HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගෙවුණු වසරේ විදුලොව අපූරු සිදුවීම්

2011 වසර විද්‍යාවට වැදගත් වන සොයා ගැනීම්, නව නිපැයුම් මෙන් ම අපූරු සිදුවීම් රැසක් ද බිහි කළ එකක් විය. මේ සටහන වෙන් වන්නේ ඒ අතරින් ලොවපුරා කාගේත් වැඩි අවධානයක් යොමු වූ අපූරු සිදුවීම් කිහිපයක් ඉදිරිපත් කිරීමටය.

1. කුරුලූ මරණ අබිරහස
2011 වසර ඇරැඹුණේ අපූරු අබිරහසක් සමඟිනි. එය සත්ත්ව විද්‍යාඥයන් මවිතයට පත් කළ අබිරහසක් බවට පත්විය. ඇමෙරිකාවේ ආකන්සාස් ජනපදයේ බීබේ නගරයට ඉහළින් පියාඹා යද්දී කුරුල්ලෝ දහස් ගණනින් අබිරහස් ලෙස උන් හිටිහැටියේ මැරී වැටුණාහ එම කුරුලූ මරණවලට හේතුව සොයා ගැනීමට විද්‍යාඥයෝ අපොහොසත් වූහ. එය ‘ල නිනා’ කාලගුණ පෙරැළියේ ප‍්‍රතිඵලයකැයි විද්‍යාඥයෝ අනුමාන කළහ.

2. ස්ටාර්ක්ගේ අත
ටෝනී ස්ටාර්ක් යනු මාවල් චිත‍්‍රකතා වීරයෙකි. ‘අයන් මෑන්’ නම් යකඩ සන්නාහයකින් සැරසී නපුරට එරෙහිව සටන් වදින වීරයා ඔහුයි. මේ වන විට ‘අයන් මෑන්’ චිත‍්‍රපට දෙකක් නිර්මාණය වී ඇති අතර අයන් මෑන්ගේ අපූරු සන්නාහය තාක්ෂණ ශිල්පීන්ගේ අවධානය දිනා ගත්තේය. ටෝනී ස්ටාක් ප‍්‍රබන්ධ චරිතයක් වුවත් මාක් ස්ටාර්ක් හැබෑම තාක්ෂණ ශිල්පියෙක්. දක්ෂ ඉන්ජිනේරුවෙක්. දෑත් අහිමි වූවන්ට ඔහු නිර්මාණය කළ ‘ස්ටාර්ක් අත’ 2011 වසරේ විශිෂ්ටතම නිර්මාණ අතරින් මුල් තැනක් ගනී. කෘති‍්‍රමව නිර්මාණය වූ මෙම අත ඔබේ මොළයේ සංඥා අනුව හැසිරවීම සිදු කෙරේ.

3. ටියැංගොන්-1 
චීනය ඔවුන්ගේ ප‍්‍රථම අභ්‍යවකාශ මොඩියුලය ලෙස සැලකෙන ‘ටියැංගොන් 1’ උඩු ගුවනට යැවීය. චීනය පෘථිවි කක්ෂයේ ඉදි කරන කුඩා ප‍්‍රමාණයේ අභ්‍යවකාශ නැවැතුම්පොළේ පළමු කොටස ලෙස ද ‘ටියැංගොන්-1’ මොඩියුලය සැලකෙයි. අභ්‍යවකාශ නැවැතුම්පොළක් පෘථිවිකක්ෂයේ රඳවන ලොව තෙවැනි රට වන්නේ චීනයයි. ටියැංගොන් යනු චීන බසින් ‘දෙව්ලොව මාලිගාව’ යන්නයි. ටියැංගොන්-1 මොඩියුලය යොදා ගනිමින් ඊට සම්බන්ධ කර චීනයේ අභ්‍යවකාශයේ ඉදිකරන මෙම අභ්‍යවකාශ නැවැතුම්පොළේ වැඩ නිමා වෙන්නේ 2020 වසරේදීයි.

4. හෙම්බිරිස්සාවට බෙහෙතක්
සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාවක් සෑඳීම ස්වාභාවිකය. ඊට නියමිත ඖෂධයක් පවා මේ වනතෙක් තිබුණේ නැත. එහෙත් ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික සරසවියේ විද්‍යාඥයන් සාමාන්‍ය හෙම්බිරිස්සාවටත් ඔසුවක් නිරමාණය කිරීමට සමත් වීම මේ වසරේ වූ විශේෂ සිදුවීමකි. සිරුරේ ප‍්‍රතිදේහ, බැක්ටීරියා සමඟ සටන් කරන අයුරින් ‘ඩ්‍රොකෝ’ නමැති මෙම නව ඔසුව, වයිරස සමඟ සටන් කර ඒවා පරදවයි. මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී වයිරස 15 ක් පැරද වීමට ඩ්‍රොකෝට හැකියාව තිබී ඇත එව්1එන්1 ඉන්ෆ්ලූවන්සාව, ඩෙංගු සහ පෝලියෝ යන වයිරසයටත් මෙය නව ප‍්‍රතිකාරයක් ලෙස විද්‍යාඥයෝ හඳුන්වති.

5. ති‍්‍රමාණ චිපයක්
තාක්ෂණ විප්ලවයක් 2011 වසරේදී සිදු විය. එහෙත් ලෝකයේ වැඩි දෙනෙකු ඒ ගැන දන්නේ නැත. ඒ විප්ලවයට මුල් වුණේ පසුගිය මැයි මාසයේදී ඇමෙරිකාවේ ‘ඉන්ටෙල්’ තාක්ෂණ සමාගම ති‍්‍රමාණ ට‍්‍රාන්සිස්ටරයක් නිර්මාණය කිරීමත් සමඟය. එය නම් කර ඇත්තේ ‘ට‍්‍රයිගේට්’ යනුවෙනි. මෙහි ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ සාමාන්‍ය පැතැලි ක‍්‍රමයට නොවේ, තුන් අතකට විහිදීමෙනි. එය තී‍්‍රඞී නැතහොත් ති‍්‍රමාණ චිපයක් ලෙස නම් කර ඇත්තේ මෙම සුවිශේෂී ක‍්‍රමවේදය නිසාය.

6. අඟහරු පුහුණු මෙහෙයුම
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ගගනගාමීන් සය දෙනෙක්, දින 520 ක්, අඟහරු බලා ගිය අපූරු මෙහෙයුමකි. හැබැයි මෙම මෙහෙයුම හැබෑවට සිදුවූවක් නම් නොවේ. බොරු මෙහෙයුමකි. මෙය සිදු කෙරුණේ රුසියාවේ පර්යේෂණාගාරයක් තුළය. එහෙත් මෙයට ගගනගාමීන් ලෙස එක්වුණු සය දෙනාට මෙය බොරුවක් නොවීය. රුසියානු විද්‍යාඥයන් විසින් මෙම ‘බොරු’ මෙහෙයුම නිර්මාණය කර තිබුණේ පරිගණක ද්‍රෘෂ්‍ය ප‍්‍රයෝග මගින් ඔවුන් ඇත්තටම අඟහරු වෙත ගියා සේ දැනෙන්නටය. ‘මාර්ස් 500’ නමින් නම් කළ මෙම මෙහෙයුමේ අරමුණ ගගනගාමීන් අඟහරු බලා යන ගමනකට පෙර සූදානමකට ලක් කිරීමයි. ඒ ගගනගාමීහූ හය දෙනා ඔවුන් වසර එකහමාරක් තිස්සේ බාහිර ලොවෙන් වෙන් කර තැබූ අනුකාරකයෙන් පසුගිය නොවැම්බර් 5 වැනිදා පිටතට ආහ. මෙහෙයුමට සම්බන්ධ වුණු ගගනගාමීන් අඟහරු බලා ගිය දීර්ඝ චාරිකාවට එක් වූවා පමණක් නොව පර්යේෂණාගාරයේ වේදිකාව මත ඉදිකර තිබුණු අඟහරු මතුපිටකට ගොඩ බැස කුඩා යානයක යමින් ඒ මතුපිට පර්යේෂණ කීපයකද නිරත වූහ.

7. අයිස් තට්ටුව
ඇන්ටාක්ටිකාවේ ‘පයින් අයිලන්ඞ්’ යනුවෙන් හැඳින්වෙන ග්ලැසියරය පැලී දෙකඩ විය.  වෙන් වී මුහුදට එක් වූ අයිස් කොටස කිලෝ මීටර් 30 ක් දිගය. ගැඹුර මීටර් 50 කි. එම අයිස් තට්ටුව මේ වන විට සාගරයට එක්වීමට නියමිත අතර ඒ නිසා සාගර ජල මට්ටම ඉහළ යෑමේ අවදානමක් ද පවතී. එසේ ම අනපේක්ෂිත අයුරින් කාලගුණ විපර්යාස ඇති වීමේ අවදානමක් ද ඇතැයි විද්‍යාඥයෝ අනතුරු හඟවති. විද්‍යාඥයන් මේ බව දැනගත්තේ ඉකුත් සැප්තැම්බර් මාසයේදීය.

8. මාරක බැක්ටීරියාව
මැයි 31 වැනිදා උණ, උදරාබාධ සහ ලේ පාචනය ඇති කරන ‘ඊකෝලයි’ බැක්ටීරියා වසංගතයක් යුරෝපය පුරා පැතිර ගියේය. මාරක බැක්ටීරියා මාදිලියක් වන ‘ඊකෝලයි’ මිනිසාට හානි සිදු කරන්නේ ආහාර විෂ වීම් ඇති කරමිනි. ‘ඊකෝලයි’ බැක්ටීරියාව ආසානදය වූ රෝගීන් දහස් ගණනක් ජර්මනිය, බි‍්‍රතාන්‍යය, ඩෙන්මාර්කය, ස්වීඩනය, නෙදර්ලන්තය හා ස්පාඤ්ඤයෙන් හමුවිය.

9. වෛද්‍ය කැඩපතක් 
ඔබේ ලස්සන විතරක් නොවෙයි, හද ගැහෙන ආකාරයත් පෙන්වන කැඩපතක් නිපදවන්නත් මේ වසරේදී විද්‍යාඥයෝ සමත් වූහ. රූපය දැක බලා ගන්නවාට වඩා එවැන්නකින් ලැබෙන ප‍්‍රයෝජනය දීර්ඝකාලීනය. මෙහිදී සිදුවන්නේ ඔබේ මුහුණෙන් පිළිබිඹු වන වෙනස්කම් මෙම කැඩපත පසුපස සවිකර ඇති සුවිශේෂ කැමරාවකින් හසු කර ගෙන ඇල්ගොරිතම් ගණිත ක‍්‍රමය යොදා ගෙන හෘද ස්පන්දන වේගය ගණනය කිරීමය.

10. අව් කන්නාඩිය
කි‍්‍රස් මුල්ලින් නිපදවූ අව් කන්නාඩිය අප සාමාන්‍යයෙන් දකින අවු රශ්මිය වළකන උපැස් යුවළට වඩා වෙනස් එකකි. එහි කාචය ද්‍රව ස්ඵටිකවලින් තැනුනකි. කන්නාඩිය මතට පතිත වන හිරු රැස්වල දීප්තිය අනුව ඒ ඒ තැන්වල ද්‍රව ස්ඵටික වෙනස් වී සැණෙන් ඇස ආරක්ෂා කරයි. මුල්ලර්ගේ මේ නව නිපැයුම දැඩි හිරු ලැබෙන රටවලට අයට සැනසුම්දායක ආරංචියකි.

11. යෙටී ගැන සාක්ෂි
හිමාලයේ ‘හිම මිනිසා’ යනුවෙන් හැඳින්වෙන්නේ යෝධ වානරයකු බඳු ලෝමවලින් පිරුණු මානවයෙකි. ස්වදේශිකයන් මේ ගුප්ත අද්භූත සත්වයා හඳුන්වන්නේ ‘යෙටී’ කියාය. මේ වන තෙක්ම මිථ්‍යාවක් ලෙස සැලකුණු යෙටී සැබෑවක් වීමට බොහෝදුරට ඉඩ ඇති බව පසුගියදා විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් ලොවට හෙළි කරනු ලැබීය. ඒ, ආදිකල්පික මානවයකුගේ ලොම් හිමාල අඩවියෙන් සොයා ගැනීමත් සමඟය.

12. අයින්ස්ටයින් පැරදවීම
කිසිම වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවා යන වේගයකින් ගමන් කළ නොහැකි බවට මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්, සාපේක්ෂතාවාදය ඔස්සේ ලොවට ඉදිරිපත් කර තිබූ න්‍යාය අභියෝගයට ලක් කරමින්, ආලෝකයේ වේගය ඉක්මවා පරමාණුක අංශු ගමන් කරවීමට යුරෝපා භෞතික විද්‍යාඥ කණ්ඩායමකට හැකියාව ලැබුණේ සැප්තැම්බර් 25 වැනිදාය.

13. කියුරියෝසිටි අඟහරු යෑම
අඟහරු ගවේෂණය සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 2.5 ක වියදමකින් නිර්මාණය කළ නාසා ආයතනයේ ‘කියුරියෝසිටි’ රෝවර් යානය පිටත්ව ගියේ නොවැම්බර් 26 වැනිදාය. ලෝ සුපතල ටයිම් සඟරාව පවසන්නේ 2011 වසරේදී නිර්මාණය කළ හොඳම තාක්ෂණික මෙවලම වන්නේ මෙම රෝවර් යානය කියාය. ඇමෙරිකාවේ නාසා ආයතනය ප‍්‍රථම වරට නිර්මාණය කළ අති විශාල, අති නවීන රොබෝ යානය ගමනාරම්භ කළේ අනාගතයේ දිනෙක අඟහරු ග‍්‍රහලෝකයට මිනිසුන් යැවීමේ අරමුණෙනි. ‘කියුරියෝසිටි’ හෙවත් ‘කුතුහලය’ නැමැති එම ගවේෂණ යානය ‘සිහින යතුර’ හා ‘අඟහරු විද්‍යා රසායනාගාරය’ කියාත් හැඳින්වේ. මිනිස් තාක්ෂණයේ උපරිමය මෙම රොබෝ ගවේෂණ යානය නිර්මාණය සඳහා යොදා ගෙන ඇති බවත් යානයේ අඟහරු ගමන මිනිස් ඉතිහාසයේ ඓතිහාසික සංසිද්ධියක් වනු ඇති බවත් නාසා විද්‍යාඥයෝ පැවැසූහ.

14. පෘථිවියට සමාන ග‍්‍රහලොවක්
ආලෝක වර්ෂ 600කට ඈතින් පිහිටි ග‍්‍රහලොවක ජීවය පැවැතිය හැකි බවට සාක්ෂි ඇතැයි නාසා ආයතනය ප‍්‍රකාශ කළේ දෙසැම්බර් 3 වැනිදාය. එම ග‍්‍රහලොව ‘කෙප්ලර් 22 බී’ යනුවෙන් නම් කෙරුණි. නාසා විද්‍යාඥයන් ප‍්‍රකාශ කළ අන්දමට ‘කෙප්ලර් 22 බී’ ග‍්‍රහලොවේ, මතුපිට උෂ්ණත්වය ෆැරන්හයිට් 72ක් පමණය. එම උෂ්ණත්වය අපේ පොළොවේ වසන්ත කාලයේ උෂ්ණත්වයට සමානය. ‘කෙප්ලර් 22බී’ පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600 ක් දුරිනි. බයි. ‘කෙප්ලර් 22බී’  ග‍්‍රහලොව ගැන මුලින්ම තාරකා විද්‍යාඥයන්ට තොරතුරු ලැබී ඇත්තේ 2009 වසරේදීය. පෘථිවියට වඩා ප‍්‍රමාණයෙන් විශාල වූ මෙම ග‍්‍රහලෝකය අපගේ සූර්යයාට වඩා ප‍්‍රමාණයෙන් කුඩා තරුවක් වටා භ‍්‍රමණය වෙන බව ඔවුහු පවසති. ‘කෙප්ලර් 22බී’ භ‍්‍රමණය වන කුඩා තාරකාව ‘ජී5’ යනුවෙන් නම් කොට ඇත. ස්කන්ධය හා අරය අපේ සූර්යයට වඩා ප‍්‍රමාණයෙන් මඳක් කුඩාය. මේ හේතුව නිසා මේ තරුව සූර්යයට වඩා දීප්තියෙන් ද අඩුය.

Post a Comment

1 Comments