HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බසක හැටි

උදෑසන අපට ඇසෙන කුරුලූ ගීත වනාහි ඒ පක්ෂියා අන්‍යයන්ට තම බල ප‍්‍රදේශය කුමක්දැයි කියා පාමින් ගොදුරු ලබා ගැනීම පිණිස අන්‍යයන් එහි ඒම වළක්වන පණිවුඩ බැව් කියනු ලැබේ. මනුෂ්‍යයකුට නම් එම පණිවුඩය විවිධාකාරයෙන් දීමට හැකියාව ඇත.

    ‘වෙන අය මේ පළාතට එනවට මං කැමති නෑ.’
    ‘මේක මගේ පළාත. එන්න එපා කවුරුවත්.’
    ‘දැනගනිල්ලා, මේක මට අයිති පළාතයි.’
    ‘මං ගොදුරු සොයන පළාත මේකයි.’
    ‘මේක වෙන කාටවත් අයිති නෑ.’
    ‘එන්න එහෙම නෑ කවුරුවත් මේ පළාතට’

ඉහතින් දැක්වුණේ එබඳු ප‍්‍රකාශනයක් කළ හැකි ආකාර කීපයක් පමණි. ඒ අයුරින් අන්‍යයන් තම බල ප‍්‍රදේශයට’ ඒම වැලැක්වීමට මනුෂ්‍ය භාෂාවන්ගෙන් විවිධ ප‍්‍රකාශන නිර්මාණය කළ හැකි වුවත් සත්ව භාෂාවලින් ඒ කාර්යය සඳහා නිරන්තරව යෙදෙන්නේ එක ම ශබ්ද විලාසයක් පමණි. ඒ එම සත්වයා ජන්මයෙන් උරුම කර ගත් ප‍්‍රකාශනයයි. එම සත්වයා විසින් යථෝක්ත අරුත දැන්වීම එක් ප‍්‍රකාශනයකට සීමා වී තිබේ. ඔහු දන්නේත් ඔහු අතින් මුළු ජීවිත කාලය තුළ ම ඒ සඳහා ප‍්‍රකාශ වනු ඇත්තේත් එම ප‍්‍රකාශනය ම පමණි.

සත්වයන්ගේ භාෂා ශක්‍යතාව මනුෂ්‍යයන්ගේ භාෂා ශක්‍යතාවෙන් වෙනස් වන තවත් ලක්ෂණයක් නම් මනුෂ්‍ය භාෂාවෙහි විවධත්වය යි. ලෝකයේ කොතැනක සිටියත් බල්ලන් බුරන්නේ එකම බසකිනි. බළලූන්, අන්‍ය සත්වයන්, පක්ෂීන් ආදීන් ද එසේ ම ය. එහෙත් මනුෂ්‍ය භාෂාවන්හි තත්ත්වය එසේ නොවේ. අද දින ලෝකයේ භාෂා පන්දහසක් පමණ ඇතැයි සැලකේ. එක් භාෂාවක ඇති ශබ්ද, ව්‍යාකරණය, වචනකෝෂය ආදිය අන්‍ය භාෂාවකින් ඉඳුරා ම වෙනස් වන හෙයින් මේ මනුෂ්‍ය භාෂා අන්‍යෝයන්‍ය අවබෝධයෙන් තොර ය. (මහාචාර්ය කේ එන්.  ඕ. ධර්මදාස, සංස්කෘතික පුස්තික මාලා - 3, ද්විභාෂකත්වය)

Post a Comment

0 Comments