චාල්ස් විල්සන් පීලේ Charles Wilson Peale දේශමාමක චිත‍්‍රශිල්පියෙකි. ඔහු ජාතියේ වීරයන්ගේ ආලේඛ්‍ය චිත‍්‍ර ඇඳීම නිසා ප‍්‍රසිද්ධියට පත් විය. ජෝර්ජ් වොෂින්ටන්, හැමිල්ටන්, ජෝන් පෝල් ජෝන්ස් ආදී විප්ලවයේ වීරයන්ගේ ඔහු ඇඳි චිත‍්‍ර ඉතා උසස් ඒවා ලෙස පිළිගැනේ. එහෙත් වැඩිහිටියකු වන තෙක්ම එවැනි සිත්තමක් දැක තිබුණේ නැත. පාසල් යන කාලේදිවත් චිත‍්‍ර ඇඳීම කර නැත. ඔහු මේරිලන්ඞ්වල ඇනාපෝලිස්හී සැදෑල තනන්නෙකි. එක දවසක් ඔහු සිය නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන ඒමට නෝර්ෆෝක්වලට ගියේය. එහිදී සාප්පුවක අළෙවියට තබා තිබූ සිත්තම් කීපයක් දැක ගන්නට ලැබුණේය. ඒවා එතරම් හොඳින් ඇඳි චිත‍්‍ර නොවීය. ජීවිතයේ ඉන් පෙර කිසි දිනෙක ඔහු සිත්තමක් දැක තිබුණේ නැත. එහෙත් ඒවා දුටු විගස ඊට වඩා හොඳින් තමන්ට අඳින්නට හැකි යයි ඔහු සිතුණේය. ඒ ඉතාමත් නරක විදියට ඇඳ තිබූ ඒවාය. ඔහු ආපසු ගෙදර ආවේ චිත‍්‍ර අඳින ආම්පන්න ද රැගෙනය. ඔහු ගෙදර විත් කළේ චිත‍්‍ර අඳින්න පටන් ගැනීමය. ඉන් පෙර කවරදාත් චිත‍්‍ර ඇන්දේ නැති ඔහුගේ චිත‍්‍ර හොඳින් අළෙවි විය. චිත‍්‍ර ඇඳීම රැකියාව කර ගන්නට ඔහු කල්පනා කළේය. ඇමරිකාවේ බොස්ටන්හී ජෝන් සින්ගල්ටන් කොප්ලේගෙන් හා ලන්ඩනයේ බෙන්ජමින් වෙස්ට්ගෙන් චිත‍්‍ර අඳින්න ඉගෙන ගත්තේය.  ඕනෑම කෙනෙකුට චිත‍්‍ර ඇඳීම ඉගෙන ගත හැකි යයි ඔහු විශ්වාස කළේය. ඒ නිසා ඔහු සිය සොහොයුරන්ට සොහොයුරියන්ට, පුතුන්ට, දූරුන්ට, බෑණාවරුන්ට, ලේලිනට හා වෙනත් නෑයන්ට චිත‍්‍ර අඳින්න ඉගැන්නුවේය. ඔහුට දරුවන් 17 දෙනකු සිටියේය. ඒ අතරින් පුතුන් දෙදෙනෙක් හා සොහොයුරෙක් කීර්තිමත් චිත‍්‍රශිල්පීන් වූහ.  පුතුන් දෙදෙනා රැම්බ‍්‍රාන්ට් Rembrandt හා රෆායෙල් Raphaelle ය. සොහොයුරා ජේම්ස් විය.