HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වනදිවියට දිවි කැප කළ ජෝයි ඇඩම්සන් : විශිෂ්ට චරිත


ජෝයි ඇඩම්සන් ලෝකයේ කාන්තාවන් අතර කැපී පෙනෙන විශිෂ්ට චරිතයක්. ඇය ලොව පුරා බොහෝ දෙනා අඳුනන්නේ සතුන් පිළිබඳ අනුවේදනීය තුන් ඈඳුතු කෘතියක් කළ සුප‍්‍රකට ලේඛිකාවක් ලෙසයි. එහෙත් ඇය ඊටත් එහා ගිය චරිතයක්. ඇය වන ජීවී විද්‍යාඥවරියක්. වන සතුන් වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සුවිශේෂ කාන්තාවක්.

ෆෙඞ්රික් වික්ටෝරියා ඇඩම්ස් ලෙස 1910 වසරේ ජනවාරි 20 වැනිදා ඔස්ටි‍්‍රයාවේ ට්‍රෝපෝ ප‍්‍රදේශයේ සිලෙසියා නගරයේ (වත්මන් චෙක් ජනරජයේ) දී උපන් ඇය ලෝක ප‍්‍රකට වූයේ අපි‍්‍රකාව නිසා ඇය ලත් නව චරිතය හේතුවෙනි. ඇගේ ජීවිතය මේ නව මගට හැරුණේ තෙවැනි වරට සිදුවූ විවාහයෙන් පසුවයි. එවර ඇගේ සැමියා වූයේ බි‍්‍රතාන්‍ය වන ජීවී නිලධාරියකු වූ ජෝර්ජ් ඇඩම්සන්ය. එතැන් පටන් ජෝයි ඇඩම්සන් වූ ඇය ඔහුත් සමඟ අපි‍්‍රකාවට ගියාය. ඔවුන් පදිංචියට තෝරාගත්තේ කෙන්යාවයි. සිය සැමියා වනෝද්‍යාන භාරකරුවකු වූ නිසා ඇයට ඔහුගේ කටයුතුවලට හවුල් වීමට සිදු විය. එතැන් පටන් ඇය කෙන්යාවේ ජීවත් වෙමින් මියයනතෙක්ම අප‍්‍රිකාවේ වන සතුන්ට ආදරේ කරමින් ඔවුන්ගේ දුක සැප සොයා බලමින් ඔවුන් වෙනුවෙන් කි‍්‍රයාකාරී වූවාය.


එදා අද මෙන්ම අදත්, තවත් අවුරුදු ගණනාවකට අමතක නොවන පොතක් ඇය අතින් පළ වූයේ මේ කාලයේ දීය. ඇය ලොවපුරා ආදරේ දිනා ගත්තේ ඒ පොත නිසයි. මේ පොත තමයි 1960 වසරේ පළ කළ ‘බෝන් ෆී‍්‍ර’ නවකතාව. මෙය ලොව පුරා භාෂා රැසකට පරිවර්තනය වී තිබේ. මෙය ‘උපන්නේ නිදැල්ලේ’ නමින් ජයන්ත විමලසේන ශූරීන් අතින් සිංහලට පරිවර්තනය වී තිබේ. මේ පොතට පාදක වී ඇත්තේ හරිම අපූරු සත්‍ය කතාවකි. පොතේ ප‍්‍රධාන චරිතය එල්සා නම් සිංහ ධේනුවයි. මෙය ජෝයි ඇඩම්සන් අපි‍්‍රකාවේ වනගතව ගෙවූ ජීවිතයේ දී ලත් අපූරු අත්දැකීමකි. එල්සා සිංහ ධේනුව ජෝයි සහ ඔහුගේ සැමියා ජෝර්ජ්ට හමුවන්නේ කුඩා පැටවකු අවදියේදීයි. එල්සා ලොකු මහත්කර ඇයව වනයට මුදා හරින තෙක්ම එයාව බලා කියා ගත්තේ ඇඩම්සන් යුවළයි. ‘බෝන් ෆී‍්‍ර’ නවකතාවට පාදක වන්නේ ඒ සිංහ ධේනුවගේ කතාවයි.


වනයට මුදා හැරියාට පස්සේ ජෝයි ඇගේ ආදරණීය සිංහ ධේනුව අමතක කළේ නැහැ. නිතරම ඇය බලන්නට ගියාය. එල්සා වනයේ ගත කළ ජීවිතය එල්සාගේ පැටවුන් තමයි, ජෝයිගේ මීළඟ නවකතා දෙකට පාදක වුණේ. ඒ නවකතා තමයි ‘ලිවිං ෆී‍්‍ර’ (දිවිසැරිය නිදැල්ලේ) සහ ෆෝ එවර් ෆී‍්‍ර (සඳහටම නිදැල්ලේ). මේ තුන්ඈඳුතු කෘතිය ඇසුරින් චිත‍්‍රපට තුනක් සහ රූපවාහිනී මාලා නාටක පෙළක් නිර්මාණය කෙරුණා පමණක් නොව ඒවා අතිශයින්ම ජනප‍්‍රිය වුණා. වෘත්තාන්ත චිත‍්‍රපට පෙළක් වුණත් ඒවා වනජීවී විද්‍යාත්මක අධ්‍යයනයන් ලෙස ලොකු වටිනාකමක් ඇති ඒවා ලෙස, විචාරකයන්ගේ පිළි ගැනීමට ලක් වී තිබේ. කෙන්යාවේ වන සතුන් හා ජන ජීවිතය අලලා ජෝයි ඇඩම්සන් විසින් තවත් පොත්පත් රැසක්ම ඇගේ ජීවිත කාලය පුරා පළ කර තිබේ.

සැමියාගේ අභාවයෙන් පසුත් ඇය එහි රැඳෙමින් වනසතුන් ආරක්ෂා කිරීමට පොත්පත් ලීවා පමණක් නොව ඇය ඒ සඳහා වනගතව ජීවත් වෙමින් අසරණ වන සතුන් අනවසර දඩයම්කරුවන්ගෙන් බේරා ගැනීමට ලොකු සටනක් කළාය. කුරිරු දඩයක්කාරයන්ට එරෙහිව නැඟී සිටි ඇය කිහිප වතාවක් ම අසරණ සතුන් ගණනාවකගේ ජීවිත බේරා ගත්තාය. ඒත් අවාසනාවකට සතුන්ට ආදරේ කළ ජෝයි ඇඩම්සන් 1980 වසරේ ජනවාරි තුන් වැනිදා කෙන්යාවේ ෂාබා වන රක්ෂිතයේදී අනවසර දඩයක්කරුවන් පිරිසක් එල්ල කළ වෙඩි පහරකින් මියගියාය. ජෝයි ඇඩම්සන් මියගියත් ඇගේ ඒ විශිෂ්ට චරිතය ඇය පළ කළ බෝන් ෆී‍්‍ර නවකතා ති‍්‍රත්වය ඔස්සේ අමරණීයත්වය පත්ව තිබේ.

Post a Comment

2 Comments

  1. එළ කථාවක් නේ. මොකද්ද දන්නේ නැ නේ අර චිත්‍රපටි හා අනේක රැපවාහිනි වැඩ සටහන්. එයත් පළකර තිබුනාම් තවත් වටිනවා. ස්තුතියි මේ ගැන කිව්වාට.

    ReplyDelete
  2. @ Anonymous : ස්තුතියි. චිත්‍රපටි හා රැපවාහිනි වැඩ සටහන් විස්තර පහතින් බලන්න

    http://www.imdb.com/title/tt0070972/
    http://www.imdb.com/title/tt0060182/

    ReplyDelete