අන්තර්ජාලයෙන් හඳුනාගත් ඔබ හැමට මේ ලැබුවාවූ 2012 වසර සාමයෙන් හා සෞභාග්‍යයෙන් පිරි පී‍්‍රතිමත් එකක් වේවායී පොතේ භාෂාවෙන් සුබ පතන්නට අදහස් කළේ අවුරුද්දේ පළමු සටහනින් පොත් ගැන යමක් ගෙන හැර දක්වන්නට සිතූ හෙයිනි; පොත් ගැන කතා කිරීම සුබ කටයුත්තක් ලෙස මා සලකන බැවිනි.
කේ. ජයතිලක, මැක්සිම් ගෝර්කි හා මාර්ටින් වික‍්‍රමසිංහ පොතෙහි අගය දුටු හැටි
මේ සටහන ලියන්නට සිත් වූයේ ගිය වසරේ අපෙන් වියෝ වී ගිය කේ. ජයතිලක නම් මහා ප‍්‍රාඥයා ගැන පළ කළ පොතක් නිසාය. ඒ පොත ලියා තිබුණේ අපේ ප‍්‍රකට ලේඛිකාවක වූ කැත්ලීන් ජයවර්ධන විසිනි. කේ. ජයතිලකයන්ගේ කෘතීන්වල ඇතුළත් වූ හරබර අදහස් උපුටා ගනිමින් ‘පැහැසර සිතුවිලි - කේ. ජයතිලක නිර්මාණ සැරිසර’ නමින් ඇය විසින් ලියා ඇති එම කෘතිය ජයතිලකයන්ට කරන ලද විශිෂ්ටතම උපහාරය ලෙස මම දකිමි. (පැහැසර සිතුවිලි - ISBN 978-955-1715-27-4)
එහි පොත් ගැන ජයතිලකයන් ඔහුගේ ‘සංකල්පන’ නම් කෘතියෙහි දැක්වූ අදහසක් මෙසේ ගොනු කර තිබේ. ඒ සඳහා ඇය පසුවදනක් ද ලියා තබයි.
පොත්
ඇතැම් පොතක් : කෙළින්ම හදවතට ඇතුළු වී නටයි; ගයයි; පෙරළි කරයි.
ඇතැම් පොතක් : හදවතටත් මොළයටත් ඇතුළු වෙයි.
ඇතැම් පොතක් : මොළයට ඇතුළු වී තෝන් ලනුව අතට ගනියි.
(සංකල්පනා - 27 පිටුව)
පසුවදන
ඇතැම් පොතක් අපට ලබා දෙන්නේ හුදු වින්දනය පමණි.
ඇතැම් පොතක් අපට සිතන්නට අනුබල දෙයි; නැණස ද පාදයි.
තවත් පොතක් අපේ ජීවිතය වෙනස් කරන මාර්ගෝපදේශකයකු බවට පත් වේ. එය අපේ දිවිගමන ද හසුරුවයි.
(පැහැසර සිතුවිලි - 188 පිටුව)
තියුණු බුද්ධියක් ඇති පාඨකයකුට නම් ජයතිලකයන් පෙළ ගස්වා ඇති වදන් කියවීමෙන් ම ඔහු අදහස් කරන දෙය සිතා ගත හැකියි. අපේ කැත්ලීන් ජයවර්ධන ගත්කතුවරිය ඊට පසුවදන සපයා ඇත්තේ සාමාන්‍ය පාඨකයකුට එහි අරුත් පහදා දීමටයි. ඒ ගැන ඊට වැඩි යමක් මම සඳහන් නොකරමි.
ඒ වෙනුවට, ලෝපතල රුසියන් ගත්කරු මැක්සිම් ගෝකි පොත් ගැන දැක්වූ අදහසක් හා අවසානයට අපේ මහගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයන් සිය ‘ජාතක කතා විමසුම’ නම් කෘතියේ එන තවත් එක් අදහසක් පමණක් උපුටා දැක්වීමට තීරණය කළෙමි. මෙය උපුටා ගත්තේ අපට සිටින විශිෂ්ටතම පරිවර්තකයා ලෙස මා සලකන කළුබෝවිල සිරිල් සී. පෙරේරා සූරීන්ගේ පරිවර්තනයකිනි. ‘පොතයි මමයි’ යනුවෙන් සිංහලට නගා ඇති මෙය මැක්සිම් ගෝර්කි විසින් 1925 දී ප‍්‍රංශ සාහිත්‍ය ග‍්‍රන්ථයකට ලියන ලද සංඥාපනයකින් උපුටා ගත්තකි.
”මා තුළ ඇති යහපත් වූ හැම දෙයකට ම මම පොත්වලට ණය ගැති වෙමි. මනුෂ්‍යයන්ට වඩා කලාව ත්‍යාගවන්ත බව මම මගේ තරුණ කාලයේ දී ම පසක් කෙළෙමි. මම පොත්වලට ආදරය කරන්නෙමි. හැම පොතක් මට පෙනෙන්නේ හාස්කමක් හැටියට ය. ගැඹුරු හැඟීම්වලින් හා පී‍්‍රතිමත් උද්‍යෝගයෙන් යුතුව මිස මට පොතක් ගැන කතා කළ නොහැකි ය.”
(මැක්සිම් ගෝර්කි - පොතයි මමයි - 5 පිටුව)
පොත් ගැන පොත්වලින් ඉටුවන සමාජ මෙහෙවර අවබෝධ කර ගැනීමට මේ භාෂිතයන් දෙක ම ප‍්‍රමාණවත් වුවද ‘අපේ පන්සිය පණස් ජාතක පොත’ ගැන මාර්ටින් වික‍්‍රමසිංහයන් විසින් දක්වා ඇති අදහසක් ද මෙහිලා දැක්වීමට කල්පනා කළේ ජාතක කතා පොතට ම පමණක් සීමා නොකර පොදුවේ පොත් කෙරෙහි ආලෝකයක් විහිදු වීමට සමත් නිර්වචනයක් එහි අඩංගු වී ඇතැයි සිතන බැවිනි.
”යාථාර්ථ රීතියෙන් ලියවී ඇති ජාතක පොතේ බොහෝ කථාවල එන සොරුන්, මං පහරන්නන්, කුහකයන්, කපටියන්, ගොවියන්, ගොපල්ලන්, දාසයන්, කාමුකයන්, විපරිත කාමය ඇත්තන්, කාමයෙන් උමතු වූවන්, වඩුවන්, රන්කරුවන්, ගණිකාවන්, වෙසඟණන් ආදීන්ගේ චරිතාංග කියවන විට දෙසිය අවුරුද්දක් ජීවත්වීමෙන් ලැබිය හැකි අත්දැකීමටත් මානව චරිත පිළිබඳ දැනුමටත් තැන්පත් නුවුණටත් වැඩි අත්දැකීමක්, මානව චරිත දැනුමක් හා තැන්පත් නුවණක් ලැබිය හැකිය.” මෙය ජාතක කතා ඉලක්ක කර ගෙන ලියූවක් වුවත් යථාර්ථ රීතියෙන් ලියැවෙන අනික් පොතට ද මෙය අදාළ කර ගත හැකිය.
ඔබෙන් ලැබෙන ප‍්‍රතිචාර අනුව පොත් ගැන ඉදිරියටත් සටහන් තැබීමට අදහස් කරමි.
පර්සි ජයමාන්න
2 Comments
ඉස්සෙල්ලම සුබ අලුත් අවුරුද්දක් පතමි ...
ReplyDeleteඊ ලඟට පොත් ගැන..
පොත් ගැන නම් කොච්චර ලිව්වත් ඇති වෙන්නෙ නෑනෙ කොල්ලො ...
මම දන්න තරමින් පොත් ගැන ලියවෙන බ්ලොග් අඩවිත් අඩුයි. ඒ නිසා ලියන එකේ වරදක් නෑ. පර්සි ජයමාන්න විධියට සෙවීමෙන් හොයාගන්න ලැබෙන පුද්ගලයා ඇත්තටම ඔබ නම් ඔබේ අත්දැකීම් සහ දැණුම බ්ලොග් අවකාශයට වැදගත් වෙයි.
ReplyDeleteකේ. ජයතිලක සූරීන්ගෙ පොත් කීපයක් බොහොම කාලෙකට කලින් කියවල තියෙනව. ඔහුගෙ "දින සටහන්" පොත ඒ අතරින් ඒ දවස්වල මට හොඳට දැණුන පොතක්. 'ඉර පායන විට එය පෙනෙන අතර වැස්ස පායන විට එය නොපෙනේ, ගංවතුර ගලන විට මත්ස්‍යයෝ කුහුඹුවන් ආහාරයට ගන්නා අතර ගංවතුර බැස ගිය පසු කුහුඹුවෝ මත්ස්‍යයන් ආහාරයට ගනී.' වගේ ඇඬෙන කතා ගොඩක් ඒ පොතේ තිබුණ.
අපට ඉන්න හොඳම පරිවර්තකයා විධියට සිරිල් සී. පෙරේරා මහත්මයව සැලකීමට විවාදයකින් තොරවම එකඟයි මම.