පැණි වරකා කා අන්දරේට වැදුණු හෙණේ - තවත් අන්දරේගේ කතාවක්

දවසක් උදේ පාන්දරින් ම අන්දරේ රජ්ජුරුවන්ගෙ මඟුල් උයන මැදින් යනවා. එක්වරම හැමූ සිසිල් සුළඟත් එක්ක අන්දරේගෙ නැහයට සුවඳක් දැනුණා. ඒ සුවඳ දැනුන විතරයි, කටට කෙළ ඉනුවා; රස නහර පිනා ගියා. අන්දරේ වටපිට බැලූවා.

‘පැණි වරකා සුවඳක් !’ අන්දරේ තමාට ම කියා ගත්තා. ‘කොහෙන්ද මේ සුවඳ එන්නෙ?’ කියල වටපිට විපරම් කරල බැලූවා. උයනෙ පැණි වරකා ගස් ගණනාවක් ම තියෙනවා. ඒත් ඒ එකකවත් ගෙඩියක් තිබුණෙ නැහැ, පැණි වරකා අවාරෙ හින්ද.

‘ඒත් සුවඳෙ අඩුවක් නැහැ. කොහෙන්ද මේ සුවඳ එන්නෙ?’ අන්දරේ තවත් හොඳට විපරම් කළා. හැම කොස් ගහක ම, හැම අත්තක ම හොඳට හෙව්වා. ‘සොයන්නාට සම්බවේ’ කියල කියමනක් තියෙනව. ඒ කියමන වගේ ම අන්දරේටත් හම්බ වුණා.

අලූත පීදුණු පුංචි කොස් ගහක මෙන්න තියෙනවා, සුදු රෙද්දකින් වහලා! අන්දරේට කටපුරා හිනාවක් ගියා. රාජකීය උයන්පල්ලා හරි වෙන කවුරු හරි පේන මානයක ඉන්නවද බලන්න වටපිට විපරම් කළා. කවුරුවත් ම පේන්න නැති බව දක්කා. ඊට පස්සෙ අන්දරේ හෙමින් හෙමින් ගහට කිට්ටු කළා.

ඊළඟට හෙමින් සීරුවේ ගහට නැගලා ඉණේ තිබුණු පිහිය අරන් පිහිතුඩෙන් කොස් ගෙඩියෙ කටුවෙන් කොටසක් ඉවත් කළා. ඉවත් කරලා වරකා මදුලූ එකින් එක කෑවා. ඉවසන්න බැරි සුවඳ වගේ ම රසත් නිසා දන්නෙ ම නැතුව වරකා ගෙඩියෙන් ලොකු කොටසක් කෑවා. ඊට පස්සෙ සුදු රෙද්දෙන් හෙමිහිට වැහුවා. වහලා මේ කිසිවක් නොදන්න විදියට රජ වාසලට ගියා.

අන්දරේ දැක්කෙ නැතුවට උයන්පල්ලා අන්දරේ උයන මැද්දෙන් යනවා දැක්කා. ඒත් අන්දරේ රජ්ජුරුවන්ට වෙන් කරපු පැණි වරකාවට අත තියයි කියල එයා කොහොමටවත් සැක කළේ නෑ. ඒ නිසා පස්සෙන් ගියේ නෑ. ඈත තියා බලන් හිටියා. අන්දරේ ගහකට මුවා වෙනව දැකලයි එයා ඒ ගැන විපරම් කළේ. එතකොටයි එයා දැක්කෙ අන්දරේ පැණි වරකා ගහෙන් බහිනවා. අන්දරේ වස් කවි කියන්ට දක්ෂයා නිසා එතැනට ගිහින් වැඩ වරද්දා ගන්න උයන්පල්ලා කැමති වුණේ නෑ. ඒත් එයාට ඉවසන්න බැරි වුණා, අලූත් ම පැණි වරකා ගහක අවාරෙට මුලින් ම හැදුණු පැණි වරකාව ගහේ හොඳට ඉදෙන්න ඇරල රජ්ජුරුවන්ට ඔප්පු කරන්න හිතා ගෙන සත්තු කනවට සුදු රෙද්දකින් වහල දවල් රෑ දෙකේ නින්දක් නැතුව බලා ගත්තත් පොඩි ප‍්‍රමාදයක් බලලා පැණි වරකා ගෙඩිය හොරෙන් ම ඉඳුල් කරපු එක ගැන.

ඒ නිසා එයා වෙනත් පාරකින් දුවලා ගිහින් රජ්ජුරුවන්ට මේ ගැන පැමිණිලි කළා. මේ කිසිවක් නොදත් අන්දරේ රජවාසලට යනකොට රජ්ජුරුවන් උදහස් වෙලා පුපුර පුපුර හිටියා.

”මොකක් ද අන්දරේ මේ කළ නරක වැඬේ? රාජ භෝජනේකට වෙන් කරපු එකක් අවසර නැතුව කන එක රාජද්‍රෝහී කි‍්‍රයාවක් බව නුඹ දන්නෙ නැද්ද?” රජ්ජුරුවො ගෝරනාඩු කළා.

අන්දරේට තේරුණා තමන් කරපු දේ දැනටමත් රජතුමා දන්න බව. අන්දරේ බොහොම බැගෑපත් වුණා.

”අනේ ! පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස, හිතලා කරපු දෙයක් නම් නොවෙයි. පැණි වරකා සුවඳ ඉවසන්න බැරව ඉබේට ම වගේ වෙච්ච දෙයක් දේවයන් වහන්ස, ගැත්තාට අනුකම්පා කර ඉවසා වදාරන සේක්වා දේවයන් වහන්ස.”

කෝපයෙන් පුපුර පුපුරා හිටිය රජතුමාට අන්දරේගේ කතාව ඇහුණේ නෑ. එතුමා රජපුරුෂයන් දෙසට හැරිලා මෙහෙම අණක් දුන්නා: ”රාජපුරුෂයිනි, වහාම මේ දුෂ්ඨයා අල්ලා හිරකරනු! අණබෙරකරුවන් යවා සෙනඟ රැස්කරවා මෙවැනි වැරදි කිසිදාක නොවෙන්නට අනික් අයට පාඩමක් වන සේ ප‍්‍රසිද්ධියේ මොහුගේ හිස ගසා දමනු!”

ඒ අසා අන්දරේ මුලින් සිනාසුණා; ඊළඟට මහ හඬින් අඬන්නට වුණා.

”අන්දරේ නුඹ පළමුව සිනාසුණා. දෙවනුව හැඬුවා. නුඹ සිනාසුණේ මරණ දඬුවම අසා මරු විකල්ලෙන්ද? දැන් නුඹ මේ හඬන්නේ මරණ බය දැනිලාද?” අන්දරේගේ හැසිරීම ගැන විමතියට පත් රජතුමා ඇසුවා.

”සමාවෙන්න දේවයන්වහන්ස, අප කවුරුත් කවදා නමුත් මැරෙනවා. ඒ මරණය පැණි වරකාවේ රසය මගේ දිවෙන් මැකී යන්නත් ඉස්සරින් ආ එක ගැනයි මට හිනා ගියේ. ඉතින් මට සතුටින් මැරෙන්න පුළුවන්.”

”එතකොට නුඹ දැන් ඇඬුවේ ඇයි?” රජතුමා ඊළඟට ඇසුවා.

” සමාවෙන්න දේවයන්වහන්ස, මං ඇඬුවේ ඔබවහන්සෙට මේකෙන් වෙන අපකීර්තිය ගැන හිතලයි. ඔබ වහන්සෙ වැනි දසරාජ ධර්මයෙන් රාජ්‍යය කරන ඥානවන්ත රජ කෙනෙක් පැණි වරකා පළුවක් වැනි නොවැදගත් දෙයක් හොරෙන් කෑවට දඬුවම හැටියට ප‍්‍රසිද්ධියේ හිස ගසා දැමීමට නියම කිරීම ගැන මේ දඬුවම කි‍්‍රයාත්මක කරනවා බලන්න අණ බෙර ගහල රැස් කරන රටවැසියන් කොයිතරම් නම් වැරදි විදියට ඔබ වහන්සෙ ගැන හිතාවිද? ඒකෙන් ඔබවහන්සෙගෙ යහපත් ගතිගුණවලට මොන තරම් හානියක් වෙයිද? ඒ ගැන මතක්වෙලයි මට ඇඬුණේ !” අන්දරේ කිව්වා.

ඒ කතාව අහල රජතුමාට එක පාරට ම හිනා ගියා. රජතුමාගේ කෝපය සන්සිඳුණා. ”අන්දරේ, නුඹ නම් හරිම කපටියෙක්. ගිහින් උයන්පල්ලගෙන් පැණි වරකාවෙ ඉතිරි හරියත් ඉල්ලගෙන කාපන් !” රජතුමා කිව්වා.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. අපේ මතකයෙන් ඈත්වෙලා යන මෙ අන්දරේගේ කතන්දර සයිබර් අවකාෂයට එක් කරන ඔයාලට මගේ සුභ පැතමි

    ReplyDelete