HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔහුයි රජකාලේ විහිළු කෙරූ අන්දරේ

අන්දරේ ශී‍්‍ර ලංකාවේ රජකම් කළ රාජාධිරාජසිංහ රජුගේ (රාජ්‍ය කාලය: 1779-1797) රජවාසල කවටයාය. උස් මිටිකම්, තරාතිරම් නො බලා හැමදෙනකුට ම කවටකමින් සංග‍්‍රහ කිරීමට සමත්කම් දැක්වූ සිංහලයෙකි. මාතර දික්වැල්ලේ උපන් අයකු ලෙස සැලකෙන අන්දරේ මිය ගිය තැන පසු කාලයක ඉදි කළ ස්මාරකයක් ද තිබේ. අන්දරේ උපතින් ලත් කවීත්වයක් හා මුඛරිකමක් ඇත්තෙකි. ඒ කාලේ හැටියට සෑහෙන උගත්කමක් ඇති ව සිටි අන්දරේගේ පියා ඔහුට උගන්වන්නට උත්සහ කළ ද ඉන් පලක් නො වීය. එහෙත් ඔහු උපහාසයෙන් හා බුද්ධියෙන් උගතුන් පවා පරදවනසුලූ විය. ඔහු හිටිවන ම කළ කවි නිර්මාණ ද උගතකුට පවා කළ නො හැකි තරම් ප‍්‍රශස්ථ විය. පොතපත ඉගෙනීම නො කළ අන්දරේ මෝඩයෙකැ යි සිතා නොයෙක්  අයුරින් ඔහුට විහිළු කර විනෝද වන්නට තැත් කළ අයට ඔහු පෙරළා දුන් පිළිතුරුවල ගැබ් වූ උපහාසය කෙතරම් සියුම් වීද යත් ඉන් පහර කෑ අයටත් නො සිතූ පරිදි රසයක් ලබා දුන්නේ ය. ඒ නිසා ම ඔහු එකල රටපුරා බෙහෙවින් ජනපි‍්‍රය පුද්ගලයක් විය. කවටකම් කිරීමට ඔහු සතු දස්කම් පිළිබඳ කතා ඇසූ රජු ඔහු ගෙන්වා රජවාසල කවටයා ලෙස පත් කර ගත්තේය.
 
ඔහු පිළිබඳ ව කියවෙන කවි හා කතා රාශියක් තිබේ. එක් කතාවක් මෙසේය:

විනෝදකාමී රසවතකු වූ රජතුමා දිනක් අන්දරේට තේරවිල්ලක් කවියෙන් කීවේය.
    දාර දෙකක් එක පිට එක කර      තැනුවා
    පාර තිහක් තැළුවට බියකුත්        නැතුවා
    කොන් සතරයි කනු සතරයි ගෙට   ඇතුවා
    තෝරාපන් ඊයේ මඟ දී              දුටුවා

අන්දරේ ඒ ඇසූ සණෙකින් දුන් පිළිතුර මෙසේය:
    දාර දෙකක් එක ළඟ එක        ගැවසීය
    පාර තිහක් තැලූවට බියකුත්       නැතිය
    වට පිට යන කලට කනු සතරින්     යාය
    මට දැනෙනා ලෙසින් මහ රජ     ඉබ්බාය
 
අන්දරේ ඒ කවිය ඔස්සේ තමන්ව ද ඉබ්බකුට සමාන කළ බව තේරුම් ගත් රජතුමා ඔහුගේ දක්ෂකම ගැන ප‍්‍රශංසා කළේය. (ළමා හා යොවුන් විශ්වකෝෂය - Percy Jayamanna)

 අමතර : අන්දරේ මිහිදන් කල ස්ථානය මෙතනින් බලන්න පුලුවන්.

Post a Comment

0 Comments