HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට යන නිවුන්නු - වොයේජර් 1, 2 (ගවේෂණ)


පෘථිවියෙන් නිකුත්ව වසර 30කට පමණ පසු වොයේජර් - 1 යානය දැන් ටිකෙන් ටික අපේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට ගමන් ඇරඹීමට ළඟයි. නාසා ආයතනය විසින් උඩු ගුවනට යැවුණු වැදගත් අභ්‍යවකාශ යානයක් වන එය දැනට සූර්යයාගෙන් සැතැපුම් බිලියන 11ක් දුරින් ගමන් කරනවා. එය පසුගිය හය වසර තිස්සේ ම, එනම් 2004 සිට ම, සෞරග‍්‍රහ මණ්ඩලයේ ආන්ත දාරයේ ගවේෂණ කටයුතුවල යෙදෙමින් අපට තොරතුරු එව්වා.

පසුගියදා මෙම අභ්‍යවකාශ යානය අලූත් කලාපයකට පිවිසීම ඇරඹුවා. එය හැඳින්වෙන්නේ නිසලන කලාපය කියායි. එය පිහිටා ඇත්තේ අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ආන්ත දාරයේ කෙළවරයි. සක්වළ සිට එන්නකුට අපව දිස් වෙන ආකාරය වොයේජර් 1 මගින් ප‍්‍රථම වරට අපට දැක ගන්නට ලැබෙන්නේ මේ අවස්ථාවේදියි.
වොයේජර් -1 යානයට අපේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් සම්පූර්ණයෙන්ම ඉවතට යාමට ඇත්තේ ටික දුරක් විතරයි. මිනිසා විසින් තනන ලද යානයක් අපේ අන්තරීක්ෂ අවකාශයට, එනම් අපත් තරුත් අතර ඇති අති දැවැන්ත අවකාශය වෙතට පිවිසෙන පළමු වන වතාව මෙයයි.

මෙම යානය 2020 තෙක් කි‍්‍රයා කරන්නට එහි බැටරි බලය තියෙනවා. ඊට පළමු අන්තරීක්ෂ අවකාශයේ හැකිතාක් දුරට ගොස් ගවේෂණය කර තොරතුරු අපට එවාවි. එහි සේවය අපට තවත් මාස කීපයක් හෝ වසර කීපයක් හෝ ලැබෙනු ඇති.

නාසා ආයතනයට අයත් ජෙට් ප‍්‍රචාලන රසායනාගරයේ ප‍්‍රධාන විද්‍යාඥ එඞ් ස්ටෝන් කියන්නේ මේ කාලය නිශ්චිතව කිව නොහැක්කේ මීට පෙර කිසිම අභ්‍යවකාශ යානයක් මේ තරම් දුර නොයැවූ නිසා කියලයි.
‘වොයේජර් -1 යානය නොනවත්වා යාවි’ ස්ටෝන්, සැන් ෆ්රැන්සිස්කෝවේ පැවති ඇමරිකන් භූභෞතික සංගමයේ රැස්වීමක දී මේ ගැන සඳහන් කරමින් කීවා. පසුගිය වසර කීපය තුළ දී ‘වොයේජර් -1 යානය සෞරග‍්‍රහ මණ්ඩලයේ කෙළවර සිට එහි උපකරණ භාවිත කර මෙම නව කලාපය ගවේෂණය කර තොරතුරු එව්වා.

‘මෙය අන්තරීක්ෂ කිරණවලින් පිරුණු ප‍්‍රදේශයක්. හිරුගෙන් පැයට සැතැපුම් මිලියනයක තරම් වේගයකින් එන සූර්ය සුළං මේ කලාපය එන විට විශාල ලෙස අඩු වෙනවා. පිට සක්වළින් එන අධි බලශක්ති අංශු ඒ කලාපයට ටිකෙන් ටික ගලා එන්නට පටන් ගෙන තියෙනවා. ‘වොයේජර් -1 යානය අන්තරීක්ෂ අවකාශයට පිවිසෙන්නට ආසන්නව ඇති බව මේ ලකුණුවලින් අපට පෙනෙනවා.’ ඔහු කීවා.

අවසානයේ දී ‘වොයේජර් -1 යානය මේ කඩඉම පසු කරන විට තවත් වෙනස්කම් කීපයකට මුහුණ දෙනවා. එහිදී චුම්බක ක්ෂේත‍්‍රයේ වෙනසක් හා සුළංවල ස්වභාවයේ වෙනසක් ඇති වෙනවා. මෙහිදී හමුවන අන්තරීක්ෂ සුළං, සූර්ය සුළංවලට වඩා මන්දගාමීයි, සිසිල් බවින් යුක්තයි, ඝනත්වයෙන් ද වැඩියි.
යම් යම් දේ ගැන අපේක්ෂාවෙන් සිටියත් ඉදිරියේ දී නොසිතූවීරු දේ සිදුවිය හැකි යයි කියන ස්ටෝන්, ‘ඒවා අපට අනුමානය කළ නොහැකි දේවල්. මින් පෙර අත් නුදුටු ඒවා. සමහර විට අප අන්දමන්ද වෙන්නත් පුළුවන්’ ඔහු තවදුරටත් කියනවා.


‘වොයේජර් -1 යානයේ අනෙක් නිවුන් සොහොයුරා වූ ‘වොයේජර් -2 යානය උඩුගුවනට යවන ලද්දේ 1977 දීයි. එහි මූලික කාර්යභාරය වූයේ සෞරග‍්‍රහ මණ්ඩලය හරහා ගොස් බහිර්ග‍්‍රහයන් වූ බ‍්‍රහස්පතී, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් ගැන තොරතුරු එවීමයි. එය නිමා වූ පසු ‘වොයේජර් - 1,2 යානා දෙකම විරුද්ධ දිසාවලින් සෞරග‍්‍රහමණ්ඩලය සිසාරා ගොස් ඉන් ඔබ්බට ඇදී යාමට නියමිතව තියෙනවා.

‘වොයේජර් -2 යානය, ‘වොයේජර් -1 යානයට වඩා මන්දගාමී එකක් නිසා මේ මොහොතේ යමින් සිටින්නේ අපේ සූර්යයගෙන් සැතැපුම් බිලියන නවයක් ඈතිනි. තවමත් එය සෞරග‍්‍රහ මණ්ඩලයේ කෙළවරට පැමිණ නැහැ.

Post a Comment

3 Comments

  1. thanx machan, godak wadagath toraturu tikak.

    ReplyDelete
  2. පිලිවෙලකට මුල ඉඳලා කියවගෙන එන්නෙ. පුදුම විදිහට සිත් ඇදගන්නා තොරතුරු. ස්තුතියි

    ReplyDelete