අභ්‍යවකාශයේ මහා අබිරහස : කළු කුහර Black Hole

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අභ්‍යවකාශයේ සමහර තැනක ගුරුත්වය කෙතරම් ප‍්‍රබල ද යත් අති දැවැන්ත රික්තක ශෝධකයක් (vacuum cleaner) මෙන් ඒ අසළට එන හැම දෙයක් ම, ඒ කියන්නෙ ඕනෑම පදාර්ථයක් උරා ගන්නවා, එහෙමත් නැත්නම් ගිල ගන්නවා කියලයි. සමහර විට තරුවක්, වල්ගා තරුවක් හෝ ග‍්‍රහ ලෝකයක් හෝ වාත වලාවක් වෙන්න පුළුවන්. ඒවා කොතරම් විශාල වුනත් ඒවායේ ප‍්‍රමාණය ගැන ප‍්‍රශ්නයක් නැහැ. අප ජීවත්වන මේ පොළොව ඇතුළු මුළු සෞරග‍්‍රහ මණ්ඩලය ම වුනත් ගිලගන්න මහ වෙලාවක් යන්නෙ නැහැ. මේ අද්භූත තැන් හැඳින්වෙන්නේ කළු කුහර කියලයි. මේවා ඇසට පෙනෙන්නේ නැහැ. මේවා තමන්ට හසුවන ආලෝකයක් වුවත් උරා ගෙන ගිල ගන්නවා. ඒ අලෝකයට ඉන්පසු එළිය විහිදුවීම කරන්න බැහැ. මෙසේ ගිල ගැනීමේ දී එහි ස්කන්ධය හැකිළෙනවා. ඝනත්වය අනන්තයට පත් වෙමින් සදහටම නොපෙනී යනවා. මේ විදියට අති ප‍්‍රබල ගුරුත්වාකර්ෂණයකින් ඒ අසලට එන ආලෝකය පවා ගිල ගන්නා නිසයි, මේවා කළු කුහර (Black Hole) යනුවෙන් හැඳින්වෙන්නේ. මෙවැන්නක පවතින ගුරුත්වය කෙතරම් ප‍්‍රබල එකක් ද යත් එයින් කාලය හා අවකාශය කෙරෙහි බලපෑමක් එල්ල කෙරෙනවා. කාලයේ වේගය අඩු කරනවා, අවකාශය පුළුල් කර විදහනවා. ඒ නිසා මේ තත්වය අභ්‍යවකාශයේ හමුවන සුවිශේෂී එකක් ලෙස සැලකෙනවා.


මුලින්ම කළු කුහරවලට නම දුන් විද්‍යාඥයා
විශ්වයේ හමුවන අති ප‍්‍රබල ගුරුත්වයකින් යුත් තමන්ට අසුවන සියල්ල ශූන්‍ය කරන අඳුරු තැන් ලෙස සැලකෙන මේවා කළු කුහර හෙවත් බ්ලැක් හෝල්ස් කියා මුලින් ම හැඳින්වූයේ ජෝන් වීලර් කියන ඇමෙරිකානු භෞතික විද්‍යාඥයායි. ඒ 1967 දී ‘අප දන්නා හා නොදන්නා විශ්වය’ යනුවෙන් දේශනයක් කරද්දීයි. කලින් මේ අපූරු වස්තූන් හැඳින්වූ ‘මිදුණු තරු’ (Frozen stars) ‘අඳුරු තැන්’ (Dark places) ආදී නම්වලට වඩා මෙම නම සිත් ගන්නාසුලූ එකක් වුණු නිසා එදා පටන් ලොව පුරා හැමෝම ‘බ්ලැක් හෝල්’ (Black hole) යන්න භාවිත කරන්න පටන් ගත්තා.

ඔබ හැම දන්නා පරිදි ආලෝකය නිසා තමයි, අපට යමක් පෙනෙන්නේ. යම් වස්තුවක් මතට ආලෝකය පතිත වී පරාවර්තනය වන නිසයි, අපට ඒ වස්තුව දැක ගත හැකි වන්නේ. එසේ ම ආලෝකය විහිදුවන වස්තුත් අපට පෙනෙනවා. කළු කුහර තුළ දී මේ දෙකම සිදුවන්නේ නැහැ. අලෝකය ගිල ගන්නා නිසා විහිදු වීමක්වත් පරාවර්තනය වීමක්වත් සිදු වන්නේ නැහැ. ඒ නිසා ඒවා අපට කෙළින් ම දැක ගන්න විදියක් නැහැ. එහෙනම් කොහොමද විශ්වයේ මේවා ඇති බව දැන ගන්නේ ? දැක ගන්නේ ? යම් හෙයකින් වල්ගා තරුවක් හෝ වාත වලාවක් කළු කුහරයක් මගින් ගිල ගන්නා මොහොතක් කවදා හෝ අපට දැක ගත හැකි වුණොත් එවැන්නක් ස්ථිරව ම ඇති බව සැක හැර දැන ගන්න පුළුවන් වෙයි. ඒත් තවමත් එවැනි තත්වයක් උදා වෙලා නැහැ.


විද්‍යා ප‍්‍රබන්ධ කතාවල එන කළු කුහර
දැනට අපට මේ කළු කුහර වැඩිපුර ම දැක ගත හැක්කේ විද්‍යා ප‍්‍රබන්ධ කතාවලයි. විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක දී නම් ඔබට මේ කළු කුහරයක් ඇතුළට ගිහින් ත‍්‍රාසජනක අත්දැකීමක් ලබන්නත් පුළුවන්. ඒත් සැබෑවට ම කළු කුහරයක් ඇතුළට ගියොත් ආපසු එන්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම නම් කළු කුහරය යන සංකල්පය න්‍යායාත්මක භෞතික විද්‍යාඥයන්ගේ හිතලූවක්. සැබෑ කළු කුහරයක් ලෙස ස්ථිරව තහවුරු කළ දෙයක් තවමත් සොයා ගෙන නැහැ. 1915 දී ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ ඔහුගේ සාපේක්ෂතා න්‍යාය නිසයි, කළු කුහර පැවතිය හැකි යැයි විද්‍යාඥයන් විශ්වාස කරන්න පටන් ගත්තේ.

අයින්ස්ටයින්ගේ න්‍යායට අනුව ගුරුත්වය අති ප‍්‍රබල වූ විට ආලෝකයේ සියලූ ශක්තිය උරා ගන්නවා, හරියට ග‍්‍රහ ලෝකයක් එහි වායුගෝලය ඇද ගෙන සිර කර ගන්නවා වගේ. ගුරුත්වය ඒ තරම් අති ප‍්‍රබල වෙන්න නම් එහි ඝනත්වය ඉතාමත් දැඩි එකක් වෙන්න ඕනෑ. ඒ කියන්නේ අති දැවැන්ත ස්කන්ධයක් ඉතා කුඩා ඉඩ ප‍්‍රමාණයක් තුළට හැකිළෙන්න ඕනෑ. 1916 දී ජර්මන් තාරකා විද්‍යාඥයකු වූ කාල් ෂ්වෝස්චයිල්ඞ් මේ ගැන ගණනයක් කළා. ඔහු පෙන්නා දුන්නා අපේ සූර්යයා වැනි තරුවක් ආලෝකය උරා ගත හැකි තරමට ඝනත්වයෙන් වැඩි වෙන්න නම් දැනට එහි ඇති විෂ්කම්භය වූ කිලෝ මීටර 1,392,000 ප‍්‍රමාණය කිලෝ මීටර 3ක් තරමට හැකිළෙන්න ඕනෑ.

කළු කුහර හැදන්නේ මෙහෙමයි
1939 ඇමෙරිකානු භෞතික විද්‍යාඥයන් දෙපළක් වන ජේ. රොබට්  ඕපෙන්හයිමර් හා හාට්ලන්ඞ් එස්. ස්නයිඩර් විසින් හෙළිදරවු කරනු ලැබුවා, සූර්යයාට වඩා අති විශාල තරු මේ ප‍්‍රමාණයට හැකිළීමට ඉඩ ඇති බව. තරුවක් සිය ජීවිත කාලය පුරා ම එක ම ප‍්‍රමාණයෙන් පවතින්නේ එහි කි‍්‍රයාත්මක වන බලවේගවල සමතුලිත බව නිසයි. තරුවක් තුළ දැවෙන ඉන්ධන ඇති කරන තාපය නිසා තරුව පිටතට ප‍්‍රසාරණය වීමත් ගුරුත්වය නිසා ඇතුළට ඇදීමත් සිදු වෙනවා. කල් යාමේ දී වසර බිලියන ගණනකට පසු මේ තරුවේ න්‍යෂ්ටික ඉන්ධන දැවී අවසන් වීම නිසාත් එහි  ඇති අධික බර නිසාත් විනාශ වී යා හැකි බව ඔවුන් පෙන්නා දුන්නා. සූර්යයා මෙන් 3.2ක ගුණයක් වැඩි තරුවක් මේ ආකාරයට විනාශ වී යාම නොවැළක්විය හැකි දෙයකැයි ඔවුන් විසින් ඔප්පු කරනු ලැබුවා. බොහෝ විට කළු කුහර බවට පත් විය හැක්කේ මේ ආකාරයට විනාශ වන අති දැවැන්ත තාරකායි.


විද්‍යාඥයන්ගේ විශ්වාසයට අනුව අප අයත් මන්දාකිණිය වූ ක්ෂීර පථය තුළ පමණක් මෙසේ විනාශ වූ තරුවලින් සෑදුණු කළු කුහර මිලියන 100කට වැඩිය තිබිය හැකි බවයි. 1990 දී නිව් මෙක්සිකෝවේ පිහිටුවා ඇති දැවැන්ත ගුවන්විදුලි දුරේක්ෂකයක් මගින් සොයා ගනු ලැබුවා මේ ක්ෂීර පථය මැද අඛණ්ඩව සිදුවන අති විශාල පිපිරීම් ඇති බව. ඒ පිළිබිඹු අනුව ක්ෂීර පථය මැද අපේ සූර්යයා මෙන් මිලියන හතර ගුණයක් විශාල ස්කන්ධයක් ඇති කළු කුහරයක් තිබිය හැකි යැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා. 1992 දී හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා, අපේ ක්ෂීරපථය අසල පිහිටි වෙනත් මන්දාකිණියක අපේ හිරු මෙන් මිලියන තුන් ගුණයක් විශාල කළු කුහරයක් ඇති බවට, සලකුණු.

කළු කුහර දැක ගත නොහැකි නිසා විද්‍යාඥයන් ඒවා ඇති තැන් හඳුනා ගන්නට තැත් කරන්නේ ඒවා ඇතැයි සැක කෙරෙන තැන්වල සිදු වන යම් යම් වෙනස්වීම්වලින්. කළු කුහරයක් මැදට කැරකැවෙමින් ඇතුළුවන පදාර්ථවලින් වේගයෙන් විමෝචනය කෙරෙන විකිරණ ගුවන් විදුලි දුරේක්ෂයකින් හසු කර ගන්න පුළුවන්. 1965 දී තාරකා විද්‍යාඥයන්ට සිග්නස් තරු පන්තියෙන් තීව‍්‍ර එක්ස් කිරණ විහිදෙනු දැක ගත හැකි වුණා. ඒ ආලෝක වර්ෂ 10,000ක් ඈතින් පිහිටියක්. 1971 දී ලෝකයේ ප‍්‍රථම එක්ස් කිරණ චන්ද්‍රිකාව මගින් මේ එක්ස් කිරණ ආ දිසාව හරියට ම සොයා ගත්තා. ‘සිග්නස් එක්ස් -1’ කියා නම් කරනු ලැබූ මෙය මුලින් ම හඳුනා ගත් කළු කුහරය ලෙස වාර්තා පොතට එක් වෙනවා. මේ අතින් වාර්තා පොතට එක් වූ අළුත් ම කළු කුහරය වන්නේ 2007 ඔක්තෝබර මුල සතියේ කැලිෆෝනියාවේ සැන්දියේගෝ සරසවියේ ජෙරොමි ඔරෝස් ප‍්‍රමුඛ කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබූ ‘මෙසියර් 33’ නම් මන්දාකිණියේ පිහිටි කළු කුහරයයි. මේ කළු කුහරය අපේ හිරු මෙන් 15.65 ගුණයක් විශාල ස්කන්ධයක් ඇති එකක්. මේ කළු කුහරය වටා අපේ හිරු මෙන් 70 ගුණයක ස්කන්ධයක් තරුවක් ද භ‍්‍රමණය වන බැව් ද මේ විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා.


විද්‍යාඥයන් හෙළිදරවු කර ඇති ආකාරයට අනුව මෙම කළු කුහර ද අනෙක් තරු හා ග‍්‍රහ වස්තු මෙන් විශ්වය හරහා ගමන් කරනවා. ඒ වගේ ම දැනටමත් කළු කුහර මිලියන ගණනක් විශ්වය තුළ බිහිවී තියෙනවා. එසේ ම විශ්වයේ ඇති යෝධ තරු හැකිළීමෙන් තවතවත් කළු කුහර බිහි  වෙනවා. යම් හෙයකින් අපේ සූර්යයා මේ කළු කුහරයක ආකර්ෂණයකට හසු වුවහොත් එය අපේත් අවසානය විය හැකියි. ඒ විතරක් නෙවෙයි අපේ විද්‍යාඥයන් පර්යේෂණාගාර තුළ කුඩාවට කළු කුහර තනන්න උත්සාහ කරනවා. යම් හෙයකින් එවැනි කළු කුහරයක් තනා එය වැරදීමකින් මුදා හරිනු ලැබුවොත් ප‍්‍රමාණය කුඩා වුනත් එවැන්නකටත් අපේ පෘථිවිය ගිල ගැනීමට හැකියාව තියෙනවා.

වාර්තා ගත වූ විශාලතම කළු කුහරය
මෙතෙක් හමුවූ අති දැවැන්තම කළු කුහරය හමුවී ඇත්තේ අපේ අසල්වැසි මන්දාකිණියක් වන මෙසියර් 33 අසලිනි. සර්පිල මන්දාකිණියක් වන මෙම මෙසියර් 33 තුළ පිහිටි මේ කළු කුහරයෙහි ස්කන්ධයේ විශාලත්වය අපේ හිරු මෙන් 15.65 ගුණයක් වෙතැයි සැලකේ. බි‍්‍රතාන්‍යයේ පළ වූ ‘නේචර්’ සඟරාවේ විශේෂ ලිපියක් මගින් මේ බව හෙළි කර ඇත්තේ කැලිෆෝනියාවේ සැන්දියේගෝ සරසවියේ ජෙරොමි ඔරෝස් ප‍්‍රමුඛ කණ්ඩායමක් විසිනි. එසේ ම මෙම කළු කුහරයට ආසන්නව ඒ වටා අපේ හිරු මෙන් 70 ගුණයක ස්කන්ධයක් තරුවක් ද භ‍්‍රමණය වන බැව් ද මේ විද්‍යාඥයන් සොයා ගෙන තිබේ. දින 3.45කට වරක් එම කළු කුහරය වටා යන මෙම තරුව නිසා ආවරණය වන හා නිරාවරණය වන මේ කළු කුහරය නිකුත් කරන එක්ස් කිරණ අධ්‍යයනයෙන් මේ සොයා ගැනීම කිරීමට එම විද්‍යාඥ පිරිස සමත් වී ඇත.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

9 Comments

  1. Black Holes gana hugak hodha vistharayak me lipiyen idiripath karala thiyenava. Danuma vadi karana vivdha topics vala lipi pala karana Malkakulu harima prayojanavath website ekak. Apey subapathum!

    ReplyDelete
  2. kalukuharayakata tharuwak gilagannawa mokak hari ekkin daka gaththa kiyala news ekak thibba wage mata mathakai.habai sure ne

    ReplyDelete
  3. "If the semi-diameter of a sphere of the same density as the Sun were to exceed that of the Sun in the proportion of 500 to 1, a body falling from an infinite height towards it would have acquired at its surface greater velocity than that of light, and consequently supposing light to be attracted by the same force in proportion to its vis inertiae, with other bodies, all light emitted from such a body would be made to return towards it by its own proper gravity"
    —John Michell[3]

    ReplyDelete
  4. Black Holes are billions of years old,
    Scientists unlock the secret that they hold,
    Nothing can escape, not even light,
    Nothing can escape, even with a fight.

    Black Holes are from dead stars,
    They are really far from Mars,
    In a Black Hole is similarity,
    But in a Black Hole there's no prosperity.

    Black Holes are in deep space,
    They suck everything all over the place,
    The universe was created by the Big Bang,
    And astronauts all love to drink Tang!

    -Black Holes by Corbin-

    ReplyDelete
  5. මේ ලිපිය මම කියෙව්වේ හරිම ආසාවෙන්. ඇත්තටම අපි නොදන්නා විශ්වය කොතරම්ද? මට පුදුම හිතුණා. අපේ පෘතුවිය විතරක් නෙවේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයම එක හුස්මට කළු කුහරයකට ගිල දාන්න පුළුවන් කිව්වම ජීවිතය ගැන ගොඩාක් දේවල් මට හිතුණා. අපි පුංචි බිම් කෑලිවලට රණ්ඩු වෙනවා. බැන ගන්නවා. ගහ ගන්නවා. නඩු කියනවා. ඒත් මේ විශ්වයේ තියෙන මහ ජව සම්පන්න බලයත් එක්ක ඒවා මොන තරම් විහිළුද? අපේ බුදුහාමුදුරුවෝත් මේ යථාර්ථය ගැන ගොඩාක් දේවල් දේශනා කරලා තියෙනවා නේද? හරිම පුදුමයි.

    ReplyDelete
  6. නියම වැඩක් කරලා තියෙන්නේ.දිගටම මේ වගේ ලියන්න.මේ ලිපිය මට හුඟාක් ප්‍රයෝජනවත් වුණා.ඒ වෙනුවෙන් මගේ ප්‍රණාමය.

    ReplyDelete
  7. කලු කුහර හරහා කාලය වක්‍ර කරලනෙ කාලය හරහා යන්න පුළුවන් කියන්නෙ.

    ReplyDelete
  8. තේරෙන සිංහලෙන්ම තියෙනව නියමයිනේ ....

    ReplyDelete
  9. සිංහලෙන් මෙවැනි විස්තර දැක්වීමට ස්තුතියි

    ReplyDelete