HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඇමරිකන් සිසුවකුගේ අලූත් ම නිපැයුමක් - විදුලියෙන් කි‍්‍රයා කරන තනි රෝදේ ‘සයිකලයක්’

ඔන්න, බලන්න අත් නෑ. ඇත්තේ තනි රෝදයක් විතරයි. නවතම තනිරෝදේ සයිකලය. මෙය පදවන්නේ එය නිපදවූ ස්ටීවන් බෝයර් නම් සිසුවාමයි. ඔහු ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ ඉගෙන ගන්නා අයෙක්. ගමන නතර කරන විට මෙහි ඇති විදුලි මෝටරය නවතා දැමීමට එක අතකින් අල්ල ගෙන සිටින විදුලි රැහැනකට සම්බන්ධ කළ ස්විචයකින්.

(මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ සිසු ස්ටීවන් බෝයර් තම තනිරෝදේ නව නිපැයුම පදවන අයුරු.)

නිදහසේ එහා මෙහා යා හැකි විදුලි බලයෙන් කි‍්‍රයා කරන මෙම තනිරෝදේ සයිකලය භාවිතා කිරීමේ දී එය පදවන්නා විසින් සිරුර එහාට මෙහාට නැඹුරු කිරීමෙන් තමයි, ගමන සිදු කරන්නේ. මෙහිදී ඔහුට ස්වයං සමබරතාවක් පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. ගමනේ දී වේගය වැඩි කර ගැනීමට මඳක් ඉදිරියට නැමෙනවා. වේගය අඩු කිරීමට පසුපසට නැමෙනවා. ඔහු දැන් මේකෙන් තමයි, ඒ කැම්පස් එක පුරා අවශ්‍ය ගමන් බිමන් යන්නෙ. උපරිම වේගය පැයට සැතැපුම් 13කි.

මේක හරියට කුඩා ප‍්‍රමාණයේ ‘සෙග්වේ’ එකක් වගෙයි. ‘සෙග්වේ පීටී’ (Segway PT) හෙවත් ‘සෙග්වේ ඒක පුද්ගල ප‍්‍රවාහන ක‍්‍රමය’ කියා හැඳින්වෙන්නේ 2001 ඞීන් කේමන් විසින් නිපදවනු ලැබූ දැන් ඇමරිකාව ප‍්‍රමුඛ රටවල වෙළඳ පොළේ ඇති රෝද දෙකක් සහිත ගමනාගමන ක‍්‍රමයක්. පරිසර හිතකාමී ප‍්‍රවාහන ක‍්‍රමයක් ලෙස සැලකෙන මෙය පහසුවෙන් එහා මෙහා යාමට තනි පුද්ගලයකුට උචිත ‘සයිකලයක්’ ලෙස මුලින් ම ආවත්, විදුලි බලයෙන් කි‍්‍රයා කරන ගමන් බිමන් ක‍්‍රමවලට වැඩි ඉල්ලූමක් දැන් ඇති වී තියෙන නිසා වෙනත් කටයුතුවලටත් යොදා ගන්නවා. ඇමරිකන් ජනාධිපති බැරක් ඔබාමාත් වරක් මේ යානයක් පදවනු අප ටෙලිවිෂනයෙන් දුටුවා.

නගරවල ගමනාගමන තදබදය ඇති තැන්වල ගමන්බිමන්වලට විතරක් නෙවෙයි, සංචාරකයන්ට පරිසරයේ සිරි නරඹන්නත්, මුර සංචාරක කටයුතුවලටත්, වෙන එකක් තියා ටෙස්ට් කි‍්‍රකට් තරගවල දී කැමරාකරුවන් පිටිය අවට සරමින් රූ ගත කිරීම් සඳහාත් යොදා ගන්නවා. පරිසර හිතකාමී ලෙසින් නව තාක්ෂණයට විදුලි බලය යොදා ගැනීමත් දැන් ‘සෙග්වේ තාක්ෂණය’ ලෙසිනුයි හැඳින්වෙන්නේ.

සෙග්වේ සයිකලයට අවට ඇති දේවල නොහැපී ගමන් කරන්නට විදුලි සංවේදක පවා සවි කර තියෙනවා. කාරයක සුක්කනාමක් බඳු හැසුරම් උපාංගයක් තියෙනවා. එහෙත් එවැන්නක් ස්ටීවන් බෝයර්ගේ ‘යුනි සයිකලයේ’ නම් නෑ. මෙය සෙග්වේ සයිකලයක් වගේ පහසුවෙන් හසුරුවන්නත් බැහැ. තවමත් සංවර්ධනය කළ යුතු මට්ටමේ තියෙන එකක්. බෝයර් මේ නව නිපැයුම ගැන ඔහුගේ බ්ලොගයෙන් කියා සිටින්නේ මෙහෙයි. ‘අවාසනාවකට, මේ සයිකලය අතට ගත්ත ගමන් යමකුට එකපාරටම මෙය පදවා ගෙන යන්න බැහැ. මටත් පැය කීපයක් විතර ගියා මෙය එක එල්ලයට පදවා ගෙන යන්න. ඒවගේම දින ගණනක් ගියා හසුරුවන හැටි ඉගෙන ගන්න’ ඔහු කියනවා. මෙය තවමත් වෙළඳ පොළට ඇවිත් නැහැ. වෙළඳ පොළෙහි ඇති ජනපි‍්‍රය සයිකලය සෙග්වේ සයිකලයයි. එය ඉතා හොඳින් හසුරුවන්න පුළුවන් එකක්.

(දැන් ලොව භාවිත වෙන සෙග්වේ සයිකලයක් පදවන පොලිස් භටයෙක්. මේ යානයකට පැයට කිලෝමීටර 13ක පමණ උපරිම වේගයක් ලබා ගත හැකියි.)

Post a Comment

2 Comments

  1. දිගමට මේවැනි ලිපි ලියන්න ශක්තිය, කාලවේලාව ලබා ගන්න හැකිවේවා ඔබට.

    2012 අවසානය ‍‍තෙක් පැමිණෙන සියලු අද්දැකීම්, මැදහත් සිතින් ගෙවා දැමීමට ශක්තිය සියලු සයිබර් මිතුරන්ට ලැබේවා !!!

    ReplyDelete
  2. 2012 loka awasanaya gana lipi tikak pala kaloth narakada ??

    ReplyDelete