අභ්‍යාවකාශ දුරෙක්ෂවලින් හෙළි වන රහස් : විශ්වයට විහිදුණු විදු ඇස

අපේ ක්ෂීරපථය (Milky Way) හෙවත් කිරිසයුර තුළ වාසයට සුදුසු ග‍්‍රහලෝක බිලියන ගණනක් තියෙනවා. වසර හයක් තිස්සේ විද්‍යාඥයන් විසින් කළ අධ්‍යයනයකින් හෙළි වෙයි.

තාරකා විද්‍යාඥයන් වසර හයක් තිස්සේ තරු පිළිබඳව කළ සියුම් අධ්‍යයනයකින් පසු මිනිසාට ජීවත් විය හැකි ග‍්‍රහලෝක බහුලව ඇති බව සොයා ගෙන තිබේ. මිනිස් වාසයට යෝග්‍ය වන්නේ තරුවක් වටා ඇති ග‍්‍රහ ලෝක අතරින් තාපය වැඩියෙනුත් නොලබන, අඩුවෙනුත් නොලබන, මධ්‍යස්ථ දුරකින් භ‍්‍රමණය වන ග‍්‍රහලෝක ඇත් නම් පමණයි. දියර ජලය තිබීමේ වැඩි ප‍්‍රවණතාවක් ඇත්තේ එවැනි ග‍්‍රහලෝකවලයි. යම් තරුවක සිට කිසියම් දුරක් එපිටින් මෙසේ වාසයට හිතකර දේශ ගුණයක් තිබිය හැකැයි සිතිය හැකි කලාපයක් ගැන දැන් විද්‍යාඥයන් අතර තියෙනවා. ඒ අනුව මේ කිරිසයුරෙහි එවැනි ග‍්‍රහලෝක තිබිය හැකි තරු බිලියන 10කට වැඩි ගණනක් ඇතැයි විද්‍යාඥයන් ඇස්තමේන්තු කරල තියෙනවා.

(ක්ෂුද්‍රකාච නම් ක‍්‍රමවේදය භාවිත කරමින් බහිර්ග‍්‍රහයන් ගැන සොයන විශේෂ ව්‍යාපෘතියට යොදා ගන්නා මේ මීටර් 1.54 අති නවීන දුරේක්ෂය - යුරෝපයේ අභ්‍යවකාශ ආයතනය හෙවත් ESO විසින් චිලි රාජ්‍යයේ පිහිටුවා ඇති මෙය සවි කර ඇත්තේ ලා සිලා ග‍්‍රහලෝක නිරීක්ෂණාගාරයේයි.)


හිරු දෙකක් වටා යන ග‍්‍රහයන් ඇති සෞරග‍්‍රහ මණ්ඩල ඕනෑ තරම් තියෙනවා! ඇමරිකන් තාරකා විද්‍යඥයෝ කියති.

නාසා ආයතනයේ කේප්ලර් මෙහෙයුමෙන් ලැබෙන දත්ත විශ්ලේෂණය කොට ඇමරිකාවේ සැන් දියේගෝ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයන් පසුගියදා ප‍්‍රකාශ කළා තරු(හිරු) දෙකක් වටා භ‍්‍රමණය වන නව සෞරග‍්‍රහ මණ්ඩල දෙකක් තමන් සොයා ගත් බව. ඒවායේ ඇති ග‍්‍රහයන් එක විට තරු දෙකක් වටා යනවා, පමණක් නොවෙයි ඒ තරු අතරින් කුඩා තරුව ලොකු තරුව වටා භ‍්‍රමණය වෙනවා. මේ නව සොයා ගැනීමෙන් තහවුරු වෙනවා හිරු දෙකේ ග‍්‍රහ ලෝක දුලබ දෙයක් නොවන බව. එවැනි දෑ අපේ ගැලක්සිය තුළ බහුලව දැකිය හැකි බව.

මේ ග‍්‍රහයන් දෙකම පිහිටා ඇත්තේ සිග්නස් (Cygnus) තරු පන්තියෙහියි. මේ අතරින් එකක් වන කෙප්ලර් 34 අපේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4,900ක් දුරිනුත් කෙප්ලර් 35 නම් අනෙක අපේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5,400ක් දුරිනුත් පිහිටා තියෙනවා. මෙය මෙතෙක් සොයා ගෙන ඇති වැඩිම දුරකින් පිහිටි ග‍්‍රහ ලෝක ලෙස හඳුන්වන්න පුළුවන්.

මේ ග‍්‍රහ ලෝක හමුවී ඇත්තේ වඩාත් ශීත නැති වඩාත් උණුසුම් නැති කලාපයේයි. දියර ජලය හමුවිය හැක්කේ මේ කලාපයේ පමණයි. ඒ නිසා යම් ආකාරයක ජීවයක් තිබිය හැකියි. එසේ ම වාසයටත් හිතකර විය හැකියි. ඒත් විද්‍යාඥයන් අවධාරණය කරන්නේ ඒ ග‍්‍රහයන්ගේ ජීවය පැවතිය හැකි තත්වයක් තිබුණත් මෙහි ඇති ජීවීන් එහි මේ ආකාරයට පරිණාමය වී නොතිබිය හැකි බවයි.

පසුගිය 16 වසර තිස්සේ විශ්වයේ තරු අතරින් බහිර්ග‍්‍රහයන් 700කට වැඩි ගණනක් තාරකා විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇති බැව් තහවුරු කෙරුණා. ඒත් ඒවායින් වැඩි හරියක් බ‍්‍රහස්පතී බඳු වායුවෙන් සමන්විත ග‍්‍රහයන්. එහෙම නැත්නම් තරුවලට වඩා සමීපව යන තාප අධික කලාපයේ ග‍්‍රහයන් මේ දෙවර්ගය තුළම ජීවය පැවතීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩුයි.

මේ ග‍්‍රහයන් හඳුනා ගැනීමට විශේෂ ක‍්‍රමවේදයක් භාවිත කරන්න ඕනෑ. එය ගුරුත්වාකර්ෂණ ක්ෂුද්‍රකාච ක‍්‍රමය (gravitational microlensing) යොදාගෙන කරන සෙවීමේ ක‍්‍රමයක් ලෙස හැඳින්වෙනවා. පසුබිමේ හා ඉදිරියෙන් ඇති තරු එක පෙළට සිටින සේ තබා ගෙන කරන නිරීක්ෂණයක්. යම් වස්තුවකින් විහිදෙන අලෝක කිරණ ඉදිරියෙන් ඇති වස්තුව අනුව වර්තනය වී යන්නේ යැයි අයින්ස්ටයින් 1915 දී පළ කළ න්‍යායක් මත සැකසුණු ක‍්‍රම වේදයක්. ඒ සඳහා පරීක්ෂණයට භාජනය කරන ග‍්‍රහයාගේ ආනතියත් අවශ්‍ය වෙනවා.

නාසා ආයතනය සෞරග‍්‍රහ මණ්ඩලයෙන් බාහිර ව කුඩාම ග‍්‍රහයන් තිදෙනෙක් සොයා ගනියි

නාසා ආයතනයේ කේප්ලර් මෙහෙයුමෙන් ලැබුණු දත්ත උපයෝගී කර ගෙන තාරකා විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා, අපේ සූර්යයාගෙන් එපිට පිහිටි තරුවක් වටා භ‍්‍රමණය වන ඉතාම කුඩා ග‍්‍රහලෝක තුනක්. එකම තරුවක් වටා භ‍්‍රමණය වන මේ තරුව නම් කර ඇත්තේ කේ ඕඅයි-961 (KOI-961) කියායි. ඒවායේ අරය පෘථිවිය මෙන් 0.78, 0.73 හා 0.57 ගුණයක් විශාලයි. එහි කුඩාම ග‍්‍රහයා අඟහරු තරම් වෙනවා.

(ක්ෂිරපථය තුළ ඇති තරු වටා භ‍්‍රමණය වන ග‍්‍රහයන් බහුලව ඇති ආකාරය සිත්තරකු දුටු හැටි)

මේ ග‍්‍රහයන් තුන්දෙනා ම පෘථිවිය මෙන් පාෂාණවලින් සැදි ඒවා වුනත් ඒවා භ‍්‍රමණය වන තරුවට වඩාත් ළංව පිහිටි නිසා දැඩි තාපයෙන් යුක්තයි. මිනිස් වාසයට සුදුසු කලාපයක නොවෙයි ඒවා පිහිටා තියෙන්නේ. තරුවට මේ තරමට ළංව පිහිටි විට දියර ජලය ඒවායේ පවතින්නට විදියක් නැහැ. දැනට සොයා ගෙන ඇති තරු වටා භ‍්‍රමණය වන බහිර්ග‍්‍රහයන් (exoplanets) 700ක් පමණ වන නමුත් ඒවායින් අතළොස්සක් පමණයි, පාෂාණවලින් සෑදී ඇත්තේ.

වොෂින්ටනයේ නාසා මූලස්ථානයේ කේප්ලර් වැඩසටහනේ විද්‍යාඥයකු වූ ඩග් හජින්ස් කියන්නේ මෙහෙම දෙයක්: ”තාරකා විද්‍යාඥයන් කෙප්ලර් විසින් හෙළිදරවු කර ගන්නා ග‍්‍රහලෝක පිළිබඳ තතු තහවුරු කර ගනිමින් ඉන්නවා. අඟහරු තරම් කුඩා ග‍්‍රහයකු සොයා ගැනීම ඇත්තෙන්ම විස්මිත දෙයක්. අපට තවත් පාෂාණවලින් සමන්විත ග‍්‍රහයන් රාශියක් තිබිය හැකියි.”

මේ බාධක මැද්දේ පවා ලොව පුරා ස්ථපිත කර ඇති දුරේක්ෂ මගින් වසර හයක් තිස්සේ ක්ෂුද්‍රකාච ක‍්‍රමයෙන් ලබා ගත් දත්ත ඇසුරෙන් අනපේක්ෂිත බහිර්ග‍්‍රහයන් ප‍්‍රමාණයක් හෙළිදරවු කර ගැනීම සුවිශේෂ දෙයක්. ‘2002 සිට 2007 දක්වා වසර හයක් තිස්සේ අපි තරු 500ක් විතර අධි තාක්ෂණය යොදා ගෙන නිරීක්ෂණය කළා.’ යැයි කියන ඩෙනිෂ් තාරකා විද්‍යාඥ ආචාර්ය ඌෆ් ග්රේ ජෝජන්සෙන් කොපන්හේගන් විශ්වවිද්‍යාලයේ තාරකා හා ග‍්‍රහ ලෝක පිළිබඳ අංශයේ ප‍්‍රධානියායි.

”අපට කෙළින්ම ග‍්‍රහයකු හඳුනා ගන්න පුළුවන් කාච ආචරණයෙන්. අනෙක් පැත්තෙන් අපට ගණිතය යොදා ගෙන සාමාන්‍ය තරුවකට තිබිය හැකි ග‍්‍රහයන් ගණන ගැන නිගමනයකට එන්න පුළුවන්.” ඔවුන්ගේ මේ විස්තර අලූත් ම Nature සඟරාවේ පළ වී තියෙනවා.

විවිධ හඳුනා ගැනීමේ ක‍්‍රමවේදයන් තුළින් මේ බහිර්ග‍්‍රහයන් පිළිබඳ කර ඇති සොයා ගැනීම් එක් කළ විට ක්ෂීරපථයේ ඇති තරු බිලියන 100ක් අතුරින් තරු බිලියන 10කම වාසයට සුදුසු ග‍්‍රහලෝක තිබිය හැකියි.

මේ එක්කම අපට හිතෙන තව දෙයක් තමයි, එච්චරටම වාසයට සුදුසු ග‍්‍රහලෝක ඇත්නම් ඒවායේ අපේ පොළොවේ මෙන් ජීවීන් සිටිය නොහැකි ද යන්න.

ඒකට මේ විදියෙ උත්තරයක් තමා ආචාර්ය ජෝජෙන්සන් දෙන්නෙ: ”අපි දන්නවා අපේ මේ පෘථිවියේ ජීවය ඇති වී පරිණාමය වී තියෙන්නේ බොහෝ සුවිශේෂී සිදුවීම්වල ප‍්‍රතිඵලයක් වශයෙනුයි. ඒවා මේ විදියට ම ඒ ග‍්‍රහලෝකවල සිදු නොවෙන්න පුළුවන්. ඒ නිසා ඒ සෞරග‍්‍රහ මණ්ඩලවල ජීවය ඇත්නම් ඒවා අපට වඩා හාත්පසින් ම වෙනස් අප නොසිතනා ආකාරයක අලූත්ම මාදිලියක ජීවින් විය හැකියි.”

කොහොම වුනත් අපට ලොකු සතුටක් මිනිස් වාසයට සුදුසු ග‍්‍රහලෝක තවත් මේ විශ්වයේ ඇති බව දැන ගැනීම. ඒවාට යන විදියක් ගැන නම් තාම හිතන්නවත් බැහැ.

(කිරිසයුරෙහි (ක්ෂීරපථයෙහි) මේ කොටසෙහි ජීවය පැවතිය හැකි ග‍්‍රහලෝක බිලියන ගණනක් තිබෙනවා) 

මෙම පර්යේෂණය සඳහා බි‍්‍රතාන්‍යයේ සැන්ට් ඇන්ඞ්රූස් විශ්ව විද්‍යාලයේ කණ්ඩායම මෙහෙය වූ ආචාර්ය මාර්ටින් ඩොමිනික් ඒ ගැන කියන්නේ මෙහෙමයි: ”අපි තාම දන්නේ නෑ මේ ග‍්‍රහයන් හරියටම ඇත්තේ කොහේද? ලොකු ද? පුංචි ද? ඝනත්වයෙන් වැඩි ද අඩු ද? ඒවායේ ජීවීන් ඉන්නවද? නැද්ද? ඒත් අපේ ප‍්‍රතිඵල අපට කියන්නේ අපි ඒ සියලූම ග‍්‍රහයන් නොදැක්කත් අපි අහසේ කොතැන බැලූවත් ඒ බලන හැම විට ම ඒවා එතැන තියෙන බවයි.”

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

3 Comments

  1. වටින විස්තරයක්......

    ReplyDelete
  2. vishvaye anantha apramana graha loka athara api vagema nethath jeeveen inna bava nam pahadiliy.
    ape vathura thel ehema ivara vena vita yanna puluvan vidiyak hoya gaththoth kochchara hodayda?

    ReplyDelete