වසර 2000කට පෙර සිදු වූ අපූර්වතම දිවි නසා ගැනීම - ක්ලියෝපැට්රා සොයා යන ගමනක් (විස්මිත සොයා ගැනීම්)


ලෝක ඉතිහාසයේ අපූර්වතම දිවි නසා ගැනීම සිදු වී වසර 2000කටත් වැඩිය. තම දේශය වූ මිසරය අත්පත් කර ගත් රෝමන්වරුනට යටත් වෙනවාට වඩා මිය යනවා යහපතැයි සිතූ ඇය අවසානයේ දී සර්පයකු ලවා දෂ්ඨ කරවාගෙන මිය යන්නට සිතුවාය. මෙම සිදුවීම, පැරණි ඉතිහාසකරුවන් විසින් යළි යළිත් විස්තර කරන ලද අවස්ථා බොහෝය. මහාකවි විලියම් ෂේක්ස්පියර් විසින් ‘සීසර් ඇන්ඞ් ක්ලියෝපැට්රා’ නාට්‍යය තුළින් එය අමරණීයත්වයට පත් කර ඇත. එය මෑතදී ‘රෝමය’ නම් වූ ටෙලි නාට්‍ය මාලාව මගින් ද විචිත‍්‍ර ලෙස නිරූපණය කෙරිණ. යුද්ධයෙන් පසු සිය වල්ලභයා වූ මාක් ඇන්ටනි පරාජය වීමත් සමග ක්ලියෝපැට්රා රැජින පොළඟකු ලවා දෂ්ට කරවා මරණයට පත් වූ බව මෙතෙක් කලක් අපි විශ්වාස කෙළෙමු. ඒත් දැන් ඒ ඉතිහාසය ගොඩ ගන්නට පුරාවිද්‍යාඥයෝ සූදානම් වී සිටිති. ඔවුහූ ක්ලියෝපැට්රා සහ මාක් ඇන්ටනි දෙදෙනා මිහිදන් කළ තැන ගවේෂණය කරන්නට ආසන්න වී සිටිති.


සමහර විට මේ ගවේෂණයත් සමග අප මෙතෙක් දැරූ මතය වෙනස් වීමට ඉඩ ඇත. ඒ ලෝකයේ වඩාත් අති විචිත‍්‍ර පුරාවිද්‍යාඥයාගේ මතයයි. ඔහු අන් කිසිවකු නොව මිසරයේ පුරාවිද්‍යා සුපී‍්‍රම් කවුන්සලයේ මහ ලේකම් වූ ආචාර්ය සාහි හවාස් (Zahi Hawass) ය. 2009 අපේ‍්‍රල් මාසයේ දී ඔහු හෙළිදරව් කළේ තමාගේ පුරාවිද්‍යා ගවේෂක කණ්ඩායම ක්ලියෝපැට්රාවන්ගේ සොහොන යැයි විශ්වාස කරන තැන ගවේෂණයට සූදානම් බවය. එම ස්ථානය පිහිටියේ ඇලෙක්සැන්ඩ‍්‍රා නගරයේ සිට කි.මී. 48ක් දුරිනි. එය හැඳින්වෙන්නේ අබුසීර් යනුවෙනි. මිසර දෙවියන් වූ ඔසයිරිස් වෙනුවෙන් ඉදි කළ දෙවොලක් ද එහි පුරාවස්තු අතර වෙයි.

මෙහි තිබී ක්ලියෝපැට්රාවන්ගේ රූපය හා අක්ෂර රැගත් කාසි ගණනාවක් හමුවිය. දෙවොලේ කැටයම් අතර පෙම්වතුන් දෙදෙනකු වැළඳ ගෙන ඉන්නා ආකාරය දැක්වෙන කැටයමක් ද තිබුණි. ඇන්තනිගේ යැයි අනුමාන කළ හැකි බෙදුණු නිකට සහිත සෙරමික් කැබැල්ලක් ද හමු විය. හවාස් එය ඇන්තනිගේ මළ සිරුර වැසූ වෙස් මුහුණ ලෙස හඳුවන්නට පෙලඹුණේය. එහි කැණීම් කළ පුරාවිද්‍යාඥයෝ තවත් ප‍්‍රභූ මළ සිරුර 10ක් පමණ එම බිමෙන් මතු කර ගන්නට සමත් වූහ. ඔවුහූ රේඩාර් යොදා ගෙන භූගත මාර්ග කීපයක් පරීක්ෂා කළහ.
‘අපට ඒ සොහොන සොයා ගත හැකි වුවහොත් එය මේ විසි එක්වන සියවසේ ලොකු ම සොයා ගැනීම වේවි’ හවාස් තමා සමග ආ ටෙලිවිෂන් කණ්ඩායමට කීවේ මහත් බලාපොරොත්තු ඇති ව ය. ඔහු එය අතිශයෝක්තියෙන් කියන්නක් යැයි කිසිවකු චෝදනා කළේ නැත. එදා, 1922 දී හොවාඞ් කාටර් ටුටන්කාමන් රජුගේ සොහොන සොයන්නට දැක්වූ උනන්දුවට සමාන උනන්දුවකින් ක්ලියෝපැට්රා රැජනගේ සොහොන සොයන්නට හවාස් කි‍්‍රයා කළේය.

ඉතිහාසයේ හා ශිෂ්ටාචාරයේ විවිධ ස්තර රැසක් මත පිහිටි, ඊජිප්තුවට(මිසරයට) සමාන තවත් රටක් ලොව අන් කවර තැනකවත් නැත. පිරමීඩවල පටන් මධ්‍යකාලීන යුදෙව් වෙළඳුන්ගේ ලිපි ලේඛන තෙක් ඉපැරණි දේ එහි ගහණය. එසේ ම රටක අතීතයට පැතුරුණු බලයක් හා ආධිපත්‍යයක් ඇති, වගකීමෙන්, අභිමානයෙන් හා උනන්දුවෙන් පිරි, හවාස්ට සමාන විද්‍යාඥයකු සිටින රටක් ලොව තවත් නැත. මිසරයේ පුරාවිද්‍යා කැණීම්වල සර්වබලධරයා ඔහුය. කැණීම් කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කරන්නේත්, කැණීම්වලදී හමුවන දේ ලොවට හඬ ගා කියන්නේත් ඔහුය. නයිල් නදියේ මේ නටබුන් අතර වඩාත් කාර්ය බහුල පුද්ගලයා ඔහුය.
මේ නයිල් ඩෙල්ටාවේ පිහිටි ඩැමීටා නගරයේ මධ්‍යම පන්තියේ පවුලක උපන් හවාස් ඇලෙක්සැන්ඩ‍්‍රා විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තේය. අනතුරුව කයිරෝ විශ්ව විද්‍යාලයෙන් ඊජිප්තුවේදය (Egyptology) හැදෑරූ ඔහු ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකාවට ගියේය. එහි පෙන්සිල්වේනියා විශ්ව විද්‍යලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබුවේය. ඒ 1987 දීය. ඇමෙරිකාවේ අධ්‍යාපනයෙන් ලද අත්දැකීම් සමඟ එරට මාධ්‍ය හඳුනා ගැනීමත් නිසා ඔහුට ලොව වෙනත් කිසිම විද්‍යාඥයකු නොලැබූ තරම් අවධානයක් ලබා ගත හැකි විය. මිසරයේ වටිනා වස්තුවලින් අනූන මේ ගීසා නිම්නයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා වී නොබෝ කලෙකින් ම, එනම් 2002 දී, මිසරයේ උපරිම පුරාවිද්‍යා කවුන්සලයේ මහ ලේකම් පදවියට පත් කරනු ලැබීය. එයින් පසු මුළු ලොව අවධානය ඔහු වෙත යොමු විය. ඔහුට ලොව පුරා විශ්ව විද්‍යාලවලින් දේශන සඳහා ඇරයුම් ලැබිණ. රූපවාහිනී සාකච්ඡාවලට යාමට සිදු විය. විවිධ පොතපතට අදහස් දැක්වීමට සිදු විය. කෙළවරක් නැතිව ලිපි ලේඛන සැපයීමට ද සිදු විය. 1990 දසකයේ අග භාගයේ සොයා ගන්නා ලද විස්මිත දේ ගැන ඔහු මහත් අභිමානයෙන් කතා කරන්නේය.

1996 දී, ගිසාහී වැඩ කරද්දී හවාස්ට බහාරියා ක්‍ෂේමභූමියේ නොසිතූ තැනක සොහොන් බිමක් හමු විය. එය කයිරෝ නගරයෙන් වයඹදිගට කි.මී. 370ක් පමණ දුරින් පිහිටි තැනකි. එය 1996 පෙර පුරාවිද්‍යාඥයන්ගේ සැලකිල්ලට ලක් නොවුණු තැනක් විය. එය බහාරියා ඔඑසිස් හී ‘රන් මමියේ නිම්නය’(Valleys of the Golden Mummy) යි.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

4 Comments

  1. පුදුම වටිනා ලිපිනේ මේ බ්ලොග් එකේ තියෙන්නෙ.... මේ තොරතුරු අපිට හොයා දෙනවට ගොඩක් ස්තුතියි

    ReplyDelete
  2. බුද්ධි, ඔබගේ අදහස් දැක්වීම අපට ධෛර්යයක්. ස්තුතියි
    පර්සි ජයමාන්න

    ReplyDelete
  3. ගොඩක් වැදගත් ලිපියක්... බෙදාගත්තාට ස්තූතියි!

    ReplyDelete