අප කුඩා කාලේ රුසියාවේ මොස්කව් ප‍්‍රගති ප‍්‍රකාශන මන්දිරයෙන් ඉලක්කම් සෙල්ලම් ඇතුළත් අපූරු පොතක් පළ කරල තිබුණා. ඒ පොතෙන් තමයි අපට ගණිතය ගැන ආසාවක් ඇති කළේ. පොතේ නම ගණිත විනෝදය. කර්තෘ වයි. පෙරෙල්මාන්. ඒ පොතේ පිටපතක් මෙච්චර කල් පරිස්සම් කර ගෙන උන්නු මගේ චූටි නංගි, සුමිත‍්‍රා මට ඒක දුන්නා ඔබේ විනෝදයට එහි එන ඉලක්කම් සෙල්ලම් කීපයක් තෝරා පළ කරන්න කියලා. ඇය ගණිතය ජිවිතය කරගෙන ඉන්න, අනාගත පරපුරට ගණිතය ජීවිතය කර ගන්න උගන්වන කෙනෙක්. ඇගේ ඒ ඉල්ලීම ඉටු කරන්නයි මේ විශේෂාංගය එක් කරන්නේ.

මේ වගේ ගණිත ගැටලූ කියවන කොට ඔබටත් එවැනි දේ මතක් වේවි. ඒවගේම නිර්මාණය කරන්න හිතේවි. අප මේ පෙරෙල්මාන්ගේ ගණිත ගැටලූ ඉදිරිපත් කරන අතරෙ ඔබටත් පුලූවන් නම් මේ වගේ වෙනත් නිර්මාණ අපට එවන්න, ඒවාට ඉඩක් වෙන්න කරන්න අපට පුලූවන්.

මෙන්න - ගණිත විනෝදය - 1 : වයස කීය ද?

ළමයෙක් එක්තරා ගණිතඥයකුගෙන් ”ඔබේ වයස කීයද?” කියල ඇහුවා. ඔහු දුන්නේ පුදුම උත්තරයක්.
”තව අවුරුදු තුනකට පස්සෙ මගේ වයසින් තුන් ගුණයක් ගන්න. එයින්, අවුරුදු තුනකට පෙර වයසේ තුන් ගුණයක් අඩු කරන්න. එවිට ඔබට ලැබෙන්නේ මගේ වයසයි” ගණිතඥයා කීවා.

ඔහුගේ දැන් වයස කීයදැයි කියන්න ඔබට පුලූවන්ද?

කැමති කට්ටිය උත්තරය Comments මගින් අපට එවන්න.

විසඳුම - හෙට මල් කැකුළු තුලින්