HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කෝකිලයන් පස් දෙනකු සමග ගිය විස්මිත ගමනක් - පක්ෂි විද්‍යාවේ නව ගවේෂණයක්

ශීත කාලය ඇරඹෙද්දී බි‍්‍රතාන්‍යයේ සිට දකුණදිග බලා විවිධ මාර්ග ඔස්සේ ගිය කොවුලන් පස් දෙනකු අපි‍්‍රකාවේ රටක එකම ප‍්‍රදේශයක දී යළි එක්ව සිටිනු දැක, කුරුලූ විද්‍යාඥයන් පිරිසක් පසුගිය දා මවිතයට පත් වුණා. කෝකිලයන් මිහිරි නාද පතුරවන්නට පමණක් නොව පර්යටනයේ Migration යෙදෙන්නට ද එකසේ දක්ෂ බව මේ ගවේෂණයෙන් හෙළිදරවු වුණා.



පර්යටන කාලයෙන් පස්සේ බොහෝ කුරුල්ලන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී යන බවක් පෙනී ගිය නිසා පර්යටන කාලය තුළ ඔවුන්ගේ ජීවන රටාවන් පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරන්නට බි‍්‍රතාන්‍යයේ කුරුලූ සංරක්ෂකයන් තීරණය කළා, එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔවුන් විශේෂයෙන් තෝරාගත් කුරුලූ වර්ගවල පර්යටන මාර්ග ගැන විමසිලිමත් වුණා. ඒ අනුව ඔවුන් මේ වතාවේ තෝරා ගත්තේ කොවුලන් විශේෂයක්. ඔවුන් කොවුලන් පස් දෙනකු අල්ලා ඔවුන්ට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගෙන යන මාර්ගය පහසුවෙන් දැන ගත හැකි GPS සෙවුම් මුදු පැලඳුවා. ඒ විතරක් නොවෙයි, ඔවුන්ට ක්ලෙමන්ට්, කැස්පර්, මාර්ටින්, කි‍්‍රස් හා ලිස්ටර් කියා නම් තැබුවා. ඉන්පසු එක විට මුදා හැරියා.

බි‍්‍රතාන්‍යයේ නැගෙනහිර ඇන්ග්ලියාවේ සිට ජූනි මාසයේ ගමන් ඇරඹූ මේ කුරුල්ලන් සැතැපුම් දහස් ගණනක් දුර ගෙවා උණුසුම් දේශ ගුණය ඇති රටවල් සොයා ගියා.

මේ කුරුල්ලන් අතුරින් කි‍්‍රස්, මාර්ටින් හා කැස්පර් යන තිදෙනා පහළට පියාසර කරමින් ඉතාලිය හරහා පියාඹා ගියා. කෙළින් ම ඔවුන් ඇතුළු වුණේ සහරා කාන්තාරයටයි.

අනෙක් දෙන්නා, ක්ලෙමන්ට් හා ලිස්ටර් ස්පාඤ්ඤය දෙසට පියෑඹුවා. එතැනින් මහාද්වීපයේ අත්ලාන්තික් දාරය ඔස්සේ සැතැපුම් 1000කට වැඩිදුරක් බටහිර දෙසට පියාසර කළා.

ඒත් අවසානයේ දී ඔවුන් සියලූ දෙනා ම දකුණු දෙසට සැතැපුම් 3000කට වැඩිදුරක් ගෙවා කොංගෝ වැසි වනාන්තරවලට පිවිස සිටිනවා.

මෙහිදී විද්‍යාඥයන් විස්මයට පත් කළ එක් කාරණයක් වන්නේ මුලින් සඳහන් කළ තිදෙනා එංගලන්තයේ නෝෆෝක්වල හා සෆෝක්වල පසුගිය මැයි හා ජූනි මාසවල ඔවුන් අල්ලා ගන්නා විට ඔවුන් සිටි ස්ථානවලට බොහෝ දුරට සමීප ස්ථානවලට ගොස් තිබීමයි. විශේෂඥයන් කියන්නේ ඔවුන් සහරා කාන්තාරය හරහා ගිය ගමන ඉතා දුෂ්කර එකක් බවයි. බොහෝ පර්යටන කුරුල්ලන්ගේ මරණ සිදුවන්නේ මේ මාර්ගයේ යද්දීයි.

මේ කොවුලන් අතරින් කි‍්‍රස් (ඒ කුරුල්ලා එසේ නම් කළේ ජනපි‍්‍රය බීබීසී වනජීවී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන කි‍්‍රස් පැකම්ට ගෞරවයක් වශයෙනි.) ජූනි 23 වැනිදා කාන්තාරය තරණය කරමින් චාඞ් රාජ්‍යයට ඇතුළු වුණා පමණක් නොව එරට සකි‍්‍රය ගිනිකන්දක දාරයට ඉහළින් පියාසර කරමින් අනතුරක නොවැටී ලාවා පැතිරි ප‍්‍රදේශයක් පසු කළ බව ද විද්‍යාඥයන්ට දැක ගත හැකි විය.

බි‍්‍රතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් කුරුල්ලන් සමග මෙතරම් සමීපයෙන් පර්යටනයේ යෙදුණු ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි. මේ කුරුල්ලන්ට GPS සෙවුම් මුදු පැලඳුවේ බි‍්‍රතාන්‍ය කුරුලූ විද්‍යා භාරයට සම්බන්ධ විද්‍යාඥ පිරිසක් විසිනුයි. ඒවා පැය දහයක් එක දිගට තොරතුරු එවා, සූර්ය කෝෂවලට එහි ඇති බැටරි යළි පණ ගන්වනු සඳහා පැය 48ක ‘නිද්‍රාවකට’ පත් වී යළිත් ‘අවදිව’ වැඩ පටන් ගනියි.

කෝකිලයන් ගිය ගමන් මාර්ග ඇතුළත් සිතියමක්.

Post a Comment

1 Comments