එකමත් එක රටක ගෙයක් තිබුණේය. ඒ ගෙය අසලින් මතු වූ ලතාවක් (වැලක්) ගෙයි බිත්තිය දිගේ ඉහළට නඟින්නට විය.
වසර කීපයක් ගත විය. ඒ ලතාව මුළු ගෙය ම වසා ගෙන වැඩුණේය. ගෙයක් ඇති බව පමණක් පෙනෙන පරිදි වට රේඛාවක් පමණක් එහි විය. මුළු ගෙය ම නිල්ලෙන් වැසී ගියේය. පිටතින් බලන්නකුට ඒ තුළ ගෙයක් ඇති බව වටහා ගත හැකි වූයේ එහි හැඩයෙන් පමණි.
ඒ ගෙය තුළට යාම හෝ ඉන් පිටතට පැමිණීම හෝ එන්න එන්නම අසීරු වන්නට විය. ලතාවෙහි පැතිරීම එන්න එන්නම වැඩි විය. නිවැසියෝ ලතාවෙහි අතු-ඉති ඈත් මෑත් කරමින් ඉතා අමාරුවෙන් ජීවත් වූහ. එහෙත් ලතාව නොකඩවා වැඩෙමින් ඔවුනට එහි ජීවත් වීම තව තවත් අසීරු කරවීය. තවදුරටත් එහි රැුඳිය නොහැකි වූ තැන නිවැසියෝ එය අතහැර ගියහ. ලතාව නොනැවතී වැඩුණේය. අන්තිමේ දී එහි වට රේඛාව ද වෙනස් විය. එහි ගෙයක් ඇති බව පිටතට නොපෙනුණේය.
තවත් කාලයක් ගත විය. ගෙය මුළුමනින් ගරා වැටුණේය. එය ලතාවකින් වසා ගත් පස් ගොඩක් පමණක් විය. ඉඳහිට එය දෙස බලන අයෙක් එහි ඇත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව අන්දමන්ද වෙති. එහෙත් ඒ ගැන තැකීමක් ද වැඩි දෙනකු තුළ නොවීය.
ලතාව පමණක් ඒ ගැන මහත් සේ කම්පාවට පත් විය. ඒ ගැන අකම්පහළ වූ ලතාව මෙසේ කීය:
‘‘කොතරම් අකෘතඥ මන්දිරයක් ද. මං කොච්චර කාලයක් අල්ලා ගෙන හිටියාද? වසර ගානක් ම වැටෙන්නට නොදී බදා ගෙන හිටියා. ඒත් ඒක විහින් ම කඩා වැටුණා, මගේ උත්සාහයවත්
ගණනකට නොගෙන.’’ කී ලතාව තවදුරටත් අවට ප‍්‍රදේශය පුරා පැතිර යන්නට විය.
(පර්සි ජයමාන්නගේ ‘
සූෆි උපමා කතා’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 1990. ISBN 955-95353-0-7)
0 Comments