සිංහල සිනමාව ආරම්භ වී අදට හරියට ම 65ස් වසරකි. මුල් ම සිංහල චිත‍්‍රපටය ‘කඩවුණු පොරොන්දුව’ ද?

සිංහල සිනමාව ආරම්භ වී අදට හරියට ම 65ස් වසරකි. ඒ මුල් ම සිංහල චිත‍්‍රපටය ලෙස සැලකෙන ‘කඩවුණු පොරොන්දුව’ මංගල දර්ශනය පැවැත් වූයේ 1947 ජනවාරි 21 වැනිදා වීම නිසාය. එහෙත් ඇතැම් අය සලකන්නේ ප‍්‍රථම සිංහල චිත‍්‍රපටය එය නොවන බවයි. ඞී. වී. සෙනෙවිරත්න සුරීන් පැරණි සිංහල සිනමාව ගෙන වරක් මා සමග කීවේ 1925 දී නිපදවූ ‘රාජකීය වික‍්‍රමය’ සම්පූර්ණයෙන් නිපදවා ඉන්දියාවේ දී වරක් ප‍්‍රදර්ශනය කිරීමෙන් පසු සතුරන් විසින් ගිනි තබා විනාශ කරන ලද බවයි. නිහඬ චිත‍්‍රපටයක් වූ එය ගුප්තා නම් ඉන්දියානු අධ්‍යක්ෂවරයකු යොදා ටී. ඒ. නූර්භායි නිපදවූවකි. ඒ චිත‍්‍රපටයේ ඇන්. ඇම්. පෙරේරා, (ඔහු පසුව අපේ ප‍්‍රකට දේශපාලනඥයකු විය.) සිබිල් ෆීම්, ඇන්. පී. ඞී. ඇල්බට් සිල්වා, ඇන්. ආර්. ඩයස් ආදීහු රඟපෑ බව සඳහන් වෙයි.



‘කඩවුණු පොරොන්දුව’ චිත‍්‍රකලා මුවිටෝන් වෙනුවෙන් ඇම්. ඇස්. නායගම් නිපදවූ අතර එහි අධ්‍යක්ෂවරයා වූයේ ජෝතිශ් සිං නම් ඉන්දියානුවෙකි. මෙය ඒ කාලේ මිනර්වා නාට්‍ය සමාගම නිපදවූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ජනපි‍්‍රය වූ වේදිකා නාට්‍යයක් ඇසුරෙන් තැනූවකි. ඉන්දියාවට ගොස් සම්පූර්ණයෙන් ම ඉන්දියානු චිත‍්‍රාගාරයක නිපදවූ මෙම චිත‍්‍රපටයේ රුක්මණී දේවි, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එඞී ජයමාන්න, හියුගෝ ප‍්‍රනාන්දු, ස්ටැන්ලි මල්ලවාරච්චි, පීටර් පීරිස්, බර්ට්‍්‍රම් ප‍්‍රනාන්දු, ජෙමිණි කාන්තා ප‍්‍රමුඛ නළුනිළි පිරිසක් රංගනයෙන් දායක වූ බව සඳහන් වෙයි. එවකට සිටි ජනපි‍්‍රය විචාරකයකු වූ ජයවිලාල් විලේගොඩ කීවේ, ”‘කඩවුණු පොරොන්දුවෙ’න් සිදු වූයේ සිංහල සිනමාවක් බිහිවීම නොව ඒ වන විට භාෂා ගණනාවක් කතා කරන ඉන්දියානු සිනමාවට තවත් බසක් එක්වීම පමණක් ය” කියාය. සිංහල ගතියක් ගෑවිලාවත් නැති චිත‍්‍රපටයක් ලෙස ඔහු එය හැඳින්වීය.

මේ කාලයේ ම සිංහල චිත‍්‍රපටයක් තැනීම පිළිබඳ තවත් කණ්ඩායම් කීපයක් ම උනන්දු වූ බව රහසක් නොවේ. එයින් වඩාත් කැපී පෙනෙන්නේ සිලෝන් තියටර්ස් සමාගමයි. ඔවුන්ගේ බලාපොරොත්තුව වුයේත් මුල් ම සිංහල සිනමාපටය බිහි කිරීමටය. එම සමාගම තමන් පැවැත්වූ චිත‍්‍රපට කතා තරගයකින් තේරුණු ‘අශෝකමාලා’ රැගෙන මෙරට නළු නිළි පිරිසක් ද සමගින් ඉන්දියාවට ගියේත් මේ කාලයේයි. ඉන්දියාවේ සිට නැටුම් පුහුණුව ලබා මෙරටට පැමිණි ශාන්ති කුමාර් සෙනෙවිරත්න මෙහි කතාව ලියූ අතර ටී. ආර්. ගෝපු නම් ඉන්දියානු අධ්‍යක්ෂවරයා සමග අධ්‍යක්ෂණය කළා පමණක් නොව ඔහු එමලින් දිඹුලාන සමග එහි ප‍්‍රධාන චරිතය ද රඟපෑවේය. සෙසු චරිත රඟපෑ අය අතර මයිකල් සන්නස් ලියනගේ, හර්බි සෙනෙවිරත්න, ඩබ්ලිව්. දොන් එඞ්වඞ්, ශී‍්‍රමතී කරුණාදේවී, පීටර් සිරිවර්ධන ආදීහු ද වූහ. එහි සංගීතය අධ්‍යක්ෂණය කළේ මොහොමඞ් ගවුස් වන අතර සහය සංගීත අධ්‍යක්ෂ වූයේ ඩබ්ලිව්. ඞී. ඇල්බට් පෙරේරා (දැන් ඩබ්ලිව්. ඞී. අමරදේව) ය. පසු කලෙක අපේ ජනපි‍්‍රය ගායකයකු වූ මොහිදීන් බෙග් එක් වූයේ ද මේ චිත‍්‍රපටයෙනි. මුල් ම සිංහල චිත‍්‍රපටය වීමේ තරගයෙන් පරාජය වූ ‘අශෝකමාලා’ අපේ දෙවැනි චිත‍්‍රපටය විය. තිරගත වූයේ 1947 අපේ‍්‍රල් 9 වැනිදාය. අපේ ම කතාවක් ඇසුරෙන් නිපදවූ මුල් ම සිංහල චිත‍්‍රපටය ලෙස ‘අශෝකමාලා’ හැඳින්විණ.


‘අශෝකමාලා’ චිත‍්‍රපටය ද සිංහල බස කතා කරනු හැරුණු විට අනෙක් බොහෝ අතින් ඉන්දියානු ලක්ෂණවලින් ගහණ වූ බැවින් සැබෑ සිංහල සිනමාවට ආරම්භයක් දුන් චිත‍්‍රපටයක් ලෙස සැලකිය නොහැකිය.

ඉන්පසු සිංහල සිනමාවට නැඟූ ප‍්‍රථම සිංහල නවකතාව වූ ඩබ්ලියු ඒ. සිල්වා සූරීන්ගේ ‘කැලෑහඳ’ නවකතාව ඇසුරෙන් නිපදවූ ‘කැලෑහඳ’ (1953) චිත‍්‍රපටයට ද ඉන්දීය ග‍්‍රහණයෙන් මිදීමට නොහැකි විය. යම්තම් හෝ සිංහල ඌරුවක් මතු වූයේ සිරිසේන විමලවීරගේ ‘පොඩිපුතා’ (1955) චිත‍්‍රපටයෙනි. එහෙත් එය කඩඉමක් ලෙස හැකි තරමට ප‍්‍රබල නොවීය. සිංහල සිනමාවේ කඩඉමක් ලෙස සැලකිය හැකි චිත‍්‍රපටයක් අවේ 1956 දීය. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’යි. සැබෑ සිංහල සිනමාවේ ආරම්භයට මග පෑදුවේ ඒ චිත‍්‍රපටයයි. හොඳ සිංහල චිත‍්‍රපටයක් තැනීමේ අරමුණින් ලෙස්ටර් සමග රජයේ චිත‍්‍රපට අංශයෙන් අස්වී ආ විලියම් බ්ලේක් (පසුව විලී බ්ලේක්) හා ටයිටස් සිල්වා (පසුව ටයිටස් තොටවත්ත) යන අය ද ඊට එක් වූ අතර චිත‍්‍රාගාරවලින් සම්පූර්ණයෙන් ම බැහැර වෙමින් මෙරට නිපදවූ ප‍්‍රථම චිත‍්‍රපටය එය විය. ප‍්‍රථම වරට සිංහල චිත‍්‍රපටයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් මේ නිර්මාණයට ලැබුණේය. අදත් ලොව පුරා බොහෝ චිත‍්‍රපට සංරක්ෂණාගාරවලට මේ චිත‍්‍රපටය එක් කර ගෙන තිබේ.


හුදෙකලා කලාකරුවකු ලෙස පිලිප් කුරේ නම් විචාරකයා ලෙස හඳුන්වනු ලැබූ ලෙස්ටර් ‘රේඛාව’ නිමවා වසර හතරකට පසු ‘සංදේශය’ (1960) නමින් පරංගි පාලන සමයේ කතාවත් සිංහල සිනමාවට එක් කළේය. එය සිංහල සිනමාවේ තවත් කඩඉමක් විය. එහෙත් සැබෑ සිංහල සිනමාවේ ආරම්භය ලෙස මා දකින්නේ තවත් වසර තුනකට පසු එනම්, 1963 දෙසැම්බර් 20 වැනිදා තිරගත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් විශිෂ්ට නිර්මාණයක් වූ ‘ගම්පෙරළිය’යි. ලාංකීය සිනමා ඉතිහාසයේ බිහිවූ අද්විතීය නිර්මාණය එයයි. ඇන්ටන් වික‍්‍රමසිංහගේ නිෂ්පාදනයක් වූ එහි පුණ්‍යා හීන්දෙනිය, හෙන්රි ජයසේන, ගාමිණි පොන්සේකා, ඬේවිඞ් ධර්මකීර්ති, ශාන්ති ලේඛා, ටි‍්‍රලීෂියා ගුණවර්ධන ආදීහූ ඊට රංගනයෙන් දායක වූහ. මාර්ටින් වික‍්‍රමසිංහගේ ඒ නමින් යුත් නවකතාව ඇසුරෙන් මෙහි තිර රචනය කළේ රෙජී සිරිවර්ධනයි. සංගීතය අමරදේවයන්ගේය.

මේ පිළිබඳව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් 1964 ජනවාරි 1 වැනිදා ‘දිනමිණ’ පත‍්‍රයට ලියූ විශේෂ චිත‍්‍රපට විචාරයේ ආරම්භ ෙඡ්දය මෙසේ උපුටා දක්වමි: ”මා ‘ගම්පෙරළිය’ චිත‍්‍රපටිය බලා චිත‍්‍රාගාරයෙන් පිටවී ගියේ ‘කුමක්ද මේ ආශ්චර්යය! මේ ඕපපාතික කලා කෘතිය කෙසේ ප‍්‍රාදූර්භූත වූවක් දැ’යි මවිත වෙමිනි. මක්නිසාද යත් විලියක්, ලජ්ජාවක් නොමැතිව ලෝකයා හමුවෙහි තැබිය හැකි චිත‍්‍රපටයක් බිහි වූවා පමණක් නොවේ; අනවශ්‍ය ගීත ආදියෙන් තොර වූ චිත‍්‍රපටයක් පළමුවරට සෛංහලීය කලා ලොවට පිවිසුණා පමණක් නොවේ; මා හැඟි ග‍්‍රන්ථයකට නිග‍්‍රහ නොකර, එය චිත‍්‍රපට මාධ්‍යයට පෙරළන ලද්දා පමණක් නොවේ; මීටත් වඩා දෙයක් අමුතුවෙන් සිදු විය. මා කියන්නේ අතිශයෝක්තියෙන් නොවේ. සිංහලයකු විසින් අග‍්‍රගන්‍ය වූ චිත‍්‍රපටියක් නිපදවන ලදී” සැබෑ සිංහල සිනමාව උපන්නේ ‘ගම්පෙරළිය’ත් සමගයි කියා අප කියන්නේ මේ නිසාය.


තවත් එක් කරුණක් නොකියා ම බැරිය. ඒ සිංහල චිත‍්‍රපටයකට ලැබුණු ප‍්‍රථම සම්මානයට අත් වූ ඉරණම ගැනය. 1965 දී ඉන්දියාවේ නවදිල්ලි ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලේ හොඳම චිත‍්‍රපටයට හිමි ‘රණ මයුර’ Golden Peacock Award සම්මානයත් විචාරක සම්මානයත් යන දෙක ම ගම්රෙළිය චිත‍්‍රපටයට හිමි විය. ඒ සම්මාන රැගෙන එන ලෙස්ටර් ඇතුළු පිරිස පිළිගන්නට ගුවන්තොටුපළට ආ මහ පිරිස් අතර ‘රණ මයුර’ සම්මානය අතින් ගත් ලෙස්ටර්ගේ හා ඇන්ටන් වික‍්‍රමසිංහගේ ඡායාරූප ගන්නවා අපි දුටුවෙමු. එහෙත් එයින් පසු එම සම්මානය අපි නොදුටුවෙමු. ඒ නිමිත්තෙන් ඇන්ටන් වික‍්‍රමසිංහයන් පැවැත්වූ සාදයේ දී ඒ පිළිබඳව විපරම් කළ විට දැන ගන්නට ලැබුණේ එය ලෙස්ටර් ගුවන්තොටුපොළෙන් එද්දී ගෙන එන්නට ඇත කියාය. සාදයට පැමිණි ලෙස්ටර් කීවේ ඔහු සිතා සිටියේ එය ඇන්ටන් ගෙන එන්නට ඇත කියාය. කවුරුන් හෝ ‘ගුණමකුවකු’ ගුවන්තොටුපොළේ දී එය හොරා ගෙන ඇත. පසු කලෙක තිස්ස අබේසේකර චිත‍්‍රපට සංස්ථාව භාරව සිටි සමයේ දී මේ පිළිබඳව සොයන්නට උත්සාහයක් ගත්තද පලක් නොවීය.

ළමා පරපුරට රස බෙදා දුන් ‘ටයි’ මාමා ලිපියත් බලන්න

පර්සි ජයමාන්න

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

2 Comments

  1. lipiya hodai.sampoorna vistharayak.RanaMayura sammanaya samaga gath pinthooraya hangapu eka nam honda vadak nevei.

    ReplyDelete
  2. රේඛාවට කලින් චිත්‍රපටි බලද්දි නං හරිම වෙනස් හැගීමක් එන්නෙ. සිංහල බාසාව විතරයි ඇදුම් ඔක්කොම ඉන්දියන් ටයිප්.....මනසට හරිම වෙහෙසයි මේ දෙක ගලපන්න.

    හැබැයි රේඛාව බලද්දි...... අර සිංහල සිංදු, රෙද්ද හැට්ටෙ ඇඳපු ගැණු ළමයිගෙ නැටුම්... වෙල් එලිය, පොල් වතු, මල් පිපුනු වැව් ඔක්කොම අපේ.... ඒක බලද්දි හරිම සැහැල්ලුවෙන් බැලුවැකි... හරියට ගමක සිද්ධියක් ඇත්තටම බලාගෙන ඉන්නවා වගේ..

    ReplyDelete