අවධියේ දීය. මේ දේවාලය ඉදිකිරීම වෙනුවෙන් වහලූන් 20,000 ක් බිලි දුන් බවට පුරා විද්‍යා සාක්ෂි හමුවී තිබේ.

දෙවැනි මොන්ටෙසුමා අධිරාජ්‍යයා
1502 දී රජවූ දෙවැනි මොන්ටෙසුමා (1466-1520) අධිරාජ්‍යයා දාර්ශනික අදහස් දැරූ අයෙකි. වෙනත් ගෝත‍්‍රවල දෙවිවරු වෙනුවෙන් ද දේවාල ඉදිකිරීමට ඔහු ඉදිරිපත් වූයේය. ස්පාඤ්ඤයන්ගේ ආක‍්‍රමණත් සමඟ අවසාන ඇස්ටෙක් පාලකයා වන්නේ දෙවැනි මොන්ටෙසුමා අධිරාජ්‍යයායි. 1519 දී ස්පාඤ්ඤ ආක‍්‍රමණික කෝර්ටේස් නැව්වලින් පැමිණ මෙක්සිකෝවට ගොඩබට මොහොතේ දී වෙරළාසන්න ගෝත‍්‍රිකයෝ ඇස්ටෙක් රාජ්‍යයට එරෙහිව ස්පාඤ්ඤ සෙබළුන්ට සහය පළ කළහ. මෙම ගෝත‍්‍රිකයන්ගේ මඟ පෙන්වීම අනුව කෝර්ටේස් කුඩා ස්පාඤ්ඤ හමුදාවක් සමඟ ටෙනොච්ටිට්ලාන් නගරයට ඇතුලූ විය. මොන්ටෙසුමා ඔවුන් ව සාදරයෙන් පිළිගත්තේ කෝර්ටේස් ඔවුන්ගේ ක්වෙය්සල්කෝට්ල් නම් ඇස්ටෙක් දෙවියන් ලෙස සැලකූ නිසායි. දෙවැනි මොන්ටෙසුමා යටත් වුනත් සෙසු ඇස්ටෙක්වරු කෝර්ටේස් දෙවියකු ලෙස පිළිගත්තේ නැත. මේ නිසා ඇස්ටෙක්වරු හා ස්පාඤ්ඤ සෙබළුන් අතර 1521 දී ඇතිවූ සටන් අවසන් වුණේ ඇස්ටෙක් අධිරාජ්‍යය සම්පූර්ණයෙන්ම විනාශ වීමත් සමඟය. ස්පාඤ්ඤවරු මොන්ටෙසුමා අධිරාජ්‍යයා ප‍්‍රාණ ඇපකරුවකු ලෙස අල්ලා ගෙන සිරගත කරන ලදී. මොන්ටෙසුමා රජු සිර අඩස්සියේ සිටියදී මියගිය බව ඓතිහාසික වාර්තාවල සඳහන් වී තිබේ.

කෝර්ටේස් ලැබූ ජයග‍්‍රහණය
කෝර්ටේස්ට ඇස්ටැක්වරුන් ව පරාජය කිරීමට හැකි වුණේ නවීන අවි ආයුධවල උපකාරයෙන් සහ කුමන්ත‍්‍රණ කිරීම් මගිනි. ඇස්ටෙක්වරුන් මිථ්‍යා විශ්වාසවල එල්බ ගෙන සිටීමත්, ස්පාඤ්ඤ ආක‍්‍රමණ සමයේ දී වසංගත හා ලෙඩරෝග ඔවුන් අතරේ පැතිර යාමත් කෝර්ටේස් ප‍්‍රමුඛ ස්පාඤ්ඤ හමුදාවලට වාසියක් සැලසිණි. කෝර්ටේස් විසින් ඇස්ටෙක්වරුන් සමූල ඝාතනය කිරීමේ සිද්ධිය ලෝක ඉතිහාසයට එක් වූ දරුණුතම මිනිස් ඝාතනයක් ලෙස සැලකේ. සටන් අවසානයේ දී පරාජයට පත් වී ඉතිරි වූ ඇස්ටෙක්වරුන් කිහිප දෙනා ද ඔවුන්ගේ නගර අතහැර ගියේ සාපලත් භූමියක් ලෙස විශ්වාස කළ නිසයි. මේ අයුරින් ස්පාඤ්ඤ ආක‍්‍රමණ නිසා ඇස්ටෙක් සංස්කෘතිය මුළුමනින්ම විනාශ වී ගියේය. ඉතිරිව ඇති නටඹුන් සහ ස්පාඤ්ඤ වාර්තා කියවීමෙන් ඇස්ටෙක් සංස්කෘතිය ගැන කරුණු සොයා ගැනීමට අපට හැකිවී තිබේ. ඇස්ටෙක් ශිෂ්ටාචාරය විනාශ වුණත් අද විශාල වශයෙන් මෙක්සිකෝවේ සිටින්නේ ඇස්ටෙක්වරුන්ගෙන් පැවැත එන්නන්ය.


ඇස්ටෙක් සංස්කෘතිය
ඇස්ටෙක් සමාජය ප‍්‍රධාන වශයෙන් පන්ති හතරකින් යුත්ක විය. එයින් ප‍්‍රධාන තැන හිමිවුණේ යුද කටයුතුවල යෙදී සිටි රණශූරයින්ටයි. ඊට හේතු වූයේ ඇස්ටෙක්වරුන්ගේ ප‍්‍රධානතම කාර්යය වූයේ සටන් කිරීමයි. ඔවුන්ට යුද ශිල්ප ගැන මනා අවබෝධයක් තිබුණු අතර යුද්ධ කළේ මනා සංවිධානයකිනි. යුද්ධ කිරීමේ මූලික අරමුණ වූයේ දෙවිවරුන්ට බිලි දීම සඳහා වහලූන් අල්ලා ගෙන ඒමයි. 1519 දී හර්නාන් කෝර්ටේස් ඇස්ටෙක් අගනුවරට පැමිණෙද්දී බිලි පූජාවලට ලක්වූ මිනිස් හිස්කබල් 1,00,000 ක් එල්ලා තිබිණි.

ඇස්ටෙක් ආර්ථිකය
ඇස්ටෙක් ආර්ථිකය මුළුමනින් ම රැඳී පැවැතියේ කෘෂිකර්මය පදනම් කර ගෙනයි. වගුරුබිම් ගොඩ කරමින් වගා කටයුතු කිරීමට ඔවුන්ට මනා දැනුමක් තිබිණි. ‘චිනම්පා’ යනුවෙන් හැඳින්වෙන මේ වගා ක‍්‍රමය අදත් මෙක්සිකෝ ගොවීන් විසින් භාවිත කරනු ලබයි. මේ අනුව ඇස්ටෙක් ශිෂ්ටාචාරය පැරණි මිසර, ඉන්දු නිම්න හා චීන ශිෂ්ටාචාර හා සම කළ හැකිවේ.

ඇස්ටෙක් ලිත
නිවැරදිව කාලය ඇඟවීමට සමත් වූ ලිතක් ඇස්ටෙක්වරු භාවිතා කළහ. මේ ලිත කොටා ඇති ගල් ඵලකයක් අදත් දකින්නට හැකිය. ඔවුන් මේ ලිත සකස් කිරීමට භාවිතා කළේ චිත‍්‍රාක්ෂරයි.

වෛද්‍ය විද්‍යාවටත් දක්ෂයි
ඇස්ටෙක්වරු වෛද්‍ය විද්‍යාවට ද දක්ෂ පිරිසක් වූහ. දක්ෂ වෛද්‍යවරු, ආරෝග්‍යශාලා මෙන්ම සාත්තු සේවිකාවන් පවා සිටි බවට සාක්ෂි හමු වී තිබේ. මීට අමතරව ක‍්‍රීඩා ද ඇස්ටෙක් ජීවිතයේ වැදගත් අංගයක් ලෙස සැලකේ.

ගෘහ නිර්මාණ ශිල්පය හා මූර්ති කලාව
ගෘහ නිර්මාණ ශිල්පය සහ මූර්ති කලාව අතින් ඇස්ටෙක්වරු විශාල දියුණුවක් ලබා සිටියහ. මේ කලාවන් සියල්ල බිහිවූයේ ආගමීක විශ්වාසයන් හා අවශ්‍යතා අනුවයි. ස්වභාවික වස්තූන් දේවත්වයෙන් ලා සැළකීමට ඇස්ටෙක්වරු පුරුදු වී සිටියහ. ඔවුන් මේ දෙවිවරු වෙනුවෙන් යෝධ දේවාල පිරමීඩ හා රජ මාළිගා නිර්මාණය කළහ. දැන් නටඹුන් වී ඇති මෙම දෙව් මැඳුරු, ගල් පිළිම, ඇස්ටෙක්වරුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයේ බල මහිමය පෙන්වීමට සමත්වේ. පුරාණ ඇස්ටෙක් නගරවල වෙළඳාම් කටයුතු ඉතා දියුණුවට පත්වී තිබිණි. මේ නිසාම කෝර්ටේස් සහ ස්පාඤ්ඤ හමුදා ටෙනොච්ටිට්ලාන් නගරය නම් කළේ දෙවැනි වැනීසිය යනුවෙනි. මීට අමතරව ගල්, උළු හා පිගන් මැටි කර්මාන්ත ද වේවැල් සහ මැණික් ඔබ්බවා තැනූ විසිතුරු නිර්මාණ ද ඇස්ටෙක් නිර්මාණ අතර වෙයි. අධිරාජ්‍යයන්ගේ හා රදල පෙළපතේ ප‍්‍රභූවරුන්ගේ ඇඳුම් වර්ණවත් කුරුලූ පිහාටුවලින් අලංකාර කර තිබිණි.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

5 Comments

  1. මේ සම්බන්දව තියෙන රුපවාහිනි වර්ථාවැඩසටහන් එහෙම මොනවද කියලා කියන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා. වෙනදා වගේම වටිනා ලිපියක්..

    ReplyDelete
  2. අර ඇපකැලිප්ටෝ චිත්‍රපටියෙ තියෙන්නෙත් මේ අය සම්බන්ධ කතාවක් වෙන්න ඕන!

    http://www.imdb.com/title/tt0472043/

    ReplyDelete
  3. Spain valin aakramanaya karala diyunu shishtachara keeyak mulumanin vinasha kalada?
    Me lipiyath pahadily! sampoornay!
    Malkakulu dura gamanak yana bavath stheeray!

    ReplyDelete
  4. me' ara soora pappalage gama neweyida ?

    ReplyDelete
  5. මොනවා උනත් ඒ දවස් වල තුවක්කු තිබ්බෙ නෑනෙ

    ReplyDelete