අන්දරේගේ ගොන්කමක්

අන්දරේ පැරණි සිංහල රජ දවස විසූ රජ වාසල කවටයාය. ඔහු රජුගේ අණ පරිදි නිතරම රජවාසලට ගොස් රජු පිනවීමට නොයෙක් දෑ කීවේය. කවටකම් කිරීමට රජ වාසලට නොගිය දවසක අන්දරේ මහනුවර සිට ගම්මැද්දෙන් වෙනත් ගමනක් යමින් සිටියේය.

මෙසේ ගම්මැද්දෙන් යමින් සිටිය දී අන්දරේට මිනිසුන් දෙදෙනකු හමු විය. ඔවුන් දෙදෙනා තවලමක් දක්කා ගෙන පුත්තලමේ සිට මහනුවරට ලූනු ගෙනා වෙළඳ පිරිසට අයත් අය වූහ. ඔවුන්ගේ තවලමට අයත් හරකකු නැති වූ බව කියමින් විපරම් කරමින් ගිය මේ වෙළඳුන් දෙදෙනා අතරමගදී හමුවූ අයට ඒ බව කීහ. ඒ අසා සිටි අන්දරේ එක්වරම ඔවුන් ඉදිරියට ගොස් මෙසේ ඇසුවේය.

”ඔහෙලාගේ ගොනකු නැති වුණා නේද?”

”අනේ, ආයිබොවන්, ඌ දැක්කාද?” වෙළඳුන් දෙන්නාම එකවර ඇසූහ.

”උගේ කකුලක් කොර ගහනවාද?” අන්දරේ ඇසීය.

ඊට උත්තර නොදී අන්දරේ තවත් ප‍්‍රශ්නයක් ඇසීය. ”උගේ එක ඇසක් අන්ධයි නේද?”

”එහෙමයි, ඌ ඉන්නේ කොහේද?” වෙළෙන්දෝ මහත් උනන්දුවෙන් ඇසූහ.

අන්දරේ ඊටත් උත්තර නොදී ඔවුන්ගෙන් තවත් ප‍්‍රශ්නයක් ඇසුවේය. ”ඒ ගොනාගේ ඉස්සරහ දතක් වැටිලා නේද?”

”ඔව්, ඔව්, ඒ තමා අපේ ගොනා. අනේ අපට අපේ ගොනා දෙන්න” වෙළෙන්දෝ අන්දරේගෙන් ඉල්ලා සිටියහ.

”ඔය කියන ගොනා මං කොහොම දෙන්නද? මම ඌ ඇහින්වත් දැක්කේ නෑ.” කී අන්දරේ යන්නට ආ ගමන ගියේය. වෙළෙන්දන් අන්දරේ පසුපස යමින් ඇවිටිලි කළත් පලක් නොවීය.

අන්දරේ ගොනා සඟවා ගෙන ඇතැයි සිකූ වෙළෙන්දෝ ඒ බව රජුට පැමිණිලි කළහ. රජ්ජුරුවෝ අන්දරේ ගෙන්වා ලූනු වෙළෙන්දන්ගේ ගොනා ආපසු දෙන ලෙස නියම කළහ.

”දේවයන් වහන්ස, මම ඔය කියන ගොනා මම මගේ මේ ඇස් දෙකෙන්වත් දැක්කේ නෑ.” අන්දරේ රජුට කීවේය.
”එසේ නම් අන්දරේ, ඔය කියන ගොනාගේ හැඩ රුව දැන ගත්තේ කොහොමද?” රජතුමා ඇසීය.

”දේවයන් වහන්ස, මං ගං ඉවුරේ ඇවිද ගෙන යද්දී, ගොනකුගේ අඩි සටහනක් දැක්කා. ඒ අඩි එක්ක මිනිස් අඩි නොතිබුණු නිසා ඌ අයාලේ ගිය එකකු බව දැන ගත්තා. ඒ අඩිවලින් එකක් හරියට බිම වැදී නොතිබුණු නිසා ඌ කකුලක් කොර ගහන සතකු බව දැන ගත්තා.” අන්දරේ කීය.

”එතකොට ඒ ගොනාගෙ දතක් වැටිලා කිව්වෙ කොහොමද?” රජතුමා ඇසීය.

”දේවයන්වහන්ස, ඌ ගිය පාරෙ අයිනෙ තිබුණු තණ කොළ හරියට කඩා ගෙන කාල තිබුණෙ නෑ. ඒකෙන් තමයි මං දැනගත්තෙ දතක් වැටිල බව, ඒ මිසක් මම ඒ ගොනා ඇස් දෙකෙන් දැක්කෙ නෑ” අන්දරේ පිළිතුරු දුන්නේය.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

2 Comments

  1. මේක අන්දරේගෙ ගොංකමකට වඩා නුවණක්කාර කමක් නේද?

    ReplyDelete
  2. අන්දරේගේ ‘ගොන්කමක්’ කියා අපට සිරස්තලයට දැම්මේ විරුද්ධාර්ථය මතුවන්නටය. ඔබ එය තේරුම් ගැනීම ගැන ස්තුතියි. - පර්සි

    ReplyDelete