HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මාළුන් තුන්දෙනා - පුන්නුවණා, අඩනුවණා හා නුනුවණා : සූෆි උපමා කතාවක්

එකමත් එක රටක මාළු තුන්දෙනෙක් හිටියා. ඔවුන්ගේ එකකුගේ නම පුන්නුවණා, අනෙකා අඩනුවණා වූ අතර තුන්වැන්නා නුනුවණා නම් වුණා. අනික්  ඕනෑම තැනක ඉන්නා මාළුන්ගේ මෙන් මේ මාළුන්ගේ ජීවිත සාමාන්‍ය විදියට ගෙවිලා ගියා. ඔහොම කල් යන කොට දවසක් මිනිසෙක් දැලකුත් අතින් අරන් විල දිහාට ආවා. පුන් නුවණා ජලය විනිවිද මිනිසා එනු දුටුවා. ඌ එතෙක් ලත් අත්දැකීම්, අසා ඇති දේ මෙන් ම තමන් සතු බුද්ධිය ද මෙහෙයවා අනතුරක් ළඟ එන බව තේරුම් ගත්තා. එයින් ගැළවීමට වහා කි‍්‍රයාත්මක විය යුතු යැයි පුන් නුවණා තීරණය කළා.

‘‘මේ පුංචි විලේ හැංගෙන්න තැන් ඒ තරම් නෑ. ඒ නිසා මං මළා වාගේ ඉන්න  ඕනෑ.’’ පුන් නුවණා කල්පනා කළා.

පුන්නුවණා උගේ මුළු ශක්තියම යොදා විලෙන් ගොඩට පැන හුස්ම අල්ලා ගෙන මළාක් මෙන් සිටියා. විල ළඟට ආ මිනිසා තමාගේ දෙපා ඉදිරියේ වැටී මියගිය මේ මාළුවා පිරික්සා බලා හුස්ම නොගන්නා බව තේරුම් ගෙන විමතියෙන් යුතුව උගේ වලිගයෙන් අල්ලා ආපසු විලට විසි කළා. වතුරට වැටුණු පුන්නුවණා මොහොතක් මළාක් මෙන් සිට හෙමින් සීරුවේ වතුර යටට ගිහින් ඉවුරේ කුඩා සිදුරකට රිංගා සැඟවුණා.

දෙවැන්නා වූ අඩනුවණාට ඒක එකපාරටම තේරුණේ නෑ. ඌ පුන්නුවණා වෙත පිහිනා ගොස් ඒ ගැන විමසුවා.

‘‘මං ගොඩට පැනලා මළාක් වාගේ හිටියා. ඉතින් එයා ආපහු විලට විසි කළා.’’ පුන්නුවණා කීවා.

ඉතින් අඩනුවණාත් කළේ වහාම දියෙන් ගොඩට පැන මිනිසාගේ දෙපා මුලට වැටීමයි.

‘‘හරි පුදුමයි, මේ විලේ මාළු හැමතැනින් ම ගොඩටට පනිනවා.’’ මිනිසා තමාට ම කියා ගත්තා.

මිනිසාගේ දෙපා මුලට වැටුණත් අඩනුවණාට පුන්නුවණා කී විදියට හුස්ම අල්ලා සිටීමට අමතක වුණා. පාත් වී බැලූ මිනිසාට ඌ හුස්ම ගන්නා බව පෙනුණා. ඒ නිසා ඔහු අඩනුවණා අල්ලා හිණෙහි වූ මල්ල තුළට දැම්මා. මාළුන් දෙන්නකුම ගොඩ පිනූ නිසා ඔහුගේ මොළය අවුල් ව ගියෙන් ඔහුට මල්ලෙහි කට වැසීමට අමතක වුණා. ඔහු තවත් මාළු ඇද්දැයි විලට එබී බලන අතරේ අඩනුවණා හෙමින් සීරුවේ මල්ලෙන් ඉවතට පැන යළිත් දියට රිංගා ගැනීමට සමත් වුණා. පුන්නුවණා සැඟවී සිටි ගුල අසලට ගිය ඌ වෙනත් ගුලකට රිංගා ගත්තා.

දැන් ආවේ තුන්වැන්නා වූ නුනුවණාගේ වාරයයි. ඌ නමට ම සරිලන ආකාරයේ මෝඩයකු වුණා. අනෙක් මාළුන් දෙන්නා ඔවුන්ගේ අත්දැකීම් විස්තර කළත් ඌට ඒවා තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මිනිසාගෙන් ගැලවීමට නම් මළාක් මෙන් සිටීමට අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා හුස්ම අල්ලා ගෙන සිටිය යුතු බවත් ඒ මාළුන් දෙන්නා කීවා. කීපවරක් ම කියා දුන් පසු තමන්ට එය හොඳින් වැටහුණු බව නුනුවණා පිළිගත්තා.

‘‘බොහොම ස්තුතියි, මට දැන් තේරෙනවා’’ නුනුවණා කීවා. ඒ විගස ම ඌ දිය මතු පිටට අවුත් එක්වර ම ගොඩ බිමට පැන මිනිසාගේ දෙපා අසලින් වැතිරුණා. ඌ අනෙක් දෙදෙනා කී විදියට ම හුස්ම අල්ලා ගෙන මළාක් මෙන් සිටියා. දැනටමත් මාළුන් දෙදෙනකු අහිමි වීම ගැන සිත් තැවුලෙන් සිටි මිනිසා නුනුවුණා මළ බවවත් නොවිමසාම ඌ මල්ල තුළට දමා එහි කට හොඳින් වසා දැම්මා.

ඉන්පසු මිනිසා තවත් මාළුන් අල්ලා ගන්නට වෙහෙසුණත් තවත් කිසිම මාළුවකු ඔහු අහු වුණේ නෑ. මුලින් ම අසුවී දියට දැමූ දෙදෙනාවත් ඔහුට අල්ලා ගන්න බැරි වුණා. තවත් එක මාළුවකුවත් අල්ලා ගත නොහැකි වූ තැන ඔහු සිය උත්සාහය අත්හැරියා. දැලත් අකුලා ගෙන යන්නට හැරුණු ඔහු අන්තිමේ දී හිණෙහි වූ මල්ල ඇර බැලූවා. මල්ල තුළ ඉන්නා මාළුවා හුස්ම නොගන්නා බව දැක ඌ යළිත් විලට විසි කරන්නට සිතූ ඔහු මඳක් කල්පනා කර, ‘‘ඔන්න ඔහෙ බල්ලට දෙන්නවත් ගෙදර ගෙනියනවා’’ යැයි තමාටම කියා ගත් ඔහු ඒ මාළුවා ගෙදර අරගෙන ගියා.

(පර්සි ජයමාන්නගේ ‘සූෆි උපමා කතා’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 1990)

Post a Comment

0 Comments