HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විෂ පෙවූ ඊ තලය : බොදු උපමා කතා

දිනක් හුදෙකලා විවේකීව සිටි මාලූංකපුත්ත නම් භික්ෂු නමට මෙබඳු සිතක් පහළ වී ඇත. ලෝකය ශාස්වත ද? ලෝකය අශාස්වත ද? ලෝකය ආත්මවත් ද? ජීවිතයත් ශරීරයත් දෙකක් ද? එකක් ද? මේ ආදී දෘෂ්ටි සංකල්පනා ජාලයක පැටළුණ උන්වහන්සේ මේ පිළිබඳව විස්තරයක් අසා ගැනීමේ අදහසින් බුදුරජාණන් වහන්සේ කරා එළඹ ඒ දෘෂ්ටි පිළිබඳ විමසා ඒවාට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදුනහොත් සිවුරු හැර ගිහි ගෙට යන බව දන්වා සිටියේය.

”මාලූංකපුත්ත, මම ඔබට කවදා හෝ කීවෙමි ද? ‘එව මාලූංකපුත්ත. මම ඔබට මේ ප‍්‍රශ්නවලට පිළිතුරු කියමි, මා ළඟ පැවිදි වන්න’ කියා.”

”නැත, ස්වාමීනි.”

”ඔබ කවදා හෝ සිතුවෙහි ද පැවිදි වන්නට පෙර මා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැවිදි වුවහොත් මේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙනු ඇතිය කියා?”

”නැත, ස්වාමිනි.”
මෙබඳු මනස අවුල් වන ප‍්‍රශ්නවල එල්ලී සිටීම තමන්ට හෝ අනුන්ට හෝ කිසිදු ප‍්‍රයෝජනයක් නැති බව පැහැදිලි කිරීමට මාලූංකපුත්ත භික්ෂු නමට බුදුරජාණන් වහන්සේ මේ උපමාව විස්තර කළ සේක.

”හොඳින් විෂ කවන ලද ඊ තලයකින් විදිනු ලැබ විෂ ශරීරගත වූ මිනිසෙක් සිටියි. ඔහුගේ නෑහිතවත්තු ශල්‍ය වෛද්‍යවරයකු කැඳවා ගෙන එති. ඔහු එම වෛද්‍යවරයාට මෙසේ කියයි:

”මේ ඊ තලය විද්දේ ක්ෂති‍්‍රය ආදී කවර ජාතිකයකු විසින් දැයි දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

”මේ ඊතලය කවර නම් ගොත් ඇත්තු විසින් විදින ලද්දක දැයි දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

”මේ ඊතලය විද්ද තැනැත්තා උස අයකු ද මධ්‍යම ප‍්‍රමාණයේ අයකුද මිටි අයකුද කියා දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

”මේ ඊතලය විද්දේ කළු අයකු ද සුදු අයකු ද කියා දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

”මේ ඊතලය කවර ගමකින් ආවකු විසින් දැයි දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

”මේ ඊතලය විදිනු ලැබුවේ චාප නම් දුන්නකින් ද කෝචණ්ඩ නම් දුන්නකින් ද කියා දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

”මේ ආදී ප‍්‍රශ්න අසමින් සිටියි. එහෙත් එම විෂ කැවූ ඊය වැදුණු තැනැත්තා ඒ විස්තර කිසිවක් නොදනියි. එහෙයින් ඔහු ශරීර ගත වූ ඒ ඊතලයේ විෂ හේතුවෙන් මරණයට පත් වන්නේය. ”

මෙසේ ම මාලූංකපුත්ත ඔබ ද ලෝකය ශාස්වත ද සත්වයා මරණින් මතු වේ ද නො වේ ද ආදී ප‍්‍රශ්න අසන විට ඒවාට විසඳීම් නැතිව සිටිය දී තථාගතයාණන් වහන්සේ විසින් අව්‍යාකෘත හෙවත් විසඳීම් නො සෙවිය යුතු යැයි පැත්තක බහා තිබූ එම ප‍්‍රශ්න ගැනම සිතන යමකු කිසි දිනෙක මරණයට පත් වුවහොත්, ඔහුගේ පැවදි ජීවිතය අසාර්ථකම වන්නේය. ලෝකය ශාස්වත ද ආදී ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබුණහොත් කිසිදු පැවිද්දකුගේ (බ‍්‍රහ්මචරිය වාසය) පැවිද්ද සාර්ථක වන්නේ ද නැත.එසේ වන විට මෙම භවයේදීම විසඳීම් ඇති ප‍්‍රශ්න වන ඉපදීම මරණය සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී සියල්ලම පවතී. මේ නිසා චතුරාර්ය සත්‍යාවබෝධයෙන් නිවන් ලැබීම ගැටලූ විසඳීමට වඩා සුදුසු පිළිවෙතය.” (මජ්ජිම නිකාය - චුල්ලමාලූංකෝවාද සූත‍්‍රය)

වර්තමානයේ ඉතා වැදගත් කොට සලකන අධ්‍යාපන අංගයක් ලෙස සැලකෙන ළමයින්ට ජීවන කුසලතා හැඳින්වීම පිණිස යොදා ගත හැකි කථාවක් නළපාන ජාතකයට ඇතුළත් වෙයි. අනතුරක් හෝ ගැටලූවක් කල් තියා හඳුනා ගැනීම, ඊට විසඳුමක් සොයා ගැනීම, විසඳුම කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය මෙවලම් තනා ගැනීම, අනතුරෙන් හෝ ගැටලූවෙන් මිදීමට උපා යෙදීම, එම ගැටලූවෙන් මිදීම පමණක් නොව නායකත්වය, නායකත්වයේ වගකීම, නායකත්වයට ගරු කිරීම වැනි පාඩම් ද ඒ සරල කථාවෙහි ඇතුළත් බව විමසිල්ලෙන් බලන විට පෙනී යයි.  

Post a Comment

2 Comments

  1. Kathawa mehi athulath kereema itha watinawa. Mr Percy Jayamanna Kossinne neda ?

    ReplyDelete
  2. @ Anonymous: ස්තුතියි. නළපාන ජාතක කතාව මෙතනින් බලන්න.
    http://www.malkakulu.com/2011/11/blog-post_966.html

    ReplyDelete