HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 2250ක් පැරණි සොහොන් බිමකින් මතු වූ චීන රණවිරුවෝ : විස්මිත සොයා ගැනීම්

දම් පැහැති මැටි විශේෂයකින් තනන ලද වසර 2250ක් පැරණි, අරුමපුදුම මැටි පිළිම හමුදාවක් චීනයේ තිබේ. මේ හමුදාව හැඳින්වෙන්නේ ‘ටෙරාකොටා හමුදාව’ කියාය. ඒවා චීන බසින් ‘පින්යින් බිංමා යොං’ කියා හැඳින්වෙයි. එහි අරුත ‘ටෙරාකොටා රණවිරුවන් හා අශ්වයින්’ යන්නය. මේ හමුදාවට විස්මිත පිළිම 8099ක් ඇතුළත් වෙයි. මේ රණවිරු පිළිම සමග අශ්වයන්ගේ මූර්ති ද දැක ගත හැකිය. රණවිරුවන්ගේ පිළිම තනා ඇත්තේ ඔවුන්ගේ තනතුරුවලට අනුව විවිධ ප‍්‍රමාණවලිනි. ජනරාල්වරුන් වැනි හමුදා නායකයන්ගේ පිළිම ප‍්‍රමාණයෙන් ලොකුය. මෙහි සෑම මූර්තියක් ම නිමවා ඇත්තේ අවමඟුලකට උචිත වන ආකාරයේ ඉරියව්වකිනි. මෙම පිළිම උසින් සෙන්ටි මීටර් 184ත් 197ත් එනම් අඩි 6ත් හයහමාරත් අතර වෙයි. මේ මැටි සොල්දාදුවකුගේ උස ඒ කාලයේ සිට හැබෑ සොල්දාදුවකුගේ උසට වඩා අඩියකින් වැඩිය. චීනයේ ප‍්‍රථම අධිරාජයා ලෙස සැලකෙන ක්වින් අධිරාජ සමයේ පමණක් නොව පසුව ආ හැන් අධිරාජ සමයේ පවා ඉදි කළ මේ ටෙරාකොටා පිළිම සහිත සොහොන් බිම් පුරාවිද්‍යාඥයන්ට හමුවී ඇත්තේ මෑත කාලයේ දීය.


සොයා ගත්තේ ගොවියෙක්
1974 දී මේ ටෙරාකොටා මැටි පිළිම මුලින් ම සොයා ගනු ලැබීමේ ගෞරවය හිමිවන්නේ චීනයේ ෂියාන් ශාන්ෂි පළාතේ ගොවියකුටය. ටෙරාකොටා හමුදාව මුලින් ම හමුවූයේ නැගෙනහිර ලිෂාන් කඳුකරයේ වතුර ලබා ගැනීම පිණිස ළිඳක් කපන්න ගිය ඒ චීන ගැමියා ප‍්‍රමුඛ ගැමියන් පිරිසකටය. ඔවුන් ළිඳ කපමින් සිටිය දී මේ පිළිම මතුවී තිබේ. මේ ටෙරාකොටා හමුදා පිළිරූ හදන්නට දම් මැටි ලබා ගෙන ඇත්තේ ද මේ ලීෂාන් කන්දෙනි. මේ ටෙරාකොටා හමුදාවට අමතර ව අධිරාජයා වෙනුවෙන් තනන ලද අති විශාල සොහොන් බිමක් ද සොයා ගනු ලැබීය.

මේ ටෙරාකොටා හමුදාව පළමු වන චීන අධිරාජයා වූ ක්වින් ෂි හුවන්ජි සමග ඔහුගේ සොහොනෙහි තැන්පත් කර ඇතැයි සැලකෙන්නේ කි‍්‍ර.පූ. 210-209 අතර කාලය තුළය. ඒ අධිරාජයා චීනයේ ක්වින් ප‍්‍රදේශයේ රජකම් කළේ කි‍්‍ර.පූ. 247 සිට 221 දක්වා කාලයේදී ය. ඉන්පසු කි‍්‍ර.පූ. 221 දී  චීනය එක්සේසත් කර, කි‍්‍ර.පූ. 210 දී ඔහුගේ අභාවය සිදුවන තෙක් චීනයේ පළමුවන අධිරාජයා ලෙස එරට පාලනය කළේය. මෙම ටෙරාකොටා හමුදාවත් සමග චීන අධිරාජයාගේ සිරුර මෙසේ මිහිදන් කළේ මරණින් මතු ෂී හුවන්ජි සමග තවත් අධිරාජ්‍යයක් පාලනය කරන්න අවස්ථාව ලබා දෙනු පිණිසය.

වසර 38ක් තිස්සේ ඉදි කළ සොහොනක්
මේ රාජකීය සොහොන ඉදි කිරීම පටන් ගෙන ඇත්තේ කි‍්‍ර.පූ. 246 දීය. මෙය තනා නිම කරන්නට වසර 38ක් ගත වී ඇත. ඉදි කිරීම සඳහා නිර්මාණ ශිල්පීන් හා සේවකයන් 700,000කගේ සේවය ලබා ගෙන තිබේ. සොහොන සාදා නිම කර තබා කි‍්‍ර.පූ. 210 දී අධිරාජයාගේ මරණයත් සමග ඒ සිරුර එහි තැන්පත් කරනු ලැබීය. චීන ජාතික ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයකු වූ සිමා කියාන් (කි‍්‍ර.පූ. 145-කි‍්‍ර.පූ. 90) පවසන ආකාරයට මේ ප‍්‍රථම චීන අධිරාජයා මිහිදන් කරන ලද්දේ අති විශාල වස්තු සම්භාරයක් ද සමග ය. ඒ අතරට ඉතා වටිනා නිර්මාණ රැුසක් ද ඇතුළත් වෙයි. එසේ ම මේ සොහොන් ගැබ තුළ විශ්වය දැක්වෙන කුඩා ප‍්‍රමාණයේ අනුරුවක් ද දැකිය හැකිය. මේ සොහොන් ගැබ තුළ වහලයට අල්ලා ඇති මිණි මුතු කැටවලින් අහස හා එහි දිලිසෙන තරු හා ග‍්‍රහ ලෝක නිරූපණය කෙරේ. ගැබ තුළ බිමෙහි තැන තැන තැන්පත් කර ඇති රසදියෙන් දැක්වෙන්නේ පොළොවෙහි ඇති ජලය ය. ඒ කන්දේ රසදිය විශාල වශයෙන් ඇති බව මෑත දී කරන ලද පරීක්ෂණවලින් හෙළිවිණ.


මේ ක්වින් ෂි හුවන්ජි සොහොන් ගැබ අසල වර්ග මීටර් 350ක පමණ ප‍්‍රමාණයක පැතුරුණු මීටර් 76ක් උස පිරමීඩයක් ද සොයා ගෙන තිබේ. මෙම සොහොන දැනට විවෘත කර නැත. දැන් සැලසුම් කර ගෙන යන්නේ මේ සොහොන අවට මුළු ප‍්‍රදේශය ම වසා මුද්‍රා තබනු පිණිසය. පිටස්තර වාතය සමග ගැටීමෙන් මේ පිළිම විනාශ වීම වළක්වන්නට විශේෂ කූඩාරමක් වැනි දෙයකින් ආවරණය කරන්න ද යෝජනා වී තිබේ. ඒ විදියේ ආවරණයක් තැනිය හැකි එකම සමාගමක් ඇත්තේ ලෝකයටම එකක් වුවත් ඒ සමාගම දැනට සාදන විශාලතම ආවරණය වුවත් මේ තරම් විශාල බිමක් වහන්න ප‍්‍රමාණවත් නැත. ඒ නිසා දැන් අලූතෙන් ම ආරක්ෂක ආවරණයක් නිර්මාණය කරන්න ඔවුන්ට සිදුවී තිබේ.

ටෙරාකොටා රණවිරුවන් හා අස් හමුදාව
මේ ක්වින් ෂි හුවන්ජි සොහොන් බිම සකස් කර ඇත්තේ රජ මාළිගයක් ලෙසය. ඒ තුළ විවිධ කාර්යයන් සඳහා වෙන්වුණු කාමර, ශාලා හා වෙනත් ඉදිකිරීම් රැසක් තිබේ. ඒ වටා ප‍්‍රාකාරයක් හා විශේෂ පිවිසුම් දොරවල් තනා ඇත. මේ තුළ නිර්මාණ කටයුතු කළ ශිල්පීන්ගේ ඇට කැබලි කොටස් ද මෙහිදී දැක ගත හැකිය. ඒ අනුව පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ ඔවුන් මෙම නිර්මාණ කටයුතුවල යෙදෙමින් සිටියදී පණපිටින් ම මේ සොහොන් ගැබ වසා දමන්නට ඇති බවය. එසේ කරන්නට ඇත්තේ මේ තුළ ඇති වස්තු සම්භාරය ගැන හෝ මෙයට ඇතුළු වන මාර්ග ගැන හෝ තොරතුරු පිටවීම වැළැක්වීමටය. අති විශාල ටෙරාකොටා රණවිරුවන් පිරිසක් හා අස් හමුදාවක් මෙය ආරක්ෂා කරන්න තැන්පත් කරන්න ඇත්තේ ද ඒ නිසා ම විය හැකිය.


2007 ජූලි මාසයේ දී දුරස්ථ සංවේදක යොදා ගෙන කළ පරීක්ෂණයකින් මේ යෝධ සොහොන් ගැබට අයත් ගොඩනැගිල්ල අඩි 90ක් උසින් යුතු බව හා සොහොන මත එකක පිටගැට නවය බැගින් ඇති බිත්ති හතරක් ද ඉදිකර ඇති බව හෙළි විය. පර්යේෂකයන් කියන්නේ මේවා තනා ඇත්තේ අධිරාජයාගේ ආත්මයට අවශ්‍ය වූ විට එතැනින් පිටවී යාමට බවය.


පිළිම තනා ඇති සැටි
මේ සෙහොන් ගැබ තුළ ඇති හැම පිළිමයක් ම නිමවා ඇත්තේ මිනිස් ප‍්‍රමාණයෙන් වුනත් ඒ එකම පිළිමයක්වත් එක හා සමාන නැත. ඒ හැම එකක් ම එකිනෙකට වෙනස් ය. මේ ටෙරාකොටා පිළිම තැනීමේ දී රජුගේ සේවකයන් හා කම්හල්, වැඩපළවල් විතරක් නෙවෙයි, පෞද්ගලික අංශයේ නිර්මාණ ශිල්පීන් ද යොදවා ගෙන ඇතැයි පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ. මේ මූර්ති තනා ඇත්තේ  මිනිසාගේ ප‍්‍රමාණයට ම, සැබෑ ස්වරූපය පිළිබිඹු වෙන විදියටය. ඒ කාලයේ මේවා තනා පුළුස්සා ගෙන ඇත්තේ. අපවහන නළ තනන විදියට කොටස් කොටස් වශයෙනි. අවසානයේ දී ඒ කොටස් එකලස් කර පිළිමයෙන් පිළිමයට සිදුවිය යුතු වෙනස්කම් කර තිබේ. මෙයින් පෙනී යන එක් කරුණක් වන්නේ අද මහා පරිමාණයේ කම්හල්වල ඇති එකලස් කිරීමේ තාක්ෂණය එකල ද භාවිතයට ගත් බවය. වර්ණ යොදා ලාක්ෂා කර්මාන්තයට අනුව නිමවා ඇති මේ පිළිමවල මුහුණුවල ස්වභාවය ඒ ඒ සොල්දාදුවාට අනුව ඔහුගේ නිල ඇඳුම, තරාතිරම, හැඟීම් ආදිය වෙනස් වෙනස් අයුරින් පිළිබිඹු වන විදියටය, සකසා ඇත්තේ. ඔවුන්ගේ මුහුණුවල ඇති සියුම් වෙනස්කම් අනුව විද්‍යාඥයන් නිගමනය කර ඇත්තේ මේ පිළිම සමහර විට නිම කිරීමේ දී එකල රජු සමග සැබැවින් ම විසූ මිනිසුන්ගේ හැඩ රුව අනුව මේවා නිම කර ඇති බවය.            

එසේ ම මේ පිළිම නිම කිරීමේ දී ඒවාට පලඳවා ඇත්තේ සැබෑ අවි ආයුධ හා සන්නාහයන් ය. ඒත් ඒවායින් බොහොමයක් සොහොන තැනූ කාලයේ දී ම සොරකම් කරන්නට ඇතැයි යනු පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. මේ පිළිමවල වර්ණ ක්ෂය වී ගිය බවක් ද පෙනේ. කෙසේ වෙතත් ඉතිරි වී ඇති ඒවායින් ඒ කාලේ මිනිසුන් මේවා තනන්නට කොතරම් වෙහෙසක් ගත්තා ද කියා සිතා ගත හැකිය.

ලෝකයේ ලොකුම ගින්නට හසු වූ පිළිම
මේ ටෙරාකොටා පිළිම කැණීම්වලින් පසු විවිධ අවස්ථාවල විවිධ තැන්වලින් ගොඩ ගෙන නැවත එකලස් කරනු ලැබීය.

මේ ටෙරාකොටා හමුදාව තැන්පත් කර තිබූ දැව ගොඩනැගිල්ල විශාල ගින්නකට හසුවී ඇත. එය ලෝකයේ මෙතෙක් නොවූ විරූ ගින්නකි. මේ ගින්න පිළිබඳවත් පුරාවිද්‍යාඥ සිමා කියාන් සඳහනක් කර තිබේ. ප‍්‍රථම චීන අධිරාජයාගේ මරණයෙන් වසර පහකටත් අඩු කාලයකට පසු ඔහුගේ හමුදා ප‍්‍රධානියා වූ ජනරාල් ෂියෑන් යූගේ හමුදාව මේ සොහොන් බිම කොල්ලකෑ බවට සාක්ෂි ඇතැයි කියාන් කියයි. කොල්ලකෑමෙන් පසු ඔවුන් විසින් මේ පිළිම ගෙයට ගිනි තබා තිබේ. මේ ගින්න කියාන් කියන විදියට මාස තුනක් තිස්සේ නිවා ගත නොහැකි ව පැවතුණි. (ලෝක ඉතිහාසයේ මෙතෙක් පැවති මහා ගිනි ගැනීම් කිසිවක් දවස් 7කට වඩා තිබී නැත. ලෝකයේ මහා විනාශ ඇති කළ ගිනි ලෙස සැලකෙන්නේ රෝමයේ ඇති වූ ගින්න, 1871 දී චිකාගෝ නගරයේ ඇති වූ ගින්න, ලන්ඩන් ගින්න, 1812 දී ඇති වූ මොස්කොව් ගින්න ආදියයි.) මේ පිළිමවලට ඇවිළුණු ගින්න අවසානයේ දී කලින් පැවති ආකාරයෙන් ම ඉතිරි වී ඇත්තේ එක් පිළිරුවක් පමණයි. ඒ දුනුවායකුගේ පිළිරුවකි. අනෙක් පිළිරූ විවිධ මට්ටමෙන් විනාශ වූ අතර පසුව ඒවා හැකිතාක් දුරට සංරක්ෂණය කරනු ලැබ ඇත.

1999 දී මේ පිළිමවලට විවිධාකාරයේ දිලීර රෝග නවයක් වැළඳී ඇති බව හෙළි විය. එසේ වී ඇත්තේ ඒ හමුදාව තැන්පත් කර ඇති ගොඩනැගිල්ල තුළ ඇති උෂ්ණත්වයත්, ඒ තුළ ඇති තෙතමනයත්, ඒවා නරඹන්න එන අයගේ ප‍්‍රාශ්වාසයෙහි ඇති තෙතමනයත් වරින්වර වැඩිවීම නිසාය.

චීන ටෙරාකොටා පිළිම අනතුරේ !
චීනයේ අති පෞරාණික ටෙරාකොටා හෙවත් දම් මැටි පිළිරූ විනාශ වී යාමේ තර්ජනයකට ලක් වී ඇති බව පසුගිය දා වාර්තා විය. ටෙරාකොටා හමුදාව ලෙස හැඳින්වෙන මේ මැටි පිළි රූ වසර 2250කටත් වඩා පැරණිය. ඒවා වසා ගෙන කොළ පැහැති දිලීරයක් පැතිර යමින් ඇති බව සොයා ගනු ලැබුවේ මේ නොබෝදාය. ඉතා වේගයෙන් වර්ධනය වෙමින් යන බීජාණු සහිත මෙම දිලීරය නිසා දැනටමත් ඛාදනයට ලක් වෙමින් ඇති මේ ටෙරාකොටා පිළිම පසුගිය 2007 දෙසැම්බර් 25 වැනිදා උතුරු චීනයේ ෂියාන් ශාන්ෂි පළාතේ ෂියෑන් කෞතුකාගාරයේ පුරාවිද්‍යාඥයන්ගේ නිරීක්ෂණයට ලක් විය. ඒවාට පිළියම් යෙදීමට ප‍්‍රථම ඒ පිළිම අතරින් ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් වූ එක් පිළිමයක් ඔවුන් අතින් කැමරාවට ද නැඟුණි. ඒ අතර මේ පිළිම රැක ගැනීමට චීන බලධාරීන් විසින් දැන් නව නීති මාලාවක් ද හඳුන්වා දී තිබේ.

චීනයෙන් පිට දැක ගත හැකි වූ ටෙරාකොටා භටයෝ
මේ ටෙරාකොටා පිළිම ලන්ඩනයේ ප‍්‍රධාන කෞතුකාගාරයේ පැවති විශේෂ ප‍්‍රදර්ශනයක දී එරට වැසියන්ට දැක ගත හැකි විය. මේ ප‍්‍රදර්ශනය සඳහා ටෙරාකොටා රණවිරුවන් 20ක ප‍්‍රතිමා සමග විවිධ කලාකෘති 120ක් පමණ එහි ප‍්‍රදර්ශනයට තබා තිබුණි. චීනයෙන් පිට පැවැත්වුණු ලොකු ම ප‍්‍රදර්ශනය මෙය විය. මේ ආකාරයට ඇමෙරිකාවේ මිචිගන් නගරයේ මිඞ්ලන්ඞ් කලා කේන්ද්‍රයෙහිත් මේ පිළිම ප‍්‍රදර්ශනය කෙරුණි.

ඒ හැරෙන්නට ලෝකයේ කෞතුකාගාර කීපයක දී ම මේ ටෙරාකොටා පිළිමවල ආකෘති දැක ගත හැකිය. ඇමෙරිකාවේ ටෙක්සාස්වල ඇති පෞද්ගලික කෞතුකාගාරයක 3 වැනි සියවසේ ඒ ටෙරාකොටා හමුදා සොහොන් බිමෙහි පැවති ආකාරයට ම තැන්පත් කර ඇති තුනෙන් එකක ප‍්‍රමාණයට තැනූ භටයන් 6000ක ආකෘතියක් දැක ගත හැකිය.

Post a Comment

4 Comments

  1. Terracota Army gana godak aluth karunu me lipiye thibuna. Sampoornai. Bohoma Sthuthiy.
    Ekinekata venas iriyav saha roopa swabhava samaga me tharam vishaala hamudaavak hadapu eka aththatama vishvakarma vadak!
    Thava me vage honda lipi liyanna. Jayaveva!

    ReplyDelete
  2. me lipiyen aluth karunu hugak dana gaththa. sthuthiy!
    penumin iriyav valin pramanayen venas oya tharam loku army ekak nirmaanaya kireema harima pudumay.
    gihin balanna aasay.

    ReplyDelete
  3. සමහරවිට මේ ඇත්තම හමුදාවක් වෙන්නත් පුළුවන්.. මොකක් හරි බලවේගයකින් හමුදාවම පිළිම කළාද දන්නෑනේ... ඒ කාලේ ඒවගේ දේවල් තිබුනද කවුද දන්නේ

    ReplyDelete
  4. හරි සෝක් කතාවක් වැදගත් එකකි..

    ReplyDelete