”මම ද ආරම්භ කළ වීර්යය ඇතිව, බොහෝ කාලයක් භාවනා කරන, භාග්‍යවතුන් වහන්සේ හා පැවිදි වූ භික්ෂු නමක්. එහෙත් කොපමණ වීර්ය කළත් මාගේ සිතෙන් කෙලෙස් පහවි යාමක් නොවීය. මාගේ නිවසෙහි ප‍්‍රමාණවත් ධනය ද තිබේ. ඒ ධනය යොදවා පින් කිරීමට හැකිය. එහෙයින් සිවුරෙන් ඉවත් වී නැවත ගිහිගෙටම යමි.”
ඉහත සඳහන් වන්නේ රජගහ නුවර සීත වනයෙහි භාවනා කරමින් සිටි සෝණ නම් භික්ෂු නමකට එම වනයෙහි හුදෙකලාව සිටිය දී පහළ වූ සිතිවිල්ලකි. උන්වහන්සේට එම සිතිවිල්ල පහළ වී සුළු වේලාවකින් බුදුරජාණන් වහන්සේ එහි වැඩි සේක. සෝණ තෙර වහාම අසුනක් පැන වූ අතර බුදුරජාණන් වහන්සේ එහි වැඩ සිටි පසු එම භික්ෂු නම උන්වහන්සේට වැඳ පසෙක හිඳ ගත්තේය. බුදුරජාණන් වහන්සේ මෙසේ විමසූ සේක.
”සෝණ, ඔබට මෙබඳු සිතිවිල්ලක් (ඉහත සඳහන්) පහළ වුණා නේද?”
”එසේ ය භාග්‍යවතුන් වහන්ස.”
”සෝණ, ඔබ ගිහි කාලයෙහි වීණා වාදනයෙහි දක්ෂයෙක් නේ ද?”
”එසේය ස්වාමීනි.”
”ඔබ එකල වීණාව වාදනය කරන විට එම වීණාවේ තත් ඉතාමත් තද කොට තිබේ නම් එයින් ඔබ කැමති ආකාරයේ නාදයක් පිට වේද?”
”නැත ස්වාමිනි.”
”එම වීණාවෙහි තත් ඉතා බුරුල් කළහොත් සුදුසු වීණා නාදයක් නැෙඟයි ද?”
නැත ස්වාමීනී.
”හොඳයි, ඔබේ වීණාවෙහි තත් ඉතා තද කොටත්, ඉතා බුරුල් කොටත් නැතිව වාදනයට අවශ්‍ය ප‍්‍රමාණයට සකස් කොට තිබුණොත් එයින් ඔබට අවශ්‍ය ආකාරයේ නාදයක් නැෙඟනවා නේද?”
”එසේය ස්වාමීනි.”
”සෝණ මෙසේම භාවනාවෙහි දී ද අවශ්‍ය ප‍්‍රමාණයට වඩා වීර්යය කිරීම නිසා සිතේ විසිර යාම වෙයි. වීර්යය ඉතා අඩු කිරීම නිසා සිත කම්මැලි බවට යයි. මේ නිසා ඔබේ භාවනා වීර්යය මධ්‍යම ප‍්‍රමාණයට හසුරුවා තබා ගන්න. ශ‍්‍රද්ධාදී ඉන්ද්‍රියයන් වර්ධනය කර ගන්න.”
”එසේය ස්වාමීනී.” සෝණ තෙර පිළිගත්තේය.
ඒ අවවාදයෙහි පිහිටි සෝණ තෙරණුවෝ නොබෝ කලකින් ම රහත් වූහ. (අංගුත්තර නිකාය - සෝණ සූත‍්‍රය)
1 Comments
publish many more letters about buddhisam.
ReplyDelete