බුදුරජාණන් වහන්සේ බුදුවන්නට පෙර සිදුහත් කුමරුව සිටියදී යශෝධරා දේවිය ලත් පුත් කුමරා වූ රාහුල පසුව බුදුරජාණන් වහන්සේ විසින් පැවිදි බිමට ඇතුළත් කර ගනු ලැබීය. ඒ කුඩා රාහුල හිමියන් අරභයා කය, වචනය හා චර්යාවන් හසුරුවා ගත යුතු ආකාරය ගැන කරුණු පැහැදිලි කිරීමක් ඇතුළත් වූ අපූරු උපමා කතාවක් තිබේ. ඒ මෙසේය.
ජල බඳුනේ හා කැඩපතේ උපමාව
රාහුල සාමණේරයන් වහන්සේ අම්බලට්ඨිකාවෙහි වැඩ වසන දිනෙක බුදුරාජාණන් වහන්සේ එම සාමණේරයන් දැකීමට වැඩියහ. බුදුරජාණන් වහන්සේ දුර දීම දුටු රාහුල සාමණේරයන් බුදුරජාණන් වහන්සේට වැඩ සිටීමට අසුනක් පනවා පා සෝදා ගැනීමට කුඩා ජල බඳුනක් ද තැබීය. බුදුරජාණන් වහන්සේ බඳුනෙහි ජල ස්වල්පයක් ඉතිරි වන සේ පා සෝදා එම ජල බඳුන පෙන්නා රාහුල සාමණේරයන් වහන්සේගෙන් මෙසේ විමසූ සේක.
”රාහුල මේ බඳුනෙහි තිබෙන වතුර ස්වල්පය පෙනෙනවාද?”
”එසේය බුදුරජාණන් වහන්ස.”
”රාහුල යම් ශ‍්‍රමණයෙක් දැන දැන බොරු කියන්නේ නම් ඔහුගේ පැවිද්ද මේ බඳුනෙහි ඉතිරි ජලය මෙන් ස්වල්ප වෙයි.”
අනතුරුව බුදුරජාණන් වහන්සේ බඳුනෙහි ඉතිරි ජලය ස්වල්පය ද ඉවත ලා මෙසේ ඇසූ සේක.
”රාහුල, මේ බඳුනෙහි දැන් ජලය ඉතිරි ව තිබේ ද?”
”නැත ස්වාමීනි.”
”රාහුල යම් පැවිද්දෙක් දැන දැන බොරු කියන්නේ නම් ඔහුගේ පැවිද්ද මෙම හිස් බඳුන මෙන් අවසානයේ දී මුළුමනින් හිස් වේ. ඒ නිසා රාහුල අනුන් සිනා ගැන්වීම සඳහා විහිළුවටවත් බොරු නො කිව යුතු ලෙස හික්මිය යුතුය. දැන දැන බොරු කියන්නාට නො කළ හැකි පවක් නැත්තේය.”
”රාහුල, කැඩපතක් ඇත්තේ කවර ප‍්‍රයෝජනයක් සඳහා ද?”
”මුහුණ පරීක්ෂා කිරීම සඳහායි.”
”රාහුල කැඩපතින් බලා අඩුපාඩු සකස් කර ගන්නා සේ සියලූ අවස්ථාවල දීම කයින් වචනයෙන්, සිතෙන් කි‍්‍රයා කරන විට කිරීම, කීම, සිතීම ගැන හොඳ අවධානයකින් සිටිය යුතුය.”
රාහුලෝවාද සූත‍්‍රයෙහි එන මේ උපමාව සඳහා යොදා ගෙන ඇත්තේ අදත් අප ඉදිරියේ ඇති කැඩපතය. අද අප බොහෝ දෙනෙකු කරන්නේ කැඩපතින් බලා අපේ අඩුපාඩු ‘වසා’ ගැනීමය. එසේ කරනවා වෙනුවට කැඩපතින් අප දෙස බලා මොහොතක් කල්පනා කොට අපේ ඇති අඩුපාඩුකම් ගැන සිතා ඒවා ‘නැති’ කර ගන්නට කඩපත යොදා ගන්නා ලෙස උපමා කොට දක්වා ඇත.
එසේ ම අද සමාජයේ ඉවසීම නැතිකම නිසා එදිනෙදා ජීවිතයේ දී නොයෙක් පාඩු කර ගන්නා අය එමටය. ඉවසීම කෙතරම් වැදගත් ද? ඉවසීමේ සීමාව කොතැන ද? මේ බෞද්ධ උපමා කථාවක එය දකින අයුරුය.
0 Comments