‘‘රජතුමනි, ඒ මොකක්දැයි අහන්නෙ නැතුව තෝරන්න පුළුවන්දැයි කියන්නෙ කොහොමද? උදහස් නොවී කවිය වදාරන්ඩ. පුළුවන් නම් තෝරනවා’’ අන්දරේ කීවේය.
‘‘එහෙනම් මෙන්න අහගන්න’’ කී රජතුමා උස් හඬින් මේ කවිය කීවේය.
දාර දෙකයි එක තැන මුල් කර තැනුවා
පාර තිහක් තැලූවට බියකුත් නැතුවා
කොන් සතරයි කනු සතරයි ගෙට ඇතුවා
තෝරාපන් ඊයේ මග දී දුටුවා
ඒ කවිය කියනවාත් සමගම අන්දරේට කලින් දවසේ රජතුමා සමග යද්දී දුටු ඉබි රාජා මතක් විය. රජතුමාට විහිලූවක් කරන්නට සිතූ අන්දරේ පිළිතුරු දුන්නේ මේ තේරවිලි කවියෙනි.
දාර දෙකක් එක ළඟ එක ගැවසීය
වටපිට යන කලට කනු සතරින් යාය
ගෙට වැඩි කලට කිසි බියකුත් නැතුවාය
මට දැනෙනා ලෙසින් මහරජ ඉබ්බාය
මිනිසුන් හතර දෙනකු ඔසවාගත් දෝලාවකින් තමන් පෙරදා ගිය ගමන රජුට සිහි විය. අන්දරේ තමන්ව ඉබ්බාට සමාන කරමින් කළ සරදම ගැන රජතුමා කිපුණේ නැත. ඒ වෙනුවට අන්දරේගේ දක්ෂකමට ප‍්‍රශංසා කරමින් තෑගි බෝග දුන්නේය.
0 Comments