කවුද මේ නත්තල් සීයා? : දැන මුතු

නත්තල් සීයා යනු නත්තලේ අසිරියයි. නත්තලේ සංකේතයයි. අපේ රටේ බොහෝ විට දකින්න ලැබෙන්නේ සීයා කෙනකු නොව සීයා කෙනකුගේ වෙස් මුහුණක් පැලඳ නගරබද සුපිරි වෙළඳ සලක් ඉදිරිපිටට වී බැලූම් බෝල අතින් එල්ලා ගෙන පොඩිත්තන්ට අත වනමින් ගැහැනු ළමයින්ට උසුළු විසුළු කරමින් ඉන්නා තැනැත්තෙකි. සැන්ට ක්ලෝස් හෙවත් නත්තල් සීයා, ශාන්ත නිකලස්, ෆාදර් ක‍්‍රිස්මස් (නත්තල් පප්පා), කි‍්‍රස් කි‍්‍රන්ගල් කියා හෝ නිකම් ම ‘සැන්ටා’ කියා හෝ හැඳින්වෙයි. බොහෝ බටහිර රටවල මේ චරිතය හඳුන්වන්නේ දෙසැම්බර් 24 වැනිදා, එනම් නත්තලට පෙරදා හැන්දෑවේ හෝ සාන්ත නිකලස් පියතුමාගේ මංගල්‍යය යෙදෙන දෙසැම්බර් 6 වැනිදා තෑගි බෝග ගෙනෙන සුවිශේෂ පුද්ගලයකු ලෙසය.



අද අපි නත්තල් සීයා ලෙස දකින්නේ ලොකු උදරයක් ඇති සුදෝසුදු රැවුලක් ඇති සිනහ මුසු මුහුණින් සිටින රතු කබායකින්, කලිසමකින් හා කළු පැහැ බූට් සපත්තු කුට්ටමකින් පැලඳි මහල්ලෙකි. අප අද දකින මේ නත්තල් සීයා කරළියට ආවේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඒ 19 වැනි ශතවර්ෂයේදීය. නත්තල් සියාගේ මෙම පෙනුම ඔහුට ලබාදීමට මුල් වූයේ විකට හා දේශපාලන කාටූන් ශිල්පියකු නිසාය. මෙම කාටූන් ශිල්පියා තෝමස් නෙස්ට්ය. 1863 දී ඔහු ‘හාපර්ස් වික්ලි’ සඟරාවේ පළ වූ ඔහුගේ කාටූන්වලට ඇන්දේ අද අපි දකින ආකාරයේ නත්තල් සීයා කෙනෙකි. පසුව මෙම නත්තල් සීයාගේ මෙම ප‍්‍රතිරූපය පොත්පත් සඟරා, රූපවාහිනියට හා චිත‍්‍රපටවලට යොදා ගැනිණ. එක්සත් රාජධානියේ හා යුරෝපයේ නත්තල් සීයාගේ හැඩරුව හා ස්වරූපය ද මීට සමාන විය. නමුත් එම රටවල නත්තල් සීයා එසේත් නැතිනම් ‘සැන්ටා ක්ලෝස්’ යන නමින් ඔහුව හැඳින්වූයේ නැත. යුරෝපීයයන් ඔහුව පොදුවේ හැඳින්වූයේ ‘ෆාදර් කි‍්‍රස්මස්’ හෙවත් ‘නත්තල් පප්පා’ යනුවෙනි. ගී‍්‍රසියේ හේජියෝ නිකොලෝස්, නෙදර්ලන්තයේ සින්ටර් ක්ලාස්, ඉතාලියේ බේබෝ නටාලේ, ස්පාඤ්ඤයේ පපා නොයෙල්, මොරොක්කෝ බ්ලැක් පීටර්, ප‍්‍රංශයේ පීරේ නොයෙල්, නෝර්වේවල පා නෝස්ක්, ජපානයේ සැන්ටා නෝ ඔජිසාන්, රුසියාවේ ග‍්‍රෑන්ඞ් ෆාදර් ෆ්රොස්ට්, චීනයේ ෂෙන්දාන් ලා ඕරෙන් ආදී විවිධ නම්වලින් නත්තල් සීයා හඳුන්වනු ලබයි.

නත්තල් සීයා ගැන පුරාවෘත්ත රැසක් ඉතිහාසයට එක් වී තිබේ. එයින් එක් ප‍්‍රවාදයකට අනුව ඔහු ජීවත් වන්නේ සදා හිමෙන් වැසුණු උතුරේ ඈත කෙළවරේය. මෙහි ඇමෙරිකානු ප‍්‍රවාදයට අනුව සැන්ටා ක්ලෝස් (නත්තල් සීයා) වාසය කරන්නේ උත්තර ධ්රුවයේය. යුරෝපීයන්ගේ ප‍්‍රවාදයට අනුව ‘ෆාදර් කි‍්‍රස්මස්’ එනම් ‘නත්තල් පප්පා’ ජීවත් වන්නේ ලැප්ලන්තයේය. අනෙක් තොරතුරු අනුව ඔහු විවාහකයෙකි. බිරිඳ වූ ක්ලෝස් මහත්මිය සමග ජීවත්වෙයි. ඔහුගේ රාජකාරිය වන්නේ තම බිරිඳ හා එක්වී ළමයින්ගේ හැසිරීම අනුව ලැයිස්තු සකස් කිරීමයි. ඒ අනුව හොඳ ළමයින් කවුරුන්දැයි තෝරා බේරාගෙන ඔවුන්ට තෑගි ලබාදීමයි. මෙම තෑගි අතර ඇත්තේ සෙල්ලම් බඩු සහ රස කැවිලිය. දඟ කරන නරක ළමයින්ට තෑගි වශයෙන් ඔහුගෙන් හිමිවන්නේ ගල් අඟුරු කැට සහ කෝටු කැබලියි. මේ කාර්යය ඉටු කිරීමට නත්තල් සීයා ලොව වටා යන්නේ පිනිමුවන් අටක් හෝ නවයක් බැඳි හිම කරත්තයකිනි. මෙසේ හිම මතින් ලිස්සා යන ආකාරයට හිම කරත්තයේ නැඟී අහසින් යමින් නත්තල් දා ලොව පුරා සිටින ළමයින්ට තෑගි බෙදා දෙයි. මෙම කාර්යයේ දී නත්තල් සීයාට එල්ව්ස් නම් මායාකාරී කුරුමිට්ටන්ගේ සහය ලැබෙයි. ළමයින්ට දෙන සෙල්ලම් බඩු තනනු ලබන්නේ මේ පුංචි සහයකයන් විසිනි.

මෙසේ සැන්ටා ක්ලෝස් ගැන විශ්වාසයක් දරුවන් අතර පැතිරවීම ගැන විරෝධතාවක් ද අනාදිමත් කාලයක් තිස්සේ පැවත එයි. ඇතැම් කි‍්‍රස්තියානුවන් පවසන්නේ සැන්ටා සම්ප‍්‍රදාය ආගමික මුලයන්ගෙන් පිට පැන නත්තලේ සැබෑ අරුත යටපත් කරන්නක් ලෙසයි. සමහර අය කියන්නේ සැන්ටා ක්ලෝස් යනු අමූලික බොරුවත් බවත් එවැන්නකු සැබැවින් ම ජීවත්වෙතැයි  විශ්වාස කරන්නට දෙමාපියන් විසින් සිය දරුවන් පෙලඹවීම සදාචාර විරෝධී මහා අපරාධයක් බවයි.  

නත්තල් සීයා ගැන ලොවට තොරතුරු රැසක් හෙළි කර ඇති ෆිලීස් සීෆ්කර්ට අනුව ළමයි ඒ දිනයේ දී ඔවුන්ගේ බූට් සපත්තු කැරට්, පිදුරු හා සිනි ආදියෙන් පුරවා ඒවා නිවසේ දුම් කවුළුව අසලින් තබති. ඒ ඔඩින්ගේ අශ්වයාට බුදිනු පිණිසය. ඒ ගැන සතුටට පත් වන ඔඩින් අශ්වයාට දෙන දේ වෙනුවට රසකැවිලි හෝ වෙනත් තෑගි ඒ සපත්තු තුළට දමයි. මේ පැරණි පුරුද්ද ජර්මනිය, බෙල්ජියම හා නෙදර්ලන්තය යන රටවලට කි‍්‍රස්තියානිය පැමිණි පසුව ද ඔවුන් අත් හැර ගියේ නැත. කි‍්‍රස්තියානි ආගමනයත් සමග මෙය සාන්ත නිකලස්ට ආදේශ කරනු ලැබීය. මේ පුරුද්ද අනුව අදත් ඒ රටවල සමහර අය නිවසෙහි දුම් කවුළුව අසලින් මේස් එල්ලා තබති.

මෙම පුරුද්ද එක්සත් ජනපදයට ආවේ නිව් ඇම්ස්ටර්ඩම් නම් ලන්දේසි ජනපදය පිහිටුවාලීමත් සමගය. 17 වැනි සියවසේ දී බි‍්‍රතාන්‍යයන් විසින් එය අල්ලා ගැනීමටත් පෙරාතුවය. නිවසේ ගිනි මැලය අසල මේස් එල්ලා තැබීම එකල සිරිත විය. ඔස්ටි‍්‍රයාවේ හා ඉතාලියේ බොහෝ ප‍්‍රදේශවල සාන්ත නිකලස් දිනයේ දී ළමයින්ට රස කැවිලි හා තෑගි බෙදා දීම අදත් පවතින සිරිතකි. මෙය සිදු කරන්නේ කතෝලික දින දර්ශනය අනුව දෙසැම්බර් 6 වැනිදාට යෙදෙන සාන්ත නිකලස් දිනයේ දී  ය.

ජර්මනියේ පූර්ව කි‍්‍රස්තියානි සමයේ පැවැත්වුණු ශීත කාලයේ උත්සවවලින් වත්මන් යුගයේ උත්සවවලට ලැබුණු තවත් ආභාසයන් ගණනාවක් ම තිබේ. කි‍්‍රස්මස් හැම්, යූල් ගෝට්, යූල් ලොග් හා නත්තල් ගස ඉන් කීපයක් පමණි.

යුරෝපයේ ඇල්ප්ස් කඳුකරය ආශී‍්‍රත රටවල පූර්ව කි‍්‍රස්තියානි සාම්ප‍්‍රදායයන්හි බලපෑම නිසා සාන්ත නිකලස්ගේ සගයකු ලෙස ක්රැම්පස් නම් චරිතයක් බිහි විය. තරුණයන් ක්රැම්පස්ලා මෙන් වෙස් ගෙන දෙසැම්බරයේ පළමු දෙසතිය තුළ, විශේයෙන් ම දෙසැම්බර් 5 වැනිදා හැන්දෑවේ, මල බැඳුණු දම්වැල් හා සීනු රැගෙන වීදි බැස ළමයින් බියට පත් කිරීම සඳහා සැරිසරනු දැක ගත හැකිය.

නෙදර්ලන්තයේ හා බෙල්ජියමේ සාන්ත නිකලස් හැඳින්වෙන්නේ ‘ඩි ජියොඞ් සින්ට්’ හෙවත් ‘මිතුරු සාන්තුවරයා’ ලෙසයි. මෙහි දී පැවැත්වෙන පෙරහැරේ දී ඔහුගේ උදවුකාරයා ලෙස එන්නේ ‘ස්වාට් පීට්’ හෙවත් ’කළු පීටර්’ නම් අයෙකි. මෙහි දී ද ජර්මන් ප‍්‍රවාදවල එන ඔඩින් දෙවියාගේ ලක්ෂණ හමුවේ. දිගු රැවුලක් ඇති, තොප්පියක් හා හෙල්ලක් (දැන් නම් යෂ්ටියක්) අතින් ගෙන එන මේ සාන්ත නිකලස් සමග නරක ළමයින් අල්ලා ගෙන යාම සඳහා සේවකයන් විසින් ඔසවා ගෙන එන මල්ලක් ද කැටුව එයි. ඔඩින් මෙන් ම සාන්ත නිකලස් ද එන්නේ සුදු අසු පිටිනි. එතුමාගේ කළු පීටර් නම් සේවකයා ළමයින්ට රූන් හෝඩියේ අකුරුවල හැඩ ඇති රස කැවිලි බෙදන්නේ ය. ඒ පුරාණ අක්ෂර මාලාව නිර්මාණය කර ඇත්තේ ඔඩින් දෙවියා විසිනැයි කියැවේ. මේ උළෙල පවත්වද්දී ළමෝ පද්‍ය කලාවට අධිපති ඔඩින් දෙවියන් වෙනුවෙන් තැනූ ගීතිකා ගායනා කරති.

සාන්ත නිකලස්තුමන්ගේ සේවකයන් ගැන පහදා දීමට ද විවිධ කතා තිබේ. එහි පැරණි ම කතාවට අනුව උදව්කාරයන් සංකේතවත් කරන්නේ ඔඩින්ගේ හගින් හා මුනින් යන කාකයන් දෙදෙනාය. අවට සිදු වන්නේ කුමක් දැයි සොයා බලා ඔඩින්ට වාර්තා කරන්නේ ඒ දෙදෙනා ය.

තවත් කතාවකට අනුව සාන්ත නිකලස් මයිරාහි වෙළෙඳපොළේ දී විකිණීමට ගිය ඉතියෝපියානු කළු වහල් දරුවකු බේරා ගනියි. ඔහුට පීටර් යන නම තබයි. නිකලස්තුමන් ගැන පැහැදුණු දරුවා එතුමාට සේවය කරන්නට ඉදිරිපත් වෙයි. අද නව මුහුණුවරක් ගෙන ඇති සේවකයන් පැලඳ සිටින්නේ ද කළු වෙස් මුහුණුය. දුම් කවුළුවලින් රිංගා යන නිසා දැලි තැවරීමෙන් කළු පැහැගැන්වූ බවක් එහි දී සංකේතවත් වෙයි.

දෙවන ලෝක සංග‍්‍රාමය වන තෙක් නිකලස්තුමන්ට සිටියේ එක් සේවකයකු පමණය. 1945 දී නෙදර්ලන්තයේ පාලනයෙන් මිදුණු කැනේඩියානුවෝ යළිත් ළමුන් වෙනුවෙන් සැන්ටක්ලාස් උළෙල අරඹද්දී සම්ප‍්‍රදායයන් ගැන නොදැන එක් සේවකයකුට වඩා සේවකයන් ගණනාවක් සිටීමෙන් වඩා විනෝදයක් සැපයිය හැකියැයි සිතා ‘කළු පීටර්’ලා පිරිසක් යොදා ගත්හ.

පල්ලියේ ඉතිහාසයට හා ඒ ආශි‍්‍රත ප‍්‍රවාද අනුව තෑගි ගෙනෙන ‘නත්තල් පප්පා’ නම් බි‍්‍රතාන්‍ය චරිතය ම පසුව බි‍්‍රකාන්‍යයන් හා ඇමෙරිකානුවන් සැන්ටා ක්ලෝස් බවට පත් කර ගත් බව සඳහන්ය. බි‍්‍රතාන්‍යයේ නත්තල් පප්පාගේ ඉතිහාසය 17 වන සියවස තෙක් දිව යන්නකි. ඔහුගේ පැරණි ම චිත‍්‍ර පවා ඒ යුගයට අයත් ය. ඒ අනුව ඔහුට කොළ පැහැති ලෝම සහිත දිගු ලෝගුවක් හා දිගු රැවුලක් ද ඇත. නත්තලේ පී‍්‍රතිය ඔහු වෙතින් නිරූපණය විය. සම්භාව්‍ය ඉංගී‍්‍රසි ලේඛකයකු වූ චාල්ස් ඩිකන්ස්ගේ ‘‘කි‍්‍රස්මස් කැරොල්’ හී එක් තැනක නත්තල් තෑගි ගෙන එන කුරුමිට්ටකු ගැන සඳහන් කර තිබේ.

වෙනත් රටවල මේ සාන්ත නිකලස්ගේ චරිතය ජනකතා සමග මුසු කොට වෙනත් ආකාරවලින් ද පණ ගන්වා තිබේ. නිදසුනක් වශයෙන් නෝර්දික් රටවල දී නත්තල් කාලයට තෑගි ගෙන ආවේ යූල් නම් දිගු අං සහිත එළුවෙකි.

කෙසේවෙතත්, 1840 ගණන්වල ඩෙන්මාර්කයේ දී මෙසේ නත්තල් තෑගි ගෙනාවේ නෝර්දික් ප‍්‍රවාදවල ආ ‘ටොම්ටේ’ හෝ ‘නිසේ’ යන නම්වලින් හැඳින්වුණු එල්ෆ් නම් කුරුමිට්ටෙකි. ‘ටොම්ටේ’ නිරූපණය කෙරුණේ රතු තොප්පියක් හා අලූ පැහැති ඇඳුමකින් සැරසුණු දිගු රැවුලක් ඇති මිටි අයකු ලෙසය. පැරණි ජනප‍්‍රවාදයකින් බිහි වූ මේ නව නත්තල් සීයා, සැන්ට ක්ලෝස් සාම්ප‍්‍රදායන්හී අභාසය ලබමින් දැන් ස්කැන්ඩිනේවියානු රටවල ව්‍යාප්ත වෙමින් පවතී. 19 වැනි සියවසේ අවසානයේ දී ‘යූල්’ වෙනුවට ආදේශයක් වශයෙන් මේ සාම්ප‍්‍රදාය නෝර්වේ හා ස්වීඩනය යන රටවල ද පැතිර ගියේය. ෆින්ලන්තයේ ද මේ දේ ම සිදුවිය. අං සහිත යූල් එළුවා වෙනුවට වඩා මනුෂ්‍යත්වයට සමීප චරිතයක් එක් විය. තෑගි ගෙන ආ යූල් එළුවා දැන් අභාවයට ගොස් ඇති අතර ඒ වෙනුවට ‘පිදුරු එළුවා’ තවමත්  ස්කැන්ඩිනේවියානු රටවල නත්තල් සැරසිලිවලට එක්වනු දැකිය හැකිය.

පසුව එක්සත් ජනපදය බවට පත් වූ මුලින් උතුරු ඇමෙරිකාවේ බි‍්‍රතාන්‍ය ජනපදවල දී තෑගි බෙදන චරිතයේ බි‍්‍රතාන්‍ය හා ලන්දේසි මුහුණුවර යළිත් මතු විය. නිදසුනක් වශයෙන් 1809 දී පළ වූ වොෂිංටන් අර්වින් ලියූ ‘නිව්යෝක් ඉතිහාසය’ නම් කෘතියෙන් සින්ටෙක්ලාස්ට ඇමෙරිකානු මුහුණුවරක් දී ‘සැන්ටා ක්ලෝස්’ නමින් දක්වා තිබුණි. එහෙත් එහි දී බිෂොප් ලෝගුව ඔහුගෙන් ගිලිහී තිබුණි. ඔහුව මුලින් චිත‍්‍රණය කර තිබුණේ ශීත කාලයට අඳින කොළ පැහැති කබායක් පැලඳි, පයිප්පයක් අතැතිව සිටි ලොකු උදරයක් ඇති ලන්දේසි නැවියකු ලෙසයි. අර්වින්ගේ පෙතෙහි ඔහු මෙසේ විකට අයුරින් නිරූපණය කර තිබුණේ  උපහාසයක් ද මතු කරමිනි.

19 වැනි සියවසේ අවසාන භාගයේ දී නෝර්වේ රටේ ෆින්මාක්හී සිට ඇලස්කාවට ආ සාමි ජනතාව ආවේ පිනිමුවන් 500ක් සමගය. ඒ ඇලස්කාවේ විසූ ස්වදේශිකයන් වූ ඉනියුට් (එස්කිමෝවරුන්) ජනතාවට පිනිමුවන් ඇති කරන හැටි ඉගැන්වීමටය. ලෝමන් සමාගම සාමිවරුන් කීප දෙනකු සමග පිනිමුවන් යොදා ගෙන ප‍්‍රචාරක වැඩ සටහනක් දියත් කළ අතර ඊට ස්ලෙජ් එකක සැන්ටා හිඳුවා පිනිමුවන් විසින් අදින ජවනිකාවක් ද ඇතුළත් විය. පිනිමුවන් දක්කා ගෙන ගියේ සාමිවරුන් ය. පිනිමුවන් සමග උත්තර ධ්රුවයෙන් ආ ‘නත්තල් සීයා’ උපන්නේ මෙසේය.


1902 දී පළ වූ ළමා පොතකින් සැන්ටා ක්ලෝස් වඩාත් ජනපි‍්‍රයත්වයට පත් විය. ඒ එල්. ෆ්රෑන්ක් බෝම්ගේ ‘ද ලයිෆ් ඇන්ඞ් ඇඞ්වෙන්චර්ස් ඔෆ් සැන්ටා ක්ලෝස්’ නම් පොතෙනි. සැන්ටා ක්ලෝස්ගේ ප‍්‍රවාදය ඒ වන තදින් නිර්මාණය වී නොතිබුණු නිසා බෝම්ට එය තමන්ට රිසි පරිදි සකසා ගැනීමට අවස්ථාව පෑදුණේය. ඔහු ඒ නිසා සිය නත්තල් සීයා, ‘නෙසිල්ගේ කුඩාවා’ යන අරුතින් ‘නිකලස්’ යනුවෙන් නම් කළේය. ඔහුගේ නිවස පිහිටියේ හෝහාහෝහී සිනාසෙන නිම්නයෙහි බවත් පිනිමුවන් දස දෙනාට පියාඹන්නට නොහැකි අතර උස් වැටි අතරින් ලිස්සා එන සෙයක් ඔහුගේ නිර්මාණයෙහි දක්වා තිබුණි.

දැන් කිර්ගිස්තානයේ කඳු මුදුනක් ද සැන්ටා ක්ලෝස් නමින් නම් කර තිබේ. ළමයින් පිනවීම පිණිස නත්තල් සියාගේ නමින් අලූත් දෑ නිරන්තරයෙන් ම එක්වෙයි. සැන්ටාගේ චරිතය පාදක කර ගෙන සිනමා හා ටෙලි නිර්මාණ රැසක් ද බිහි වී තිබේ. එසේ ම ටෙලි නාට්‍ය ද විශාල ගණනක් තනා ඇත. අන්තර් ජාලය හරහා නැරඹිය හැකි නත්තල් සීයාට වෙන්වුණු වෙබ් පිටු රැසක් ද තිබේ.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments