HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බලවන්තයා : සූෆි උපමා කතා

හමුදාවක එක් ජනරාල්වරයෙක් තම කණ්ඩායමෙන් වෙන් ව වල්මත් වී රට හරහා යන්නේ එක් කුඩා ගමකට ආවේය. ඔහු යායුතු මග සොයා ගත නොහැකිව සිටියද තම තත්වය අමතක කර සිටියේ නැත.

ගැමියෝ ඔහු වටා රොක් වූහ. ඔහු අණ දුන්නේය. තම අශ්වයාට ආහාර දෙන්නැයි ඔහු ගැමියන්ට අණ දුන්නේය. ඔවුන් ඒ අණ පිළිපැද්දේ නැත. අශ්වයා සඳහා ස්තාලයක් පිළියෙල කරන්නැයිද තමාට ජලය හා පොරෝණා සපයන්නැයිද ඔහු නියෝග කළේය. ඒත් කිසිවෙක් ඔහු කී දේ කරන්නට ඉදිරිපත් නොවූහ.

‘නුඹලා මේ මොහොතේ ම මගේ අණ පිළිපැද්දේ නැති නම් මම නුඹලාට දැඩි දඬුවම් පමණුවනවා’ ජනරාල්වරයා රැුස්ව සිටි පිරිසට තර්ජනය කරමින් මොර දුන්නේය.

ගැමිනායකයා මෙහිදී ඉදිරියට ආවේය. ‘‘මට පෙනෙන්නෙ නෑ ඔහේ එච්චර බලවන්තයෙක් කියල. ඉතින් ඔහේ කොහොමද ඒ වගේ දෙයක් අපට කරන්නෙ’’ ඔහු ජනරාල්වරයාගෙන් ඇසීය.

ජනරාල්වරයා එයින් වඩාත් කෝපාවිෂ්ට විය. ‘‘මං තමුසෙලට මොකුත් කරනව නෙමෙයි, මං අණ දෙනවා’’ ඔහු දැඩි ස්වරයෙන් කීවේය.

‘‘අණ දෙනව කිව්වේ මොකක්ද?’’ ගැමිනායකයා ඇසීය.

‘‘මං කියනව කර්නල්ට, කර්නල් කියනව මේජර්ට, මේජර් කියනවා කපිතන්ට, කපිතන්
කියනවා ලූතිනන්ට, ලූතිනන් කියනව සාජන්ට්ට,   සාජන්ට් අරන් එනව භට පිරිසක්. ඇවිත් නුඹලාව බිත්තියක් ඉස්සරහින් පෙළ ගස්සලා වෙඩි තියල මරලා දානව එක පාරින්ම. තේරුණාද?’’ ජනරාල්වරයා ගුගුලේය.

දැන් තමයි ඔහේ කියන දේ අපට තේරුණේ. ඔය සාර්ජන්ට් කියන කෙනා නම් ඇත්තෙන්ට ම බලවත් අයෙක් වෙන්න  ඕනෑ. තාමත් අපි දැක්කෙ ඔහෙව විතරයි. අප සාර්ජන්ට්ව මුල ඉඳල ම මුණ ගැහුනා නම් මේ තරම් කරදර වෙන්නෙ නෑ නෙ.’’ ගැමිනායකයා කීවේය.

(පර්සි ජයමාන්නගේ ‘සූෆි උපමා කතා’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 1990. ISBN 955-95353-0-7)

Post a Comment

0 Comments