මරු පෙනි පෙනී අන්දරේ කියූ කවිය : අන්දරේගේ තවත් කතාවක්

අන්දරේ දවසක් රජ්ජුරුවොත් එක්ක මහවැලි ගෙඟ් යාත‍්‍රා කරමින් හිටියා. රජුගේ ආරක්ෂාවට ඒ යාත‍්‍රාවේ රාජපුරුෂයොත් ගියා. අවට සිරි නරඹමින් ගිය රජතුමාට එක්වර ම අමුතු අදහසක් පහළ වුණා. රජ්ජුරුවො අන්දරේ දිහාට හැරිල මෙහෙම ඇහුවා:

”හැබෑට ම අන්දරේ නුඹට  ඕනැම තැනකදි හිටිවන කවි කියන්න පුළුවන්ද?”

”කවි කියන්න දක්ෂ මිනිහකුට තැන ප‍්‍රශ්නයක් නෑ.  ඕනෑම තැනක කවි කියන්න පුළුවන්. මරු කටේ ඉඳන් වුණත් හිටිවන කවි කියතෑකි” අන්දරේ ආඩම්බර හිනාවක් දාලා කිව්වා.

”හොඳයි, අපි බලමු අන්දරේගෙ හපන්කම්” කී රජතුමා රජපුරුෂයන් දෙසට හැරුණා. හැරිලා මෙහෙම කිව්වා:

”රාජපුරුෂයිනි, මේ අන්දරේව දෙපා බඳලා ගඟට දාපල්ලා”



”අනේ පස්වාන්දහසකට බුදුවන්න දෙවියන් වහන්ස, මොකක්ද මේ කරන්න හදන්නෙ. මේ ගැත්තාගෙන් වුණු වැරෑද්ද මොකක්ද? දියේ ගිල්වලා මරන්න?” අන්දරේ බැගෑපත් වුණා.

රජතුමා ඒක කනකටවත් ගත්තෙ නෑ. රාජපුරුෂයන් අන්දරේ බඳින්න පැකිළෙන කොට රජතුමා ඔවුන්ට සැර වුණා.

”මොකද තවත් බලා ඉන්නේ මගේ අණ ඉටු කරනු” කියලා ගෝරනාඩු කළා.

රාජපුරුෂයො බියෙන් වෙවුලලා ගියා. ඉක්මනින් අන්දරේගෙ දෙපා බැඳලා ගඟට දැම්මා. අන්දරේ එක්වරක් ගිලිලා මතු වුණා. එතකොට ම රජ්ජුරුවො මෙහෙම කිව්වා: ”හා අන්දරේ දැන් පුළුවන් නම් කවියක් කියපන් බලන්න”

මොනව කරන්නද අන්දරේ ගිලිලා උඩට මතු වෙන වාරයක් ගානෙ කවි පදයක් බැගින් කිව්වා.

මෙන්න ඒ කවිය:
අප වැනි අයට කොච්චර දුක ද        හිමිතුමා
මෙපමණ දුකට පිහිටක් නූන කල    දිමා
රිවි කුල රජුන්හට ඇත්තේ නම්       පුදුමා
කවි කියවන්න කියු වේලාවක        මහිමා

අන්තිම පදේ කියපු ගමන් අන්දරේ ආයිත් දිය යටට ගිළුණා.

රජතුමාට තමන්ට කරපු දේ ගැන හරියට දුක හිතුණා. එකපාරටම කෑගහල කිව්වා ”අන්දරේව ඉක්මනට ගොඩ ගනිල්ලා” කියලා.

අන්දරේට මැරෙන්න තරම් අමාරුයි. වතුර පෙවිලා හිටියෙ. රාජපුරුෂයො අන්දරේව ගොඩට අරන් සාත්තු කළා. රජතුමා අන්දරේගෙ හපන්කම ගැන පැහැදුණා. අන්දරේට ගොඩක් තෑගි බෝග දුන්නා.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. අනේ අම්මපා රජවරුනම් කවදත් එකයි බලාගෙන යනකොට...
    යකෝ මැරෙන්න ඇරලා මොනවා දුන්නත් වැඩක් ඇතෙයි

    ReplyDelete