කැලැන්ඩරය උපන්නේ කොහොමද? : කැලැන්ඩරේ කතන්දරේ 1

තවත් අවුරුද්දක් ඉවරවෙලා නව අවුරුද්දක් උදා වෙනවා. හැමදාම කැලැන්ඩරය දැක්කත් කැලැන්ඩරයේ කතාව මතක් වෙන්නේ අවුරුද්දක්ට සැරයයි. මේ කැලැන්ඩරයේ කතාව කොතරම් පැරණි එකක් ද? සමහර විට ආදී මිනිසා දවල් ? වීම? එළි වීම ගැන මුලින් ම හිතන්න පටන් ගන්න ඇති. ඊළඟට ගහකොළ මුලින් මලින් ඉතිරී යන හැටි, ඉන්පසු පලතුරුවලින් බර වී යන හැටි, ඒ වගේ ම තවත් කලක් යද්දී ඒ ගස්වල කොළ හැළී දේශගුණය උණුසුම් වෙන හැටි, අත්දකින්නට ඇති. ඊළඟට ශීත කාලය එළඹි පසු ඉන් මිදෙන්නට ගල් ලෙන්වලට යන්න ඇති. තැනින් තැන යමින් දඩයමින් ජීවත් වූ මිනිසා එක තැන නැවතී වගාවට, ඒ කියන්නේ කෘෂිකර්මයට, හුරු වූ පසු කාලය ගැන වැඩිපුර උනන්දු වෙන්න ඇති. ඒ නිසා මිනිසා දින දර්ශනය, එනම් කැලැන්ඩරය, ගැන හිතන්න පටන් ගන්න ඇත්තේ කාලය ගැන උනන්දුවක් දක්වන්නට පටන්  ගත්දා සිට යැයි කිව හැකියි.



සමහර විට දහවල හා රාති‍්‍රය එළඹීම සනිටුහන් කරන්නට ඔහු මුලින් ම ගසක පොත්තක කැපුමක් කරන්නට ඇති, නැත්නම් වැල් පොටකට ගැටයක් දැමීමෙන් සලකුණු කරන්නට ඇති. මෙය මුලින් ම කරන්නට ඇත්තේ දේශගුණයේ ඇති වන වෙනස්කම්, එනම් ඍතු වෙනස් වීම් තේරුම් ගැනීමට විය හැකියි. වගාවන් ඇරැඹිය යුතු කාලය තීරණය කිරීමටත්, සීත කාලයට කල් තියා සූදානම් වීමටත්, මෙසේ කාලය ගෙවන අයුරු ගැන සැලකිලිමත් වීම අවශ්‍ය යැයි එදා මිනිසා සිතන්නට ඇති. හිරු, සඳු හා තරුවල වෙනස් වීම් දෙස පරීක්ෂාවෙන් බැලූ මිනිසා ඒවායේ පිහිටීම දිවා ? ගෙවීමත් සමග වෙනස් වනු දකින්නට ඇති. එසේ ම ඔහු ගස්වැල්වල වෙනස්වීම් හා සතුන්ගේ චර්යාවන් ද නිරීක්ෂණය කරන්නට ඇති. පරිසරයේ මේ වෙනස්වීම් තේරුම් ගන්නට, කැලැන්ඩරයක් තැනීමේ අවශ්‍යතාව දැනෙන්නට ඇත්තේ මින් පසුවයි.

අප අද භාවිත කරන කැලැන්ඩරය යන වදන බිඳී ආවේ ‘කැලැන්ඬේ’ (kalendae) යන ලතින් වදනින්. ලතින් බසින් ඒ වදනෙහි අරුත ‘ගණන් තැබීමේ පොත’ යන්නයි. ඇත්තෙන් ම කැලැන්ඩරයෙන් කෙරෙන්නේ ද කාලය ගණන් තැබීමක්. කැලැන්ඩරය සඳහා අද අප සිංහලෙන් භාවිත කරන්නේ දින දර්ශනය හෙවත් දින දසුන යන්නයි.

දැනට සොයා ගෙන ඇති පරිදි ලොව පැරණිම කැලැන්ඩරය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ  බැබිලෝනියාවේ සුමේරියන්වරුන්ටයි. චන්ද්‍රයාගේ වෙනස් වීම් දෙස බලා චන්ද්‍ර මාස 12ක් ගත වීම වසරක කාලයක් ලෙස ගණනය කිරීමේ ගෞරවය හිමි වන්නේ ඔවුන්ටයි. මේ වර්ෂයත්, ඍතු වෙනස් වීම් මත සැකසුණු වර්ෂයත්, අතර වෙනසක් ඇති බව නිරීක්ෂණය කළ ඔවුන් එහි අඩුව පිරවීමට සෑම වසර හතරකට වරක් වැඩිපුර මාසයක් එක් කළා. මේ කැලැන්ඩරය තමයි, ආදි මිසර, ගී‍්‍රක හා සෙමටික් ජනයා කොපි කළේ. පසු කලෙක මිසර ජාතිකයන් ඍතු වෙනස් වීම්වලට හරියට ම ගැළපෙන කැලැන්ඩරයක් තැනීමට සමත් වුණා. මේ කාලයේ ලොව පුරා දියුණු ශිෂ්ටාචාරයන් හැම එකක ම එකිනෙකට සමාන කැලැන්ඩර භාවිතයට ගෙන තිබුණා. ඒ කැලැන්ඩර බොහොමයකට ම පදනම් වූයේ චන්ද්‍රයාගේ වෙනස් වීම් තමයි.

ඈත අතීතයේ දී විසූ දකුණු ඇමෙරිකානු ස්වදේශිකයන් වූ මායාවරුන් හා ඇස්ටෙක්වරුන් සතුව ඉතා දියුණු කැලැන්ඩර තිබුණා. මෙයින් මායාවරුන්ගේ කැලැන්ඩරය රටාවෙන් පුරාණ මැක්සිකෝවේ  හා මධ්‍යම ඇමෙරිකාවේ අනිකුත් රටවල කැලන්ඩරවලට සමාන වුණා. ඊට වසරකට දින 365කුත් ආගමික පුදපූජා වතාවත් අනුව නම් කළ දින 260කුත් තිබුණා. මේ දින 365 අවුරුද්දට දින 20 මාස 18ක් ඇතුළත් වුණා. වසර සම්පූර්ණ කරන්නට අසුබ දින 05ක් එකතු කෙරුණා. මේ කැලැන්ඩර වටය දින 18,980ක්, ඒ කියන්නෙ, අවුරුදු 52ක් නොකඩවා ගිය පසු එක් දිනක් එකතු කර නැවතත් අවුරුද්ද පටන් ගත්තා. ඇස්ටෙක් කැලැන්ඩරයත් මැක්සිකෝ නිම්නයේ අනෙක් ආදී කැලැන්ඩරවල ආභාසය ගත් නිසා මායාවරුන්ගේ කැලැන්ඩරයට සමාන වුණා.

ඉන්කාවරුන්ටත් සංකීර්ණ කැලැන්ඩරයක් තිබුණු බව කියතත් ඒ ගැන වැඩි යමක් තවමත් සොයා ගෙන නැහැ. ඉතිහාසඥයන් කියන විදියට ඉන්කා කැලැන්ඩරයට හිරු සඳු දෙදෙනාගේ ම නිරීක්ෂණ ඇතුළත් වෙනවා. ආගමික හා කෘෂිකාර්මික උත්සව පැවැත්වූ දින ඇතුළත් චන්ද්‍ර මාස 12ක් ඔවුන්ගේ කැලැන්ඩරයට එක් වී තිබුණා. ඔවුන්ගේ සතියකට දින 9ක් ඇතුළත් වුණා. සති තුනකින් තමයි මාසයක් සෑදුණේ. ඒ අනුව ඔවුන්ගේ චන්ද්‍ර මාසයට දින 27ක් ඇතුළත් වුණා. සෑම වසර 3කට වරක් එළඹෙන අවුරුද්දට මාස 13ක් එක් කළා. ඒ අනුව ඔවුන්ගේ වටයකට චන්ද්‍ර මාස 37ක් ඇතුළත් වුණා.  

පැරණි රෝමවරුන් භාවිත කළේත් හඳේ වෙනස්වීම් මත සැකසුණු කැලැන්ඩරයක් තමයි. ඒ කැලැන්ඩරයේ අවුරුද්දකට දින 355ක් තිබුණා. මාර්තු, මැයි, ජූලි හා ඔක්තෝබර් මාසවලට සමානව යෙදුන මාසවලට දින 31කුත්, පෙබරවාරි මාසයට දින 28කුත් සෙසු මාසවලට දින 29 බැගිනුත්  ඇතුළත් වුණා. සෑම වසර 4කට වරක් අතිරේක මාසයක් ද එක් කරනු ලැබුවා.

එක් අවුරුද්දකට එක් සතකු බැගින් නම් කළ කැලැන්ඩරයක් ලෝකයේ තවමත් භාවිත වෙනවා. ඒ තවත් ඉපැරණි ම කැලැන්ඩරයක්. පෙරදිග ලෝකයෙන් බිහි වූ පැරණිතම කැලැන්ඩරයක් වන මෙය අයත් වන්නේ චීන ජාතියටයි. මේ චීන කැලැන්ඩරයටත් පදක වී ඇත්තේ චන්ද්‍ර මාස ක‍්‍රමයමයි. ඊට එකක් හැර එකක් වශයෙන් දින 29 හා දින 30 ඇතුළත් මාස 12ක් අයත් වෙනවා. මේ චන්ද්‍ර වර්ෂයකට දින 364ක් අයත් වෙනවා. මේ කැලැන්ඩරය, සූර්ය කැලැන්ඩරය හා සම කරන්නට අවශ්‍ය දින එක යුදෙව් කැලැන්ඩරයේ එන ආකාරයට ඇතුළත එක් මාසයකට එකතු කෙරෙනවා. චීන කැලැන්ඩරයේ ඇති සුවිශේෂ ලක්ෂණයක් වන්නේ අවුරුදුවලට වෙන වෙන ම නම් යොදා තිබීමයි. පුරාණයේ සිට ම චීන ජාතිකයන් සතුන් 12 දෙනකුගේ නම්වලින් අවුරුද්ද හඳුන්වනවා. ඒ අවුරුදු එළඹෙන්නේ මේ අනු පිළිවෙළටයි. මීයා, ගවයා, ව්‍යාඝ‍්‍රයා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, බැටළුවා, වඳුරා, කුකුළා, බල්ලා හා ඌරා ආදී වශයෙනුයි.

දැන් ඔබට ප‍්‍රශ්නයක් ඇති කෝ සිංහල අපි පාවිච්චි කරන කැලැන්ඩරය කියලා.  අපගේ මීලග ලිපිය කියවන්න.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. කමෙන්ට් නොකලාට මේ හැම ලිපියක් ම ඉතාමත් කැමැත්තෙන් කියවනවා. ඊලග ලිපිය එනතුරු මමනම් බලාසිටින ගානට පත් වෙලයි ඉන්නෙ. තොරතුරු දැනගැනීම අතින් මම දැනට වැඩියෙන්ම ප්‍රියකරන්නෙ මේ බ්ලොග් අඩවියත් සත් සමුදුර බ්ලොග් අඩවියත් යන අඩවි දෙක.

    ReplyDelete