බුදුරදුන් සූත‍්‍ර දේශනාවකින් සිංහනාද කළ හැටි : බුදුන් දුන් ඔවදන්

බුදුන්වහන්සේ වැඩ සිටි කාලයේ දඹදිව තවත් බොහෝ ශාස්තෲන් වහන්සේලා විසූහ. ඔවුහූ විවිධ දර්ශන දේශනා කළහ. තමන්ට ගරු බුහුමන් හා සත්කාර පතා පුද්ගලාභිවාදනයෙහි හා ආත්ම වර්ණනයෙහි යෙදුනහ. එහෙත් බුදුහු එසේ නො වූහ. ගරු බුහුමන් පතා තම බුද්ධි මහිමය හෙළි නොකළහ. ධර්ම ප‍්‍රචාරය උදෙසා වුවද ඍද්ධි ප‍්‍රාතිහාර්යය පෑම පවා තහනම් කළහ. එහෙත් උන්වහන්සේ සිය බුද්ධි මහිමය හා බුද්ධත්වයට පත් වීමට තමන් කළ කැපවීම කෙබඳු දැයි කියා පෑ අවස්ථාවක් තිබේ. උන්වහන්සේ එසේ කළේ තම උතුම් බව ප‍්‍රකාශ කිරීමට පුරසාරමක් ලෙස නොව තම අනුගාමිකයන්ට ඇත්ත ඇති සැටියේ කියා ඔවුන්ට යථාවබෝධය ලබා දෙනු පිණිසය.
එසමයෙහි බුදුන් වැඩ සිටියේ විසාලා මහනුවර අසල වනාන්තරයකය. කලක් බුදුන් වෙත පැවදිව සිට අමනාපයක් නිසා උපැවිදිවූ සුනක්ඛත්ථ නම් ලිච්ඡුවි තරුණයෙක් එනුවර තැන තැන යමින් බුදු හිමියන්ට ප‍්‍රසිද්ධියේ අවමන් කරන්නට විය.

”ඔය ගෞතමයන් ළඟ මමත් මහණ වෙලා සිටියා. ඒත් එයාට ඔය කියන විදියේ බුද්ධත්වයක් නැහැ. එයා කරන්නේ එයාගෙ හිතට එන දේ නිකම් තර්කානුකූල කියන එක විතරයි.” සුනක්ඛත්ථ කීවේය.

සුනක්ඛත්ථ ගෙන ගිය අවමන් කතා ගැන සැරියුත් හිමියන්ට ද සිඬු සිඟා යද්දී අසන්ට ලැබුණේය. එදින දම්සභා මණ්ඩපයේ දී සැරියුත් හිමියෝ මේ බව බුදුන් වහන්සේට කීහ.

”සාරිපුත්ත, ගණන් ගන්න එපා! ඕවා, සුනක්ඛත්ථ මා කෙරෙහි උපන් තරහෙන් කියන දේවල්. ඒවගේ නුනුවණ අයෙකුට බුදුවරයකුගේ බුද්ධි මහිමයවත් උත්තම බවවත් වටහා ගන්න බැහැ. බුදුවරයෙක් කියන්නේ සියල්ල පිරිසිඳ දත් අයෙක්. අෂ්ට විද්‍යාවන් හා පසළොස් චරණ ධර්ම ප‍්‍රගුණ කළ, කයෙන් දශබලධාරී අයෙක්. ඍද්ධි බලය ඇත්තෙක්.” යයි බුදුහූ සීහනාද සූත‍්‍රය දේශනා කරමින් මෙසේ කරුණු පැහැදිලි කරන්නට පටන් ගත්හ.

”මාගේ සව්වන් මගෙන් විමසූ හැම දෙයකට මම නිසි පිළිතුරු දුන්නෙමි. දන් වැළඳීමට, මලමුත‍්‍ර පහ කිරීමට හා සැතපීමට ගන්නා කාලය හැර මුළු දවස පුරා ම ධර්මයෙන් මම ඔවුන්ට අනුශාසනා කරන්නෙමි. මා කෙතරම් වියපත් වුවද කය දුබල වී ඔත්පල වුවද මගේ බුද්ධිමහිමයේ ප‍්‍රභාව මඳකුදු අඩු නොවී බබලනු ඇත.

”ඒ උතුම් වූ බුද්ධත්වය ලබා ගැනීමට මා දැරූ උත්සාහය, වීර්යය කෙතරම් දැයි කිව නොහැති කරම්ය. කලක් දුෂ්කර කි‍්‍රයාවෙන් නිවන් අවබෝධ කර ගැකිය යන අදහස ඇතිව වෙනත් කිසිවකුත් නොකළ අයුරින් කයට දුක් දෙමින් දුෂ්කර කි‍්‍රයාවෙහි යෙදුනෙමි. මා තරම් සිරුරට දුක් දුන් තවත් අයකු නැත. ඇඳුම් ඉවතලා, නිරුවතින් හිඳිමින්, මහ වැසිවලට තෙමෙමින්, දැඩි සීතලෙන් පෙලෙමින්, දහවල ගිනියම් වූ හිරුගේ තාපය දරා ගනිමින් මිනිසුන් මග හරිමින් නිවන් මග සොයමින් නොයෙක් වත් පිරුවෙමි. වරක් මා මෙසේ නිරුවත් වත් පුරද්දී ගවයන් දක්කා ගෙන ආ ගොපල්ලකු මා සිටි වනයට ඇතුළු විය. ඉන් බියට පත් මම මගේ වෘතය බිඳෙතැයි එතැනින් වහා පලා ගොස් වෙනත් වන ලැහැබක සැඟ වුණෙමි. මගේ වෘතය එතරම්ම දැඩි එකක් විය.

”දන් පිළිගැනීමේ දීද වැළඳීමේ දීද වත් පිරුවෙමි. කළයක් තුළ හෝ සැළියක් තුළ හෝ තිබුණු ආහාර පිළි නොගත්තෙමි. මෙනේ ආහාර දිනකට, සතියකට, අඩමසකට එක් පිඬක් දක්වා ආහාර අඩු කෙළෙමි. බත් වැළඳීමෙන් වැළකුණෙමි. අමු පලා කොළ, සම් කැබලි, හාල් කුඩු, දන්කුඩ, තණපත්, වනමුල් පමණක් ආහාරයට ගත්තෙමි. කලක් මා වැළඳුවේ ඉදී ගසින් ගිලිහී බිම වැටුණු ගෙඩි පමණය.

”මේ දැඩි වත් පුරද්දී මගේ සිරුර දුර්වර්ණ විය. මගේ හම අවුරුදු ගණන් කුණු හා දූවිලි තට්ටු බැඳුණු පොතු ගැලවෙන දිරා ගිය කඳක් බඳු විය. මිනිසුන්ගෙන් ඈත්ව ඔවුන් දකින විට පලා යමින් දැඩි වත් පිරූයෙමි.

”කලක් මම අමු සොහොනේ විසීමි. වසු පැටියන්ගේ මලමූත‍්‍ර පමණක් ආහාරයට ගත්තෙමි. හිසට මිනී ඇටකටු තබාගෙන නිදා ගතිමි. ගොපලූ දරුවෝ මා දැක උමතු මහල්ලෙකැයි සරදම් කරමින් මට නොයෙක් හිරිහැර කළහ. මගේ සිරුරට මූත‍්‍ර කළහ. කන් සිදුරුවලට කෝටු ගැසූහ. මම ඒ සියල් මෙත් සිතින් විඳ දරා ගතිමි.

”අනික් පූජකයන් අනුව යමින් දිනකට එක මසන් ගෙඩියක් පමණක් ආහාරයට ගත්තෙමි. මෙසේ දිවි ගෙවූ මගේ සිරුර කෘශ විය. අබල දුබල විය. අසූ වියැති මහල්ලකුගේ බඳු විය. අත්පා කෝටු මෙන් විය. තට්ටම ඔටු කුරයක් මෙන් විය. ඇස් ගිලී ගියේය. කොඳු ඇට පෙළ ජපමාලයක් බඳු විය.

”බඩා අතගාන්නට සිතා අත ගෑ කල අතට අසුවූයේ පිට කොන්දය. පිටකොන්ද අත ගෑ විට අතට හසු වූයේ කොන්දටම ගිලී ගිය බඩය. මලමුත‍්‍ර පහ කරන්නට ගිය විට වීරිය නොමැතිව සිහිසුන් ව ඇද වැටුණෙමි. අත ගෑ විට කුණු වූ මුල් සහිත රෝම අතට ගැළවී ආවේය. මගේ අත්ථකිලමථය එතරම් ම දැඩි එකක් විය.

සම්බුද්ධත්වය ලබන්නට මා හා සමාන දුක් විඳි අන් කවරෙක් වෙත්ද?

”අත්ථකිලමථානු යෝගයේ නිසරු බව දැක මධ්‍යම ප‍්‍රතිපදාව එළඹ බුද්ධත්වයට පත් මට බුද්ධත්වයක් නැතැයි කිව හැක්කේ කාටද?” බුදුන් වහන්සේ සීහනාද සූත‍්‍ර දේශනා කරමින් එසේ සිංහනාද කළ සේක.

බුදුන් වහන්සේගේ එම දේශනාව අසා සිටි උන්වහන්සේට පවන් සලමින් හුන් නාගසාල හිමියන්ට පුදුම දරාගත නොහැකි විය. ”ස්වාමීනී, හරිම පුදුමයි, අපූර්වයි. මේ විස්තරය අහලා මගේ ලොමු දහැගත්තා. මේ කුමන ධර්මයක් ද ස්වාමීනි?” කියා සිය හැඟීම් එක්වරම පිට කළේය.

”ඇවැත්නි, එසේ නම් ඒ දහම ‘ලොමු දැහැගැන්වෙන ධර්මය’ කියා හඳුන්වන්න.”

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

2 Comments