සැවැත්නුවර ජේතවනාරාමයෙහි ගද්ධබාධිපුත්ත නම් භික්ෂුවක් සිටියේය. බුදුන්වහන්සේ නිදහසේ තම මත ප‍්‍රකාශ කරන්නට ඉඩ දී තිබුණු නිසා ඉන් ප‍්‍රයෝජනය ගත් ඒ භික්ෂුව බුදුන් වහන්සේ දෙසූ ඇතැම් ධර්ම කොටස් විකෘත කර දක්වන්නටත් ඒවා අනෙක් භික්ෂූන් ඉදිරියේ විවේචනය කරන්නටත් පටන් ගත්තේය.
”බුදුන්වහන්සේ ලාමක යැයි කියන දේ බුද්ධිවර්ධනයට බාධාවක් යැයි මා පිළිගන්නේ නැහැ.” වරක් ඒ භික්ෂුව අනෙක් භික්ෂූන්ට කීය.
”ගද්ධබාධිපුත්ත, එසේ නොකියන්න. බුදුන්වහන්සේ මෙලොව සැප සම්පත්වල නිසරු බව දේශනා කර තියෙනවා. උන්වහන්සේට එරෙහිව කිසිවක් නොකියන්න. බුදුන්වහන්සේ අපට ධර්මය දේශනා කරන්නේ යථාවබෝධය ලබා ගෙනයි.” අනෙක් භික්ෂූහූ කීහ.
”උන්වහන්සේ දෙසූ දෙය මා දන්නවා. ඒත් මා එය ඇත්ත යයි පිළිගන්නේ නැහැ.” මුරණ්ඩු භික්ෂුව අනෙක් භික්ෂූන් කී දෙය කිසිසේත් පිළිගත්තේ නැත. ඔහුගේ දුර්මතය දුරු කළ නොහැකි තැන අනෙක් භික්ෂූහූ ඒ ගැන බුදුන්වහන්සේට පැමිණිලි කළහ.
බුදුන්වහන්සේ ගද්ධබාධිපුත්ත කැඳවා එසේ කීයේ දැයි ඇසූ සේක.
”එසේය හිමියනි, මම එසේ කීවෙමි” යැයි මුරණ්ඩු භික්ෂුව පිළිගත්තේය.
”ඔබ මේ ඉගෙනගෙන තියෙන්නේ කාහට දෙසූ දහමක්ද? ලාමක දේ ලාමක බව මා උපමා සහිත ව දේශනා කළා නේද? එහෙත් ඔබ එය නොපිට පෙරළා තේරුම් ගෙන තිබේ.” කී බුදුන්වහන්සේ අනෙක් භික්ෂූන් දෙසට හැරී, ”මහණෙනි, මේ භික්ෂුව බුදුසසුනේ උණුසුම වත් ලැබූ අයෙක් නොවේ. මොහු ලාමක යැයි කියන දේ ලාමක නොවන බව මා කවදා හෝ ඔබ හැමට උගන්වා තිබේද?” කියා අනෙක් භික්ෂූන්ගෙන් ඇසූ සේක.
”නැත ස්වාමීනි” ඒ භික්ෂූහු පිළිතුරු දුන්හ.
”මහණෙනි, මා වෙත පැවිද්ද ලබන සමහර භික්ෂූන් මා දෙසූ දහම් කටපාඩම් කර ගෙන ගිරවුන් මෙන් දේශනා කරනවා. එහෙත් නුවණ මෙහෙයවා පරීක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට සිදුවන්නේ විසකුරු සර්පයකු වැරදි ලෙස අල්ලාගත් මිනිසාට සිදුවන දෙය මෙන් අනර්ථයකි. විසකුරු සර්පයකු අල්ලන මිනිසා කිසිවිටෙකත් උගේ වල්ගයෙන් අල්ලා නොගත යුතුය. එවිට සර්පයා හැරී ඔහුට දෂ්ට කිරීමට ඉඩ තිබේ. එහෙත් සර්පයා අල්ලා ගන්නට අවශ්‍ය නුවණැති මිනිසා දෙබල් දණ්ඩක් ගෙන සර්පයාගේ හිස සිරකොට ඌ ගෙලින් අල්ලා ගනියි. සර්පයා සිය දරණයෙන් ඔහුගේ අත වෙළා ගත්තද, ඔහුට දෂ්ට කළ නොහැකිය. වැරදි ලෙස තේරුම් ගත් හෝ අවබෝධයෙන් තොරව ගත් ධර්මය වල්ගයෙන් අල්ලා ගත් සර්පයා බඳුය; හානිකරය.”
”මා ඉගැන්වූ ධර්මය ඇත්තේ කටපාඩම් කරගෙන දේශනා කිරීම සඳහා නොවේ. මාගේ ධර්මයෙහි අරමුණ වන්නේ සසර දුකින් එතෙර වීමය. ගඟකින් එතෙර වන්නට පහුරක් තනා ගන්නා මිනිසා ගෙඟන් එතෙර වූ පසුවද ‘මට මේ පහුර ගෙඟන් එතෙර වීමට ප‍්‍රයෝජනවත් වී’ යයි එය කර තබා ගෙන යා යුතු නොවේ. එහෙයින් බුද්ධිය මෙහෙයවා මා දෙසූ ධර්මයෙන් ප‍්‍රයෝජනය ගන්න.” යනුවෙන් බුදුන්වහන්සේ පහුර කර තබා ගත් මිනිසාගේ උපමාව දෙසා වදාළ සේක.
0 Comments