HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තම මරණය සිහිනෙන් දුටු අගමැතිවරයා : දැන මුතු

ඔබ සිහින ගැන දන්නේ මොනවාද? සිහින තුළින් අනාගතය දැකිය හැකිද? සිහිනෙන් දකින දෑ පසුව සැබෑ වූ අවස්ථා ඔබ අත්විඳ තියෙනවාද? රාති‍්‍රයේ දකින සිහින බොහොමයක් පසුවදා වන විට අපට අමතක වී යයි. එහෙත් ඉඳහිට දකින සිහිනයක් සැබෑ වෙයි. මේ මීට හරියට ම අවුරුදු දෙසීයකට පෙර සිදු වූ එවැනි අවස්ථාවක්.

1812 වසරේ එක් උදෑසනක එංගලන්තයේ අගමැති ස්පෙන්සර් පර්සිවල් කලින් දා රෑ තමන් දුටු භයානක සිහිනයක් සිය පවුලේ අයට කීවේය. ඒ සිහිනයට අනුව ඔහු පාර්ලිමේන්තුවේ ආලින්දය හරහා යමින් සිටියේය. හදිසියේ ම දිලිසෙන පිත්තල බොත්තම් ඇල්ලූ තද කොළ පැහැති කබායක් හැඳ සිටි මිනිසෙක් ඔහු ඉදිරියේ මතු විය. ඒ මිනිසා පිස්තෝලයක් ඇද එක්වරම තමාට වෙඩි තැබුවේය. තමා අවට සියල්ල අඳුරු වී යනු ඔහුට පෙනුනේය. එයින් අදහස් කෙරුණේ තමන් මරණයට පත් වුණු බව යයි ඔහු තේරුම් ගත්තේය.




පුදුමයකට වාගේ පර්සිවල් අග‍්‍රාමාත්‍යවරයා මේ සිහිනය දකින්නට සතියක පෙරාතුව මෙවන් සිහිනයක් ජෝන් විලියම්ස් නම් ධනකුවේරයා ද දුටුවේය. ඒ 1812 මැයි 3 වැනිදා රාති‍්‍රයේ ය. ඔහු ඒ සිහිනය දුටුවේ කෝන්වෝල්හී රෙඞ්රුත්වල පිහිටි සිය වතුයායේ  පිහිටි සිය නිවසේ නිදා සිටිය දී ය. දේශපාලනය වැඩි උනන්දුවක් නොදැක්වූ ඔහු පාර්ලිමේන්තුවේ අමුත්තන්ගේ උඩු කබා තබන කාමරයේ සිටිය දී තද කොළ පැහැති කබායක් ඇඳි පුංචි මිනිසෙක් එක්වර ම පිස්තෝලයක් ඇද තවත් අයකුගේ පපුවට වෙඩි තැබුවේය. වෙඩි වැදුණු මිනිසා බිම වැටුණු සැණෙන් මිය ගියේය. ඒ ගැන විමසද්දී තමා දුටු ඒ කුරිරු ලෙස මරා දමන ලද තැනැත්තාගේ හැඩරුව පර්සිවල් අග‍්‍රාමාත්‍යවරයා බව ඔහුට දැන ගන්නට ලැබුණේය.

ඒ සමග ම අවදිවූ ඔහු මේ බිහිසුණු සිහිනය සිය බිරිඳට කීවේය. කියා යළිත් නින්දට ගියේය. යළිත් ඔහු එම සිහිනය ඒ අයුරින් ම දුටුවේය. ඔහු යළිත් අවදි විය. සිත කලබලයට පත් වූ ඔහු ඉන්පසු නිදි නොමැති ව හිඳ පාන්දර යාමයේ යළි නින්දට වැටුණු ඔහුට ඒ සිහිනය ම යළිත් වරක් ඒ අයුරින් ම පෙනුණේය. ඒ තුන්වැනි වරටය.

තෙවරක් ම දුටු මේ බිහිසුණු සිහිනය නිසා සිත කලබලයට පත් ඔහු පහුවදා ඒ ගැන මිතුරන් හා සාකච්ඡා කළේය. ලන්ඩනයට ගොස් මේ ගැන අගමැතිවරයාට දැනුම් දිය යුතු ද නොඑසේ නම් ලිපියකින් මේ ගැන අගමැතිවරයාට අනතුරු හැඟවීමක් කළ යුතු ද ඔහු මිතුරන්ගෙන් ඇසුවේය. මිතුරෝ ඔහුට සිනාසුණහ. නිකම් සිහිනයක් නිසා ඔය තරම් කලබල විය යුතු නැතැයි යන්න ඔවුන්ගේ මතය විය. ඒ නිසා විලියම්ස් ඒ අදහස අත්හැර දැමුවේය.

විලියම්ස් මේ සිහිනය තෙවරක් ම දුටුවේ මැයි 3 වැනිදා රාති‍්‍රයේ සහ 4 වැනිදාට එළිවන පාන්දරය. පර්සිවල් අගමැතිවරයා ඒ සිහිනය දුටුවේ මැයි 10 වැනිදා රාති‍්‍රයේ සහ 11 වැනිදාට එළිවන පාන්දරය. පසුවදා අගමැතිවරයා සිය පවුලේ උදවියට මේ සිහිනය ගැන කී විට එදා පාර්ලිමේන්තුවට නො යන ලෙස ඔවුහූ ඔහුට ඇවිටිලි කළහ. එදා වැදගත් කටයුතු රැසක් යොදා තිබුණු නිසා එදින තමා පාර්ලිමේන්තුවට යායුතු යැයි ඔහු කල්පනා කළේය. සිහිනයක් නිසා වැදගත් කටයුතු කල්දැමීම නොකළයුතු යයි ඔහු විශ්වාස කළේය.

එදා 1812 මැයි 11 වැනිදා අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ආලින්දය හරහා යමින් සිටියදී අවුල් වූ කෙස් ඇති මිනිසෙක් එහි කුලූනකට මුවා වී හිඳ එක්වරම ඉදිරියට පැන ඔහුට වෙඩි තැබුවේය. එංගලන්ත අගමැතිවරයා ඒ අවස්ථාවේ දී ම මරුමුවට පත් විය.

ඝාතකයා එවකට පැවති බි‍්‍රතාන්‍ය රජය ගැන කලකිරී සිටි උන්මත්තකයෙකි. ඔහු ඒ අවස්ථාවේ දී දිලිසෙන පිත්තල බොත්තම් ඇල්ලූ තද කොළ පැහැති කබායක් හැඳ සිටියේය.

Post a Comment

1 Comments

  1. මටත් මෙ වගේ සැබැ උන හීන ගැන අත්දැකීම් තියෙනවා. මගෙ හුරතල් පූසගේ මරනය මම ඒ විදිහටම හීනෙන් දක්කා.
    ඒ වගෙම මගෙ ජීවිතේ මට සිද්ද උන තවත් 1 නරක අත්දකීමක් මම ඒ අවුරුදු ගානකට කලින් හීනෙන් දැක්ක.

    ReplyDelete