HOT

5/recent/ticker-posts

promo-container

අපට එදා මොන්ටිසෝරියේ දී ඉගැන්වූ ගී සින්දු

Twinkle Twinkle Little Star යන ගීය

වසර 79කට පෙර අතීතයේ ලද මොන්ටිසෝරි අත්දැකීම පසුගියදා ඔබට කීවා. අද කියන්න යන්නේ එහි තවත් දිගුවක්. එදා මොන්ටිසෝරිය යන වදනට සිංහල අරුත් දෙන වදන් කීපයක් එක්වුණා. පෙර පාසල, ළදරු පාසල, පූර්ව ළමා විය සංවර්ධනය, නර්සරිය ඉන් කීපයක්. නර්සරිය (Nursery) යන්න ඉංග්‍රීසි වදනින් තනා ගත්තක්. ඉංග්‍රීසියෙන් නර්සරි කියන්නේ පැළ තවානයි. බීජ පැළ කර සාදා ගන්නා තැන තවානයි. මහා වගාවක දී ශාකවල මුල් අවදිය මේ තවානයි. එය ළමයින් සඳහා යොදා ගැනීමේදී නර්සරිය යන්න ඊට වඩාත් උචිතය. එයින් සෑදුණු තවත් වදනක් තියෙනවා. ඒ නර්සරි රයිම්ස් (Nursery Rymes) යන්න ඉන් සාදාගත් තවත් වදනක්. ළදරු ගීත, කුමර ගී, ළමා ගීත ඊට යොදන පර්යාය වචනයි. 

මොන්ටිසෝරියේ දී අපට වැඩිපුර ඉගැන්වූයේ මේ නර්සරි රයිම්ස් ගණයට අයත් ඉංග්‍රීසි කවි ය. එයින් කිහිපයක් මෙසේය: Twinkle Twinkle Little Star, Mary Had A Little Lamb, Baa Baa Black Sheep, Hickory Dickory Doc, Old MacDonald Had a Farm, Rain Rain Go Away, Johnny Johnny Yes papa, Humpty Dumpty Sat On a Wall, London Bridge is Falling Down. Jack and Jill Went up the Hill. 

කිහිපයක් හැරෙන්නට මේ බොහෝ ළදරු ගීත නිර්මාණය කළ අය අඥාතයි. Twinkle Twinkle Little Star යන ගීය ජේන් ටේලර් කවි පන්තියක්. 1806 දී ඇය සිය සොහොයුරිය වූ ඈන් සමග එක්ව පළ කළ ළදරු ගී පොතක එන්නක්. ඊට කවි 5ක් ඇතුළත්. මුල් කවිය විතරයි ලොව පුරා ප්‍රචාරය වෙලා තියෙන්නේ. Mary Had A Little Lamb යන ගීය සාරා ජෝශප් හේට් ලියූ පොතකින් උපුටා ගත්තක්. ඒකටත් කවි 5ක් ඇතුළත්. මේ ඉංග්‍රීසි ගී අපට ඉගැන්නුවේ ඉංග්‍රීසි අකුරු හඳුන්වා දීමටත් පෙරයි. අපට ඒවා කියන්න භාෂා ගැටලුවක් මතු වුණේ නැහැ. ඒ වදන් ශබ්ද හැටියටයි අපි හඳුනා ගත්තේ. මේ ගී රිද්මයකට අත් පා චලනය කරමින් ගයන්නට අපට පුරුදු කළා. සමහර ගී පියානෝව වටේ ඉඳගෙන ගායනය කළ අතර අක්කා කෙනකු පියානෝව වාදන කරමින් අප සමග ගායනය කළා. 

සමහර ගී දෙදෙනකුගේ දෙබසක් හැටියට ගායනය කළා. එදා මේවා ඉගෙන ගත්තේ රිද්මයට මුල් තැන දෙමින්, සිතින් රූප මවා ගනිමින්. ඒත් අද ඒවා චලනය වන රූප සහිත කෙටි වීඩියෝ ලෙස අසන්න, බලන්න පුලුවන්. අන්තර් ජාලය හරහා. 

අපට සිංහල ගීත කීපයකුත් ඉගැන්නුවා. එයින් මගේ සිතේ වඩාත් ඇඳී ගිය ගීය මෙයයි. මෙය මාත් නංගීත් වෙනුවෙන්ම ලියූවක් ලෙසයි, එදා මට හැඟුණේ. මට එකවරම ඒ ගීය කටපාඩම් හිටියා. 

‘මේ ගසේ බොහෝ - පැණි දොඩම් තිබේ 
පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතූ 
නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී 
වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ 

අපී මේක ඒ දවස්වල ග්‍රැමෆෝන් තැටියකට නඟා තිබුණා. එය ගායනා කර තිබුණේ යූ. ජී. පී. ද සිල්වා කියලා මහත්තයෙක්. ඒ මහත්තයා ගුරුවිද්‍යාල අලුතින් පිහිටුවීමට පුරෝගාමී වූ ගුරු විදුහල්පතිවරයෙක්. වසර 80කට විතර ඉස්සර ඔහු එදා ගැයූ ළමා ගීත අදත් ළමයින් අතර ඒ අයුරින් ම ජනප්‍රියයි. ඔහු ගැයූ මේ ගීය රචනා කර, තනුව යොදා ඇත්තේ ඔහුගේ ගෝලයකු වූ තවත් ගුරු විද්‍යාල කථිකාවාර්යවරයකු වූ යූ. ඩී. පෙරේරායි. එදා ළමා ගී රැසක් බිහිවුණා මේ දෙදෙනාගේ සුසංයෝගයෙන්. ඒ අතර තිබූ වඩාත් ජනප්‍රිය ‘නිල් අහස් තලේ‘ ගීතයයි. මෙය පසුව වෙනත් අය ගායනා කළා. නිදසුනක් වශයෙන් තිස්ස අබේසේකර එයාගෙ ‘මහගෙදර‘ (1982) චිත්‍රපටයට මේ ගීතය ඇතුළත් කළා මොරිස් විජේසිංහ, නීලා වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ගායනයට යොදා ගෙන. 

නිල් අහස් තලේ අගෙයි නෑ වලාකුළු 
ලස්සනයි පුරා හඳේ රැස් විහීදිලා 

මල් විසිරිලා වාගෙයි තාරකා සිරී 
ලස්සනයි පුරාහඳේ රැස් විහීදිලා 

විල් නෙළුම් නිඳා වැටෙයි මානෙල් මල් පිපිී 
ලස්සනයි පුරාහඳේ රැස් විහීදිලා 

රැල් සිසිල් සුළං සැපයි මේ රැයේ වැදී 
ලස්සනයි පුරාහඳේ රැස් විහීදිලා 

‘රාත්‍රියක්‘ යන මැයෙන් කළ මෙහි රචනය යූ. ඩී. පෙරේරා මහත්තයාගෙයි. ගායනය කළේ යූ. ජී. පී. ද සිල්වා මහත්තයාගෙමයි. මේ ගීතය මුලින්ම ඇතුළත් වෙලා තියෙන්නෙ යූ. ඩී. පෙරේරාගේ ‘බාලාංශ ගී‘ නම් ග්‍රන්ථයටයි. එය 1938 දී ගුරු විද්‍යාලයේ අවසන් වසරේ නිබන්ධය ලෙස ඔහු ඉදිරිපත් කළ නිර්මාණයයි. මේ ගීතයේ පදමාලාව මෙන් ම ස්වර මාලාව ද ඒ මහතාගෙයි. එය ග්රැමෆෝන් තැටියට නගද්දී එක් පැත්තකට මේ ගීතයත් අනෙක් පැත්තට සිල්වා මහතාම ගායනය කළ ‘මේ ගසේ බොහෝ - පැණි දොඩම් තිබේ‘ යන ගීතයත්, එසේම ‘හඳහාමී හැංගි හැංගි එබී බලනවා - ඈත අහසෙ රන් තැටියක් වාගේ පෙනෙනවා‘ යන ගීතයත් ඇතුළත් කර තිබුණා. එය කර්තෘ අඥාත දරු නැළවිලි ගීයක්. මීට අවුරුදු 79කට පෙර කාමන් ගුණසේකර මොන්ටිසෝරියේ දී අපට ඒ ගී අසන්නට සලස්වා පියානෝ වාදනය සමග ගයන්නටත් පුරුදු කළා. 

යූ. ඩී. පෙරේරා හා යූ. ජී. පී ද සිල්වා දෙපළ

නිල් අහස් තලේ පැණි උරා බිබී මලේම ඉන්නේ ඇයි සමනලයෝ වැනි ළමා ගීත යූ. ඩී. පෙරේරා මහත්මයා ජනප්‍රිය ග්රැමෆෝන් ගීත රැසක් විවිධ ගායක ගායිකාවන් වෙනුවෙන් රචනා කළා. ඒවා අතර කීපයක් මෙසේයි: මුනි නන්දන සිරි පාද වදිම් සමනල කන්දේ, කරුණා මුහුදේ නාමු ගිලීලා, ලුම්බිණි සාල වනේහී, කෝප වන්නේ ඇයි පෙම්බර ස්වාමි, දීපේ මගේ සාක්‍යසිංහ, සිළුමිණි සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ, නා‍මෙ නොදිරණා කුණු කය දිරනා අරුමෙකි සෝබා සංසාරේ වැනි ඒ ගීත අසන්නට එදා ග්රැමෆෝනයක් අවශ්‍ය වුනත් අද මේවා අන්තර් ජාලයෙන් ඔබට පහසුවෙන් අසන්න පුළුවන්. මොන්ටිසෝරි ගමන අපට ජීවි‍තයේ අමතක නොවන අත්දැකීමක් වුණේ මේ ගීත අසන්නත් ගයන්නත් ලැබුණ නිසයි. 

යූ. ඩී. පෙරේරාගේ ගී හැරුණු විට මුනිදාස කුමාරතුංග මහත්මයාගේ ‘හා හා හරි හාවා‘ කවි පන්තියත් අපට ගයමින් රඟන්නට පුරුදු කළා. ඊට අමතරව පැස්ටල් කූරු හා පාට පැන්සල්වලින් ඒ සිද්ධිය අපට කැමති විධියට චිත්‍රයට නගන්නත් කියා දුන්නා. 

මොන්ටිසෝරි ගමන දුර එකක් වුනත් පුංචි අපට මහන්සියක් දැනුනේ නෑ. අපි හුඟක් දවස්වලට යන කොට ගියේ පාරු පාලමෙන්. ඒ බව කාමන් ඇන්ටිට කිව්වා ම එයා මගෙන් ඇහුවා කැලණි ගඟ හරහා දමා තිබුණු පාරු පාලමට පාරු කීයක් තියෙනව ද කියලා. මං කියන්න දැනගෙන හිටියෙ නැහැ. මං පහුවදාම ගණන් කරලා ගිහින් කිව්වා. කාමන් ඇන්ටි ‘ගුඩ් බෝයි‘ කියලා මගේ ඔළුව අත ගෑවා. 

පැරණි වික්ටෝරියා පාළම

අපි කොළඹට ඇතුළු වෙන කොට තොටළඟ පාරු පාලමෙන් එගොඩ වුනත් ආපසු එනකොට ආවේ කැලණි ගඟ හරහා ඉදිකර තිබූ දැවැන්ත වික්ටෝරියා පාලමෙන්. ඔය මාර්ග දෙක විතරයි කැලණි ගඟින් එගොඩ වෙන්න අපට තිබුණේ. කෝච්චියට යන්නත් ඒ වගේ පාලමක් කැලණි ගඟ හරහා ඉදිකරලා තිබුණා. වික්ටෝරියා පාලමෙන් යද්දි ඒ කෝච්චි පාර අපට පෙන්නුවෙ අපේ කාරෙක එලවපු ධර්මදාස මාමා. දැන්නම් කැලණි ගඟ හරහා කොළඹට යන්න පාලම් ගණනාවක් ම තියෙනවා. 

පර්සි ජයමාන්න 

 


 

අදහසක් පළ කරන්න

0 Comments