HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අන්දරේ සහ රන් කැවුම් පූජාව

අන්දරේ වාසය කල ප්‍රදේශයේම එක් ධනවත් මහලු වෙළෙන්දෙක් විය. දිනක් මේ මහලු වෙළෙන්දාට මාරාන්තික රෝගයක් සෑදිණි. දිනෙන් දින දුර්වල වූ මොහු මිය යන බව තේරුම් ගත් වෙළෙන්දාගේ පුතා සිය පියා අවසන් කාලය පුරා හැකිතරම් සතුටින් තැබීමට පියවර ගත්තේය. කල්ගත විය රෝගය උත්සන්න වී වෙළෙන්දා මරණාසන්න විය. මේ මරණාසන්න මොහොතේ ඔහුට කැවුම් කෑමේ බලවත් ආසාවක් පහළ විය. මෙය දැනගත් පුතා සිය ගෙදර කැවුම් පිසීමට ගියොත් පමා වන නිසා අසල ගෙදරකින් කැවුම් සොයාගෙන එන ලෙස දන්වා සේවකයෙකු පිටත් කළේය. නමුත් අවාසනාවකට මෙන් කැවුම් ගෙන ඒමට පෙර මහලු වෙළෙන්දා මරුමුවට පත් විය. පියාගේ අභාවයටත් වඩා වෙළඳ පුත්‍රයා දැඩි ලෙස ශෝකයට පත් වූයේ පියාගේ අන්තිම කැමැත්ත ඉ‍ටු කිරීමට නොහැකි වීම ගැනයි.


එම අභාවයෙන් තුන් මසකට පසු වෙළඳ පුත්‍රයා දානය දීම සඳහා හාමුදුරුවරුන්ට ආරාධනා කිරීමට පන්සලට ගියේය. ඔහු ඒ වන විටත් සිතමින් සිටියේ පියාගේ අන්තිම කැමැත්ත ගැන වූ අතර ඒ ගැන නරක සිහින පවා පෙනෙමින් ඔහුට තිබුණි. අවසානයේදී හෙතෙම එම ගැටලුව පන්සලේ නායක හාමුදුරුවන්ට පැවසුවේය. මේ කදිම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ හාමුදුරුවෝ මඳක් කල්පනා කලහ. ඉක්බිති උන්වහන්සේ වෙළෙඳ පුත්‍රයාට පැවසූවේ පියා කැවුම් ගැන දැඩි ආසාවෙන් මිය ගිය හෙයින් ඔහු දුගතියක ඉපදී ඇති බවයි. ඒ නිසා දානය සඳහා වඩින හාමුදුරුවරුන්ට රන් කැවුම් පූජා කර ඒ පින් පියාට අනුමෝදන් කරන ලෙස උන්වහනේ වැඩිදුරටත් වදාළේය.

දැඩි ශෝකයෙන් සිටි වෙළඳ පුත්‍රයා ඊට වහාම එකඟ විය. සිය වරදින් වූ දෙය සේසතම වියදම් කර හෝ නිවැරදි කර සිය පියා සුගතියට යැවීම ඔහුගේ අරමුණ විය. නියමිත පරිදි 3න් මස පිංකම අවසානයේ දානය වේලාවේ වෙළඳ පුතා පිරිකර වශයෙන් වැඩි සෑම හිමිනමකටම රන් කැවුම බැගින් පූජා කලේය. මේ සිදුවීම ගැන ආරංචිය හැම තැනම පැතිර ගිය අතර බොහෝ පිරිස් මෙහි වරද දු‍ටුවත් එයට එරෙහිව කිසිවක් නොපවසා නිහඬ විය.

අන්දරේටද මෙම සිදුවීම සැල විය. එම පන්සලටම ගිය ඔහු නායක හිමියන් හමු විය. සිය පියා මියගොස් දැනට අවුරුද්දක් වන බැවින් ඒ සඳහා කරන දානමය පිංකමට වඩින ලෙස ඔහු නායක හාමුදුරුවන්ට වැඳ ආරාධනා කර සිටියේය. උන්වහන්සේ එය සතුටින් පිළිගත්තේ රජ වාසල නිතර යන එන අන්දරේ වැනි ධනවත් පුද්ගලයෙකුගෙන් ලැබෙන පිරිකර අනිවාර්යයෙන්ම වටිනා දෑ වන බැවිණි. ඒ අනුව නියමිත දින උන්වහන්සේ පෙර රන් කැවුම් ලබා ගත් හාමුදුරුවරු පිරිස සමඟ දානයට වැඩියහ.උන්වහන්සේලාට ගිලන් පස පිළිගැන්වීමෙන් පසු අන්දරේ නායක හිමියන් අමතා මෙසේ පැවසීය.

"අවසර අපෙ හාමුදුරුවනේ, ඔබ වහන්සේ අහවල් වෙළෙන්දාගෙ දානය වෙලාවෙ වදාලා නේද කෙනෙක් දැඩි ආසාවකින් මැරුනොත් දුගතියෙ උපදින බව?"

"ඔව් උපාසක උන්නැහේ ඒක එහෙම තමයි"

" ඒ වගේම හාමුදුරුවනේ ඔබ වහන්සේ කියූ විදියට ඒ මියගිය තැනැත්තා ආසාවෙන් හිටි දේ සංඝරත්නයට පූජා කලාම ඒ තැනැත්තා සුගතියට පත් වන වෙනවා නේද? ඒ නිසානෙ ඒ ගෙදර පුතා රත්තරන් කැවුම් පූජා කලේ"


"ඔව්...."

" ඒත් හාමුදුරුවනේ මට ඒ වගේ වටිනා දෙයක් පූජා කරන්න තරම් වත්කමක් නෑ. මම බොහොම දුප්පත් තැනැත්තෙක්. අපේ තාත්ත අන්තරා වුනේ වාත අමාරුවකින්. කරපු කිසි දෙයක් වැඩක් වුනේ නෑ. අන්තිමට තාත්තා වේදනාව ඉවස ගන්න බැරුව මට කිව්වා අඟුරු අල්ලන යකඩ කොක්කක් රත් කරලා එයාගෙ මහපට ඇඟිල්ල පුච්චන්න කියලා. අනේ ඒ වෙලාවෙ අපේ ගෙදර අඟුරු අල්ලන කොක්කක් තිබුණේ නෑ. මම අල්ලපු ගෙදරට කෙනෙක් යැව්වා. ඒත් කොක්ක ගේනකොට තාත්තා අන්තරා වුනා."

"ඉතින් උපාසක උන්නැහෙ?"

"මට එදා ඉඳන් අපේ තාත්තා හීනෙන් පේනවා. බොහොම දුකෙන් මා දිහා බලන් ඉන්නවා. මම දන්නවා අන්තිම ආසාව ඉ‍ටු නොවුණ හින්දා තාත්තා දුගතියක ඉපදිලා ඇති ඔබ වහන්සේ දේශනා කරපු විදියට මම දැන් තාත්තාගෙ අන්තිම කැමැත්ත ඉ‍ටු කරන්න යන්නෙ..." මෙසේ පැවසූ අන්දරේ කුස්සියට ගොස් නැවත ආවේ ගිනියම් වූ යකඩ අඟුරු කොක්කක් අතින් ‍රැගෙනය.

“තරහ අවසර අපෙ හාමුදුරුවනේ අපේ තාත්තා ගැන අනුකම්පා කරලා මේකෙන් ඔබ වහන්සේලාගේ කකුලක මහපටැඟිල්ල පුච්චන්න ඉඩ දෙන්න"

මෙයින් හාමුදුරුවරු පිරිස බියට මෙන්ම විමතියට පත් වුහ. එක් මහලු හිමිනමක් කතා කර මේ විහිළුව නවතා හිරිහැර නොකර අපට යන්න දෙන ලෙස ඉල්ලා සිටියේය. රුදුරු වෙසක් මවා ගත් අන්දරේ වහා දොරකඩට දිව ගොස් කිසිවෙකුටත් පිටවීමට නොහැකි වන ලෙස සිටගත්තේය.

"මම අපායෙ ගියත් කමක් නෑ! අපේ තාත්තා දුගතියේ ඉන්නවා මට බලන් ඉන්න බෑ. අද අපේ තාත්තාගෙ කැමැත්ත ඉටු කරලා මිසක් ඔබ වහන්සේලාට යන්න දෙන්නෙ නම් නෑ! කරුණාකරලා මගේ පූජාව පිළිගන්න"

එතන මහත් කලබැගෑනියක් ඇති විය. අවසානයේ අසල්වැසියන්ගේ මැදිහත් වීමෙන් හාමුදුරුවරු පිරිසට කරදරයක් නොවී පන්සලට යාමට අවස්ථාව ලැබුණි. නමුත් ඒ වෙනුවෙන් කලින් පිරිකර ලෙස පිළිගත් රන් කැවුම් සියල්ල අන්දරේට ලබා දෙන බවට පොරොන්දු වීමට උන්වහන්සේලාට සිදුවිය.

මෙම සිදුවීමෙන් අන්දරේ ගැන දැඩි ලෙස වෛර බැඳ ගත් හාමුදුරුවරු පිරිස පසුව රජු හමුවට ගොස් අන්දරේ තමන් වහන්සේලාට හිරිහැර කිරීමට සැරසී බිය ගන්වා සාංඝික වස්තුවක් වූ රන් කැවුම් බලෙන් ලබා ගත් බව පැමිණිලි කලහ. රජතුමා වහාම හේවායන් යවා අන්දරේ ගෙන්වා ගෙන නඩුව ඇසීමට සූදානම් විය.

"අන්දරේ තා විසින් මේ සඟරුවනට කරන ලද අවමානය හා හිරිහැරය මෙන්ම සාංඝික දේපළ බලයෙන් ලබා ගැනීම ගැන කීමට ඇති දේ කුමක්ද?" රජතුමා විමසීය.

" දේවයන් වහන්ස, මම වරද පිළිගනිමි. යම් කෙනෙක් මරණාසන්න් වේලාවේ දැඩි ආශාවකින් මිය ගියොත් දුගතියේ උපදින බවත්, එම තැනැත්තා දුගතියෙන් මුදවා ගැනීමට නම් ඒ අශා කල දේ සංඝයාට පූජා කල යුතු බවත් මුන් වහන්සේලා අහවල් වෙළෙඳාගේ දාන ගෙදරදී වදාළා. ඒ අනුව ඒ ගෙදර පුතා මුන් වහන්සේලාට රන් කැවුම බැගින් පූජා කලා" යනුවෙන් පැවසූ අන්දරේ තමන් සතුව පැවති රන් කැවුම් අධිකරණයට පෙන්වූයේය.

"ඉතින් දේවයන් වහන්ස මගේ පියා මීට අවුරුද්දකට කලින් මිය ගියේ වාත රෝගයකින්. එතුමා අවසන් මොහොතේ ඉල්ලුවා රත් කරපු යකඩ කොක්කකින් කකුලේ මහපැඟිල්ල පුළුස්සන ලෙස. මට ඒ ඉල්ලීම ඉ‍ටු කරන්න බැරි වුණා. මගේ පියා මළේ ඒ දැඩි ආශාවෙන්. ඉතින් ඒ නිසා මෙතුමන්ලා දේශනා කළ ධර්මය අනුව දුගතියේ උපන් මගේ පියා සුගතියට පත් කරන්නයි මා මේ ස්වාමීන් වහන්සේලාගෙ මහපටැඟිලි පුච්චන්න හැදුවේ"

රජතුමාට කරුණු අවබෝධ විය. අන්දරේ පැහැරගත් රන් කැවුම් යළි හාමුදුරුවරුන්ට පිළිගන්වන ලෙස නියෝග කල රජතුමා මින් මතු බුදු දහම තමන්ගේ වාසියට වෙනස් නොකළ යුතු යැයි දැඩි සේ අවවාද කර යළි පන්සලට වඩින ලෙස හාමුදුරුවරුන්ට අවසර දුන්නේය.

(විමල් ගමගේ මහතාගේ "අන්දරේ" කෘතිය ඇසුරෙණි.)

Post a Comment

0 Comments