HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කැලැන්ඩරයෙන් එල්ල වන අභියෝගය : කැලැන්ඩරයේ කතාව - 3

කෙසේ වෙතත්, නියම කැලැන්ඩරයක් තැනීම මිනිසාට යුග ගණනාවක් තිස්සේ මහත් හිරිහැරයක් ව පැවති බවට සැකයක් නැහැ. කාලය, දින, සති, මාස හා අවුරුදු ගණනින් බෙදා දැක්වීමේ දී ඒවා නිසි ලෙස ගැලපෙන්නේ නැති බවෙන් ම මෙය පැහැදිලි වෙනවා.

වසර දහස් ගණනක් තිස්සේ මිනිසා වඩාත් නිවැරදි කැලැන්ඩරයක් හදන්න වෙහෙසුණා. එහෙත් තවමත් හරියටම හරියන කැලැන්ඩරයක් තනා ගන්නට මිනිසාට හැකි වී නැහැ. තවමත් තත්පර 26ක වෙනසක් අපේ කැලැන්ඩරයේ තියෙනවා.


මේ වෙනස ඇති වන්නට හේතුව අපේ කැලැන්ඩරයේ වර්ග දෙකක කාල ඒකක තිබීමයි. ඉන් එක් වර්ගයක් ස්වභාවික කාල ඒකකයි. ඒවා අපට ලැබෙන්නේ හිරු, සඳු ඇතුළු ආකාශ වස්තූන් ඇසුරු කර ගෙනයි. ඒවා අවුරුදු හා මාස කියා හැඳින්වෙනවා. අනෙක් කාල ඒකක වර්ගය අප විසින් තනා ගෙන ඇති පැය මිනිත්තු දැක්වෙන කාල ඒකකයි. ඒවා පෘථිවියේ භ‍්‍රමණය ඇසුරු කර ගෙන තනා ගත් ඒවායි. මෙම කාල ඒකක අනුව නිල වශයෙන් දවස ආරම්භ වන්නේ මධ්‍යම රාති‍්‍ර 12ටයි. එය පසු දා මධ්‍යම රාති‍්‍රය තෙක් දිව යනවා. මාසය තැනී ඇත්තේ චන්ද්‍රයාට එක් වරක් පෘථිවිය වටා යාමට ගතවන කාලය අනුවයි. එය ගණන් ගැනෙන්නේ නව සඳේ සිට පසළොස්වකටත් එතැන් සිට යළිත් නව සඳ එළඹෙන තෙක්, එනම් අමාවක තෙක්, ගත වන අතරතුර කාලයයි. මාසයත්, දිනයත්, කැලැන්ඩරයක් තැනීමට තරම් නොවන කෙටි කාලයක් වූ නිසා වසරක කාලයක් මැනීම සඳහා වෙනත් ක‍්‍රමයක් යොදා ගැනීම අවශ්‍ය වුණා. පෘථිවිය එක් වරක් හිරු වටා යාමට ගත කරන කාලය ඒ සඳහා යොදා ගැනුණා. අද අප ලොව පුරා භාවිත කරන කැලැන්ඩරය තැනී ඇත්තේ මේ කාල ඒකක දෙක එකට එක් කිරීමෙනුයි.

කැලැන්ඩරය තැනීමේ දී අවුරුද්ද මාස, දිනවලට බෙදීමට සිදු වුණා. එහෙත් පෘථිවිය, සූර්යයා වටා යාමට ගත වන කාලය වූ අවුරුද්ද දිනවලින් වත්, මාසවලින් වත්, හරියටම ඉතිරි නැතිව බෙදන්නට මිනිසාට පුළුවන්කමක් තිබුණේ නැහැ. එයට හේතුව පෘථිවියට එක් වරක් සූර්යයා වටා යාමට දින 365 1/4 කටත් මඳක් අඩු කාලයක් ගත වීමයි. මාසයක් කියන්නේ  දින 29 1/2ක පමණ කාලයකටයි. දවස පැය 24කට බෙදීමත් පැයක් මිනිත්තු 60කටත්, මිනිත්තුවක් තත්පර 60කටත් බෙදීමත් අසීරු දෙයක් නොවෙයි. ඒ ඒවා කාලය මැනීමට අප විසින් ඇති කර ගත් කෘති‍්‍රම ඒකක වන නිසයි.

අවුරුද්දේ නියම කාලය දින 365 පැය 5 මිනිත්තු 48 තත්පර 46ක්. දැනට අප භාවිත කරන කැලැන්ඩරයට දින 30හේ මාස 4ක් ද දින 31කේ මාස 7ක් ද බොහෝ අවුරුදුවල දී දින 28ටේ එක් මාසයක් ද ඇතුළත් වෙනවා. ඒවා එකතු කළ විට ලැබෙන්නේ 365ක් පමණයි. දැන් ඉතිරි වන පැය, මිනිත්තු හා තත්පරවලට මොකද කරන්නේ ? යනු මිනිසා ඉදිරියේ ඇති ඊළඟ අභියෝගය වුණා. ඊට පිළිතුරු වශයෙන් ඉතිරි වන කාලය අල්ලා ගැනීමට යොදා ගෙන ඇත්තෙත් හරිම අමුතු ක‍්‍රමයක්. ඒ වසර 4කට වරක් අධික අවුරුද්දක් සේ සලකා වැඩිපුර දිනයක් පෙබරවාරියට එකතු කිරීමෙන්. එහි දී මිනිත්තු 11 තත්පර 14ක වෙනසක් ඇති වෙනවා. මෙය හැකි තාක් අඩු කිරීමේ අදහසින් වර්තමානයේ අප භාවිත කරන මේ කැලැන්ඩරයට ආසන්න ම කැලැන්ඩරය සැකසූ ග්‍රෙගරි පාප්තුමා සිව් වසරකට වරක් දිනයක් එකතු කිරීම එසේ ම තිබෙන්න හරින්නත් එහි දී වැඩි වන ප‍්‍රමාණය හරිගැස්වීම සඳහා 400න් නොබෙදෙන සියවස්වල දී එසේ දිනයක් එකතු නොකරන්නත් තීරණය කළා ඒත් ඒකෙන් ඒ ප‍්‍රශ්නය විසඳුණේ නැහැ. තවමත් තත්පර 26ක වෙනසක් තිබෙනවා. ඒ වෙනස නොසලකා හරින්න බැහැ. ඒ එය වසර 3000ක දී දිනයක වෙනසක් ඇති කරන්නක් නිසයි.          

කෙසේ වෙතත් වර්තමාන කැලැන්ඩරයේ ඇති වෙනත් අඩුපාඩුත් සලකා පසුගිය කාලය තුළ ලෝක සම්මත කැලැන්ඩරයක් තනන්නට උත්සාහයන් කීපයක් ම දරණු ලැබුවා. ඒත් ඒක තවමත් සාර්ථක නොවූ සිහිනයක් ව පවතිනවා. දැන් සෑම අවුරුද්දක ම ඇති වන තත්පර 26ක් වූ වෙනස මකා දැමිය හැකි, ලෝකයට වඩාත් උචිත කැලැන්ඩරයක් තැනීම කලක් තිස්සේ ම ගණන්කාරයන්ට එල්ල වී ඇති අභියෝගයක්. ලොකු වෙලා ගණන්කාරයකු වී ඒ අභියෝගය ජය ගන්න පුංචි ඔබට පුළුවන් ද?

මෙසේ ජය ගන්න හදපු එක උත්සාහයක් සඳහා කැලැන්ඩරයේ පෙරළියට විසඳුමක් බලන්න, වර්තමාන කැලැන්ඩරයට අලූත් කැලැන්ඩරයක් මීලගට...

Post a Comment

0 Comments