අපට සමාන ග‍්‍රහලොවක් : කෙප්ලර්ගේ අලූත්ම සොයා ගැනීම (විස්මිත සොයා ගැනීම්)


නාසා තාරකා විද්‍යාඥයන් ජීවීන් පැවතිය හැකි ග‍්‍රහලොවක් සොයා ගෙන ඇතැයි යන්න පසුගියදා ලොව පුරා පැතිර ගිය වඩාත් සිත්ගත් ආරංචිය විය. අපේ සූර්යයට සමාන තරුවක් වටා සෑදුණු සෞරග‍්‍රහ මණ්ඩලයක ජීවය පැවතිය හැකි කලාපයක පිහිටි නිල්වන් ග‍්‍රහලෝකයක් (blue planet) ඇතැයි අසන්නට ලැබීම අසිරිමත් දෙයකි.


මේ හෙළිදරවුව කරගෙන ඇත්තේ නාසා ආයතනයේ කෙප්ලර් මෙහෙයුම (Kepler Mission) මගිනුයි. මෙම කෙප්ලර් මෙහෙයුම පසුගිය වසර තිස්සේ ම ඇදහිය නොහැකි වේගයකින් නව ලෝකයන් සොයා ගනිමින් සිටියි. ඒත් ජීවීන් පැවතිය හැකි නව ග‍්‍රහලොවක් ඇතැයි සොයා ගත් පළමු වතාව මෙයයි. මේ නව ග‍්‍රහලොව ෆැරන්හයිට් 72ක පමණ මතුපිට උෂ්ණත්වයක් ඇති එකකි. එම උෂ්ණත්වය අපේ පොළොවේ වසන්ත කාලයේ උෂ්ණත්වයට සමානය.


නාසාහී ඒමිස් පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විලියම් බොරුකීගේ මෙහෙයවීමෙන් ඇමරිකාවේ කානෙගී ආයතනයේ ඇලන් බොස් ඇතුළු පර්යේෂක පිරිස කේප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් තරු 155,000ක දීප්තිය විමර්ශනය කර පෘථිවියට එවන ලද ප‍්‍රකාශමිතික දත්ත භාවිත කොට කරන ලද මෙම නිරීක්ෂණ ඇස්ට්‍රෝෆිසිකල් ජර්නල් නම් වූ තාරකාභෞතික විද්‍යා සඟරාවෙහි ළඟදීම පළවනු ඇත.

පෘථිවියට සමාන මේ ග‍්‍රහයන් ඔවුන්ගේ කක්ෂවල යද්දී කිසියම් අවස්ථාවක දී ඔවුන්ගේ සත්කාරක තරු හරහා යන විට ඒ තරුවල දීප්තිය අංශූමාත‍්‍ර ප‍්‍රමාණයකින් අඩු වෙයි. මෙවැනි දීප්තිය අවප‍්‍රමාණය වීමක් මිනිය හැක්කේ කෙප්ලර් වැනි ඒ සඳහා විශේෂයෙන්ම සකසන ලද දුරේක්ෂයකින් පමණය. ඒවා ග‍්‍රහයන් ලෙස හඳුනා ගන්නේ ද ඒවා තරු වටා යාමට ගතවන කාලය මනින්නේද ඒ නිරීක්ෂණයෙනි.

මෙසේ සොයා ගන්නා ලද අපේ හිරු මෙන් තරුවක් වටා භ‍්‍රමණය වන ජීවය පැවතිය හැකි ලෝකයක් පිළිබඳව කෙරුණු මුල්ම හෙළිදරවුව මෙය වෙයි. ‘කෙප්ලර් 22බී’ යනුවෙන් නම් කර ඇති මෙම ග‍්‍රහ ලොව අයත් තරුව G5 කියා නම් කර ඇත. එය පිහිටා ඇත්තේ සිග්නස් හා ලයිරා තරු පන්ති දෙසට අපෙන් ආලෝක වර්ෂ 600ක් ඈතිනි.

මෙම තරුව ස්කන්ධය හා අරය අතින් අපේ සූර්යයට වඩා ප‍්‍රමාණයෙන් මඳක් කුඩාය. මේ හේතුව නිසා මේ තරුව අපේ හිරුට වඩා දීප්තියෙන් අඩුය. මේ නව ග‍්‍රහලෝකයට G5 තරුව වටා කක්ෂයක් සම්පූර්ණ කරන්නට දින 290ක් ගත වේ. අපේ පෘථිවිය එවැනි කක්ෂයක් සම්පූර්ණ කරන්නට දින 365ක් ගනියි. පෘථිවියත් සූර්යයත් අතර ඇති දුරට වඩා මේ ග‍්‍රහයත් එහි තරුවත් අතර දුර සියයට 15කින් අඩුය. මේ නිසා මෙම ග‍්‍රහය තුළ සෞම්‍ය උෂ්ණත්වයක් තිබිය හැකියැයි විද්‍යාඥයන් නිගමනය කර ඇත. ඒ ග‍්‍රහයා කක්ෂගතව ඇත්තේ එකී තරුව වටා ඇති ජීවීන් පැවතිය හැකි කලාපය තුළය. එවැනි කලාපයක පිහිටන ග‍්‍රහයකු මතුපිට දියර ජලය තිබිය හැකිය. ජීවය පැවතීමට නම් දියර ජලය අවශ්‍ය බව නොරහසකි. මෙම නව ග‍්‍රහලෝකයෙහි ජීවය පැවතිය හැකිවා පමණක් නොව දැනටමත් ජීවයෙන් ගහණව පවතින්නට ද ඉඩ ඇත.

සෞරග‍්‍රහ මණ්ඩලයට සමාන ග‍්‍රහමණ්ඩලවල ජීවය පැවතිය හැකි කලාපවල පිහිටි අති දැවැන්ත යෝධ වායුග‍්‍රහයන් කලින් හඳුනා ගෙන තිබුණත් වායුග‍්‍රහයන් තුළ ජීවයට පැවතීමට සුදුසු තත්වයන් ඇති වන්නේ නැත.

මේ සොයා ගැනීම නිසා අප ජීවත් වන්නේ ජීවයෙන් පිරි විශ්වයකැයි යන විශ්වාසය තහවුරු වෙයි. කෙප්ලර් මෙහෙයුම දැන් අපේ මන්දාකිණිය තුළ ම පෘථිවිය වැනි ග‍්‍රහයන් ඇත්තෙන් ම ඇත්දැයි සොයා ගත හැකි තැනකට ආසන්න වී සිටියි.

මේ අතර නාසා විද්‍යාඥයන් දැනටමත් ජීවයක් පැවතිය හැකි යැයි අනුමාන කෙරෙන ග‍්‍රහලෝකවල ක‍්‍රමානුකූල වර්ගීකරණයක් සකසා ගෙන යන අතර ඒ සඳහා සුදුසුකම් ඇකි ග‍්‍රහයන් හා චන්ද්‍රයන් 47ක් මේ වන විට ඔවුන් විසින් හඳුනා ගෙන ඇත.

ඇරසිබෝවල පිහිටි පුවර්ටෝරිකෝ විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර ඇති ජීවයෝග්‍ය ග‍්‍රහලෝක පිළිබඳ පර්යේෂණාගාරයේ විශේෂඥයන් විසින් මේ ග‍්‍රහයන්ගේ පිහිටීම හා ඒවා අයත් වන සෞරග‍්‍රහ මණ්ඩල මේ වර්ගීකරණයට ඇතුළත් කර තිබේ. දැනට හඳුනාගෙන ඇති ග‍්‍රහයන් 700ක් අතුරින් වැඩිහරියක් ජීවීන් රහිත වන අතර ඒ අතරින් මෙතෙක් ජීවීන් ඇතැයි විශ්වාස කළ හැකි ග‍්‍රහලෝක ඇත්තේ 47ක් පමණි.

දැනට කෙප්ලර් මෙහෙයුම මගින් සොයා ගෙන ඇති බහිර්ග‍්‍රහයන් 700ට අමතරව නාසා ආයාතනයේ ඉදිරි මෙහෙයුම් මගින් ද තවත් ග‍්‍රහයන් දහස් ගණනක තොරතුරු සොයා ගත යුතුව තිබේ. මෙම ග‍්‍රහයන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් බ‍්‍රහස්පතී හා නෙප්චූන් සමාන යෝධ වායු ග‍්‍රහයන් වන අතර ඒවා සිය තරු දෙසට අසීමිත ලෙස ළං වූ කක්ෂවල භ‍්‍රමණය වන ඒවාය. කුමන හෝ ජීවයක් තිබිය හැකි යැයි අනුමාන කළ හැකි දුරින් හා ඊට සුදුසු ප‍්‍රමාණයෙන් යුක්ත ඒවා ඇත්තේ කීපයක් පමණය.

‘මෙම වර්ගීකරණයේ එක් වැදගත් ප‍්‍රතිඵලයක් වන්නේ ජීවයක් තිබිය හැකි යැයි අනුමාන කළ හැකි හා නොහැකි ග‍්‍රහයන් පහසුවෙන් වෙන් කර ගැනීමට හැකි වීම’ යැයි එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විමර්ෂක වූ ඇබෙල් මෙන්ඩිස් කියයි.

මෙම වර්ගීකරණයට පෘථිවිය හා සමාන දර්ශකයන් ඇතුළත් කොට සකසා ගත් නව නිර්ණායකයන් මෙන් ම ජීවයෝග්‍ය කලාපවල ඒවා පිහිටි දුර සහ විශ්ව ප‍්‍රාථමික ජීවයෝග්‍ය තත්වයන් ඇතුළු වර්ගීකරණයන් ද පෘථිවියේ අතීත හා වර්තමාන ස්වභාවයන් හා සැසඳීම් ද යොදා ගෙන ඇත. මේ ප‍්‍රධාන වර්ගීකරණයට බහිර්ග‍්‍රහයන් පිළිබඳ සියලූ තොරතුරු හා දත්ත විවිධ වර්ගීකරණ ක‍්‍රමවේදයන් යටතේ ඇතුළත් කර ඇත. මෙය කෙතරම් සංකීර්ණ ලෙස කරන්නේ ද යත් එක් වර්ගීකරණයකට අනුව ස්කන්ධ හා තාපයන් පමණක් දහඅටකට බෙදා දක්වා ඇත.

මේ වර්ගීකරණය මගින් දැනටමත් පෘථිවියට සමාන ජීවයෝග්‍ය ග‍්‍රහලෝක දෙකක් හඳුනා ගෙන ඇත. ඒවා Glesse  581d හා HD 85512b  යනුවෙන් නම් කර ඇත. කෙසේ වෙතත් බහිර්ග‍්‍රහයන් 15ක හා චන්ද්‍රයන් 30ක ජීවයෝග්‍ය තත්වය විමර්ශනය කිරීමට තිබේ. නාසා ආයතනය මගින් ඉදිරියේ දී දියත් කිරීමට නියමිත අන්තරීක්ෂ ග‍්‍රහ විමර්ෂක අභ්‍යවකාශ යානයෙන් හා අනාගතයේ දී තැනෙන නව උපකරණවලින් කෙරෙන නිරීක්ෂණ මගින් මෙම ග‍්‍රහයන් මත ජීවය ස්ථිර වශයෙන් පවතින බව තහවුරු කෙරෙනු ඇත.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

4 Comments

  1. වැඩි විස්තරයක් දැනගත්තෙ මෙතනින්. ස්තුතියි තොරතුරු වලට

    ReplyDelete
  2. obata bohomath sthuthiy...... agaharu matha jiwaya athai bawata,me dina wala palawana thorathuru pilibada liya wenawa nam wadath kamathiy.....

    ReplyDelete