HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දවසක් අහිමි කර ගෙන එහි සතුට බුක්තිවිඳින රාජ්‍ය දෙකක් - පැය 24ක් අනාගතයට පැන්න පිම්මක්

අද දෙසැම්බර් 31 වැනිදා, සෙනසුරාදා. ඊයේ 2011 දෙසැම්බර් 30 වැනිදා, සිකුරාදා. ඊයේ සිකුරාදා දවස අත ඇරලා කෙළින් ම බ‍්‍රහස්පතින්දා දිනයෙන් සෙනසුරාදා දිනයට පා තැබූ රටවල් දෙකක් ගැන අපූරු කතාවක් කියන්නයි, මේ හදන්නෙ. ඒ තමයි, දකුණු පැසිෆික් සාගරයේ පිහිටි සැමෝහා සහ ටෙකැලෝ කියන කුඩා දූපත් රාජ්‍ය දෙක. (මේ නම්වල නිවැරදි උච්චාරණය කේම්බි‍්‍රජ් විශ්වකෝෂයේ දක්වා ඇත්තේ මෙහෙමයි)

සැමෝහා දූපතේ වැසියන් 2011 දෙසැම්බර් 29 වැනි බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාති‍්‍ර 12ට එරට අගනුවර වූ අපියා නගරයේ ප‍්‍රධාන ඔරලෝසු කනුව ළඟට එක් රොක්වුණේ මේ වෙනස් වීම උත්සවාකාරයෙන් සමරන්නයි. එහි ඔරලෝසුවේ කටු කරවා පැය 24ක් ඉදිරියට ගෙන යාමේ සතුටුදායක මොහොත ගැන සඳහන් කරමින් සැමෝහා අග‍්‍රාමාත්‍යවරයා වූ ටුයිලේපා සයිලේලේ මලේලේගොයි මහතා නවසීලන්ත ගුවන් විදුලියෙන් කතා කරමින් කීවේ ”මින් ඉදිරියට නවසිලන්තයෙන් හෝ ඔස්ටේ‍්‍රලියාවෙන් කිසියම් කටයුත්තකට සඳුදා කියා සිතා කතා කරන කෙනෙකුට අපට එදා ඉරිදා නිවාඩු දවසක් බව කියන්න වෙන්නේ නැහැ. අපේ ජනගහනයෙන් වැඩි කොටසක් ජීවත්වන ඒ දෙරටේත් අපේ රටේත් දින දැන් එක සමානයි” කියායි. මෙය වසර 119ක් තිස්සේ එරට ව්‍යාපාරික ප‍්‍රජාව කළ ඉල්ලීමක ප‍්‍රතිඵලයක්.


මෙම සුවිශේෂ අවස්ථාව වෙනුවෙන් ගිනිකෙළි සංදර්ශන හා රටපුරා දේවස්ථානවල දේවමෙහෙයන් පැවැත්වුණා. ඒ අවස්ථාවේ අගනුවර ප‍්‍රධාන ඔරලෝසු කනුව වටා යමින් සිය රථවාහනවල නළා හඬවමින් රියැදුරන් ද මේ පී‍්‍රතිමත් මොහොතට එක්වුණා.

මොකක්ද මේ සිදු වුණේ? මෙතෙක් කලක් ජාත්‍යන්තර දින රේඛාව වැටී තිබුණු පැත්තෙන් අනෙක් පැත්තට ගෙන යාමයි, සැමෝහා වැසියන් අතින් සිදුවුණේ. මේ නිසා ඔවුනට දවසක් අහිමි වුණා. ඒත් සියලූ දෙනාට ම නැති වූ දිනයට නියමිත වේතනය ඒ අයුරින් ම ලැබෙනවා. ඒ වගේ ම එරට බැංකු ඒ නැති වූ දිනයට පොලී අය නොකරන්නත් නැහැ.

තවත් අපූරු දෙයක් තියෙනවා. ඒ මුහුදේ ම ඇති ඇමරිකානු සැමෝහා වැසියන් මේ වෙනසට හසු නොවන නිසා (ඔවුන්ගේ දින ඇත්තේ පැරණි ආකාරයට වන නිසා) දෙපැත්තේ ම වැසියන්ට තවත් අලූත් අත්දැකීමකට මුහුණ දෙන්න පුලූවන්. එක රටක උපන්දිනය සමරා පැයක් ඇතුළත බෝට්ටුවෙන් අනික් රටට ගොස් තවත් අලූත් දවසක දෙවැනි වරටත් උපන්දිනය සමරන්න පුළුවන්. මෙච්චර කලක් තිස්සේ අවුරුද්දේ අවසාන ඉර බහින දවස නරඹන්න මේ සැමෝහාවලට එන සංචාරකයන්ට නම් ඒ අවස්ථාව අහිමි වෙනවා.

සැමෝහා දූපතේ තමයි ලෝකප‍්‍රකට ඉංගිරිසි නවකතාකරු රොබට් ලූවී ස්ටීවන්සන්ගේ සිරුර මිහිදන් කර තියෙන්නේ. ඔහු සිය ජීවිතයේ අවසාන කාලය ගත කරන්නට තෝරා ගෙන තිබුණේ මේ දූපතයි. තවත් අපූරු දෙයක් තියෙනවා, මේ දූපතේ පච්චවලට ලිංග බේදයක් තියෙනවා. මෙහි පිරිමින් පච්ච කොටන්නේ සිරුරේ දණහිසේ සිට ඉළ ඇට දක්වා වන කොටසේ වන අතර ගැහැනුන්ගේ පච්ච කෙටීම දණහිසට මඳක් පහළ සිට කලවයේ ඉහළ කොටස දක්වා පමණක් සිදු කෙරෙයි. ඔවුන්ගේ ප‍්‍රධාන ආහාර වියළි පොල් (කොප්පරා), කොකෝ ඇට හා ‘බනානා’ ගණයට වැටෙන කෙසෙල් වර්ගයයි.

සැමෝහා රාජ්‍යයේ තතු කෙටියෙන්
සැමෝහා Samoa රාජ්‍යය කලින් හැඳින්වුණේ බටහිර සැමෝහා කියලයි. 1997 දී එය ‘ස්වාධීන සැමෝහා රාජ්‍යය’ The Independent State of Samoa යනුවෙන් නම වෙනස් කර ගත්තා. 1995 සංගණන ඇස්තමේන්තුවලට අනුව එහි ජනගහනය 193,000ක්. නිරිතදිග පැසිෆික් සාගරයේ පිහිටි මෙම රාජ්‍යයෙහි විශාලත්වය ව.කී.මී. 2842ක්.(ව.සැ.1600ක්). නවසීලන්තයේ  ඕක්ලන්ඞ්වල සිට ඊසානදිගින් කි.මී. 2600ක් (සැ.1600ක්) පමණ දුරිනුයි පිහිටා තියෙන්නෙ. එහි ජනාවාස වූ දූපත් හතරක් තියෙනවා. ඒවා නම් උපෝලි, සවායී, අපොලිමා හා මනෝනෝ. එරට අගනුවර අපියා යි. ප‍්‍රධාන වශයෙන් වාසය කරන්නේ පොලිනීසියානු ජාතිකයන්. ප‍්‍රධාන ආගම කි‍්‍රස්තියානි. නිල භාෂා වන්නේ සැමෝහන් හා ඉංගිරිසියි. භාවිත මුදල් ඒකකය ටාලා (ඒක්) හා සෙනේ. සෙනෙ 100ක් තමා ටාලා එකක් වෙන්නේ. මේ දූපත් රාජ්‍යයට අයත් සවායී දූපතෙහි වියැකී ගිය ගිනි කන්දක් (යමහලක්) තියෙනවා. ඝර්මකලාපීය දේශගුණයක් ඇති රාජ්‍යයක් වීම නිසා මෙහි සාරවත් පසෙහි වෘක්ෂලතාදිය හොඳින් වැඩෙනවා. ලොකු සංචාරක ආකර්ෂණයක් තියෙනවා. 1722 දී ලන්දේසින් එහි පැමිණියා. 1899 දී මේ දූපත් කලාපය ජර්මනියත් ඇමරිකාවත් අතර දෙකට බෙදනු ලැබුවා. එක් කොටසක පාලනය ජර්මනියට පැවරුණා. එය බටහිර සැමෝහාව ලෙස හැඳින්වුණේ එයයි. ටුටුයිලා ඇතුළු ඒ අසල පිහිටි අනෙක් කුඩා දූපත් සියල්ල ඇමරිකාවට නතුවුණු අතර ඒවා හැඳින්වුණේ ඇමරිකන් සැමෝහා කියලයි. එක්සත් ජාතීන් ලෙස බිහිවීමට පෙර එය ජාතීන්ගේ ලීගය යනුවෙන් පැවති වකවානුවේ දී එම ලීගය 1919 දී මේ දූපත්වල භාරකාරත්වය හා වගකීම නවසීලන්ත රජයට පැවරුවා. 1947 දී එක්සත් ජාතීන්ගේ භාරකාරත්වය ඇති ප‍්‍රදේශයක් ලෙස මෙහි පාලන වගකීම යළිත් නවසීලන්තයටම පැවරුණා. 1962 දී එය නිදහස් රාජ්‍යයක් බවට ගත් වුණා. අගමැතිවරයකුගේ නායකත්වය යටතේ පාර්ලිමේන්තුවක් පිහිටවනු ලැබුවා.

ව්‍යාපාරික හා සමාජියික යන දෙඅංශයෙන් ම මේ වෙනස ඉතා වාසිදායකයි, කියලයි, සැමෝහා පාලකයන් කියන්නේ. ඒ නිසා ම ඒ අසලම පිහිටි නවසීලන්තයට ආසන්න අනෙක් කුඩා දූපත් රාජ්‍යයක් වූ ටොකැලෝ ද මේ වෙනස කරන්න එක් වුණා.

ටොකැලෝ රාජ්‍යය ගැන කෙටියෙන්
ටොකැලෝ Tokelau කලින් යුනියන් දූපත් ලෙස හැඳින්වූ මෙහි කුඩා දූපත් (අතෙලූ) තුනක් ඇති අතර 2011 ගණනය කිරීම්වලට අනුව ජනගහනය 1411කි. නවසීලන්තයේ සිට කි.මී. 3500 (සැ.2200)ක් දුරින් දකුණු පැසිපික් රාජ්‍යයක් වන මෙහි වැඩි ජනාවාස ඇත්තේ නුකුනෝනු දිවයිනේයි. නිල භාෂා වන්නේ ටොකැලෝවානු බස හා ඉංගිරිසිය. එහි වැසියන් වැඩිදෙනා නවසීලන්තයෙන් හා බටහිර සැමෝහාවෙන් පැමිණි අයයි. භාවිත කරන්නේ නවසීලන්ත මුදල් ඒකකයි. 1887 බි‍්‍රතාන්‍යයේ රැකවරණ යටතට පත් එය 1916 දී යටත් විජිතයක් වුණා. 1925 දී නවසීලන්තයේ සහය ඇතිව පරිපාලන කටයුතු කරන වෙනම රාජ්‍යයක් බවට පත් වුණා. ප‍්‍රධාන වගාව පොල් වන ප‍්‍රධාන ආදායම් මාර්ග වන්නේ කොප්පරා, මුද්දර හා සමරු කාසි හා අත්කම්ය.

Source: DailyMail

Post a Comment

1 Comments

  1. NZ inna apita Samoan yaaluvo godak inna nisa me lipiya aasaven kiyievva. Maoris ganath liyanna. Hari lassana sirith virith thiyanava eyalatath.

    ReplyDelete