HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලොව වැඩිම කලක් පැවති අගනුවර අනුරාධපුරය ද?


ශී‍්‍ර ලංකාවේ කොළඹ සිට කි.මී 200ක් (සැ. 127 1/2) දුරින් මෙරට උතුරුදිග තැනිතලාවෙහි මල්වතු ඔයබඩ පිහිටි මෙම නගරය මුහුදු මට්ටමේ සිට උස අඩි 295ක් ඉහළින් පිහිටා ඇත. 1874 සිට උතුරු මැද පළාතේ අගනුවරය. මහ නගර සභාවකින් පාලන කෙරේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 57කි. පිහිටීම: 80 24E 08 21 N ජනගහනය: (සං.2001) 56,632. මෙම නගරය ශුද්ධ නගරය හා නව නගරය යනුවෙන් කොටස් දෙකකින් යුක්තය. පුරාවස්තු හා බෞද්ධ සිද්ධස්ථාන, වෙහෙර විහාර ඇත්තේ ශුද්ධ (පැරණි) නගරයේයි. ලෝකයේ දීර්ඝ ඉතිහාසයක් ඇති එමෙන් ම ඉමහත්  පෞරාණික වටිනාකමක් ඇති එම භූමිය ආරක්ෂා කර ගනු පිණිස නිවාස, විදුහල්, වෙළෙඳපොළ, අන්‍යාගමික ගොඩනැගිලි ආදිය මල්වතුඔයේ නැගෙනහිර ඉවුරෙහි ඉදි කළ නව නගරයට ගෙන යනු ලැබීය.

කි‍්‍ර. පූ. 4 වැනි සියවසෙහි පටන් කි‍්‍ර. ව. 11 තෙක් අවුරුදු 1500ක පමණ කාලයක් ලංකාවේ ප‍්‍රධාන රාජධානිය වූයේ අනුරාධපුරයයි. ලෝකයේ අඛණ්ඩව වැඩිම කලක් රාජධානියක් ලෙස පැවති මෙය මෙරට ඓතිහාසික නගර අතරින් වැදගත් ම තැනක් උසුලයි. පළමුවන වරට ලංකාවේ බුදු සසුන පිහිටුවන ලද්දේ අනුරාධපුරයේ වීමත්, ලොව පැරණිතම වෘක්ෂය ලෙස ලිඛිත ඉතිහාසයක් ඇති ශී‍්‍ර මහා බෝධීන්වහන්සේ වැඩ හිඳීමත් නිසා දිවයිනේ ප‍්‍රධාන පූජනීය නගරය ලෙස ද සැලකේ. ලෝක ප‍්‍රකට සමාධි බුදු පිළිමය ඇතුළු, සඳකඩපහන, මුරගල් ඇතුළු ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ නිසා ජගත් කීර්තියට පත් වී ඇත. අනුරාධපුරය රාජධානිය කර ගත් රජුන් විසින් කරවන ලද සිද්ධස්ථාන අතුරින් අභයගිරිය, ජේතවනාරාමය, ඉසුරුමුණිය, රුවන්වැලිසෑය, ථූපාරාමය, මිරිසවැටිය, ලංකාරාමය, ලෝවාමහාපාය, වෙස්සගිරිය ආදී තැන් ඉපැරණි සිංහලයාගේ ශී‍්‍රවිභූතිය විදහා පායි.

මහාවංසයට අනුව මේ නමින් ගමක් මේ ස්ථානයෙහි ඉදි කරන ලද්දේ විජය කුමරු සමඟ පැමිණි අනුගාමිකයකු වූ පළමු වන අනුරාධ නම් ඇමතිවරයා විසිනි. පසු ව පඬුවස්දෙව් රජමෙහෙසිය වූ භද්දකච්චානා බිසවුන්ගේ සොහොයුරකු වූ අනුරාධ කුමරු මෙහි වැවක් හා මාළිගයක් ඉදිකොට වාසය කළ බවත්, පණ්ඩුකාභය කුමරු මහ මයිලන් වූ අභය කුමරු හැර සෙසු මයිලන් නසා ලංකාරාජ්‍යය අත්පත් කර ගෙන අනුරාධ නගරයට ආපසු අනුරාධ කුමරු සිය මාළිගය රජුට පැවරූ බවත් පණ්ඩුකාභය රජු අනුරාධපුරය රාජධානිය කර ගෙන එහි සිට රට කරවූ බවත් මහාවංසයෙහි සඳහන් වේ.

(පර්සි ජයමාන්නගේ ‘ළමා යොවුන් විශ්වකෝෂයේ 1 කාණ්ඩයෙනි.)

Post a Comment

0 Comments