HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බීම බටයේ උපත - නළපාන : ළමා සිතට ජාතක පොතෙන්

අද මුළු ලොව පුරා ජනපි‍්‍රය බීම බටයේ සංකල්පය මුලින් ම ආවේ ද මේ නළපාන ජාතක කතාවෙනි.  නළපාන යන්නෙහි අරුත ද බීම බටයයි. බොහෝ සේ ජනපි‍්‍රය මෙම කතාව කවුරුනුත් දන්නා එකක් වුවද මෙහි දී එය කෙටියෙන් දැක්වීම අවශ්‍යයයි සිතමි.  


බුදුන් වහන්සේ විසින් මේ ජාතක කතාව දේශනා කරන ලද්දේ භික්ෂු පිරිසක් සමග කොසොල් ජනපදයෙහි චාරිකා කරමින් සිටියදීය. නළපාන ගම නළපාන පොකුණු තෙර දී ඒ අසල වැවී තිබුණු බටගස්වල දඬු ගැට නැති එ්වා බව දුටු භික්ෂූහූ බුදුන් වහන්සේගෙන් ඒ බට දඬුවල ගැට නැති වූයේ කුමක් නිසාදැයි විමසූහ. ඊට පිළිතුරු දුන් උන්වහන්සේ ‘එය මාගේ පෙර අධිෂ්ඨානයකැ’යි කියා පෙර ආත්මයක සිදු වූ මෙම අතීත කතාව දේශනා කර ඇත්තේ එම අවස්ථාවේ දීය.

ඈත අතීතයේ ඒ පෙදෙස මහ වනාන්තරයක් විය. එකල බෝසතාණන් වඳුරු රාජයකුව ඉපිද සිටියේ  වඳුරන් අසූදහසක පිරිවරක් සමගය. ඒ වඳුරු රැුලෙහි නායකයා වූ බෝසතාණෝ පිරවර වඳුරන් අමතා මෙසේ කීහ: ”මේ වනයේ නොයෙක් විෂ පලතුරු සහිත ගස් ඇත. ජලරකුසන් අරක්ගත් පොකුණු ඇත. මගෙන් නො විමසා ඉන් පෙර නොකෑ දෙයක් නො කෑ යුතුය. මට නො කියා පෙර පැන් බීම නො කළ පොකුණකින් පැන් බීම නො කළයුතු ය. හැම විට ම මෙය සිහියේ තබා ගත යුතුය.”

වනයේ ඇවිදිමින් ගිය වඳුරු රංචුවට පිපාසය ඇති විය. දිය බීමට තැනක් සොයමින් යන වඳුරන්ට පොකුණක් හමු විය. ඔවුහූ එය ඉන් පෙර දිය නො බිව් පොකුණක් බව හඳුනා ගත්හ. ඒ නිසා එහි දිය බීමට පෙර ඒ ගැන බෝසතුන්ට දැන්වූහ. බෝසතාණෝ පොකුණ පරීක්ෂා කර බැලූහ. පොකුණ දෙසට ගිය අඩි මිස පොකුණෙන් ගොඩට ආ අඩි කිසිවක් නැති බව දුටහ. ඒ අනුව එම පොකුණ ජලරකුසකු අරක්ගත් එකක් බව සැක හැර දැනගෙන ඒ බව පිරිවර වඳුරන්ට කියා, තම අවවාදය පිළිගෙන කි‍්‍රයා කළ ආකාරය ගැන ඔවුන්ට ප‍්‍රශංසා කළහ.
‘එසේ නම් අප පිපාසය නැති කර ගන්නේ කෙසේදැ’යි වඳුරෝ ඇසූහ.

ඒ අතර දියට නො බැස බලා සිටින වඳුරන් දැක තවදුරටත් ඉවසිය නො හැකි වූ ජලරකුසා දිය මතුපිටට අවුත්, ‘බලා සිටින්නේ මක්නිසාද? පොකුණට බැස පැන් බොන්නැ’යි වඳුරන්ගෙන් ඉල්ලා සිටියේ ය.
මෙහිදී බෝසතාණෝ එම ජලරකුසා අමතා මෙසේ ඇසූහ: ”නුඹ මෙම විලට අරක්ගෙන සිටින ජලරකුසා ද?”
”එසේය, මෙහි විලට දිය බොන්නට බසින සියලූ සතුන් අල්ලා ගෙන කන්නෙමි. නුඹලාටද දැන් ගැලවීමක් නැත. පිපාසය නිවා ගැනීමට නම් දියට බැසිය යුතු මය.” ජලරකුසා කීය.

”නුඹට අපව ආහාරයට ගත හැක්කේ දියට බැස්සොත් පමණය. එහෙත් අපි දියට නොබසිමු. එසේ වුවද දියත් බොමු.” කී බෝසතාණෝ වටපිට බලා ඒ අවට වැවී තිබුණු බට පඳුරු දැක ඉන් දණ්ඩක් ගෙන්වා ගෙන එහි එක් කොණකින් පිඹ ඒ මැද වූ ගැට සියල්ල ඉවත් කර එක සිදුක් ඇති නළයක් බවට පත් කළහ. මෙසේ අනෙකුත් බට ද ගෙන්වා පිඹ දුන්නේය. සියලූම වඳුරන්ට මෙසේ බට දඬු සකසා දීමට කාලය හරස් වන බව දුටු බෝසතාණෝ සිය පාරමී දම් සිහි කර සත්‍යකි‍්‍රයා කොට අවට ඇති සියලූ බට ඒක සිදුරක් ඇති ඒවා බවට පත් වේවායි අධිෂ්ඨාන කළහ. එපරිද්දෙන් සියල්ල සිදු විය. වඳුරු පිරිස ඒ බට දඬු යොදා ගෙන නායකයා අනුගමනය කරමින් බීම බට යොදා ගෙන ගොඩ බිම සිට සිත්සේ දිය උරා බිව්වාහ. ජලරකුසා පාරද විය.

- පන්සියපනස් ජාතක පොත - කතා අංක 20 නළපාන ජාතකය*

එදා ඒ වඳුරු පිරිස මෙන් වර්තමානයේ අපිද විෂ බීජ නැමැති ජලරකුසන්ට අසු නො වී බීම බටයෙන් අදත් බීම පානය කරමු.

Post a Comment

0 Comments