HOT

5/recent/ticker-posts

promo-container

අඟහරුගේ ෆෝබෝස් චන්ද්‍රයා වෙත යන සුවිශේෂ ගමනක්!

රාත්‍රී අහස දෙස බලද්දී, අපට පෙනෙන ලස්සනම ග්‍රහලෝකයක් වන්නේ අඟහරුය. අඟහරු, රතු ග්‍රහයා යන නමින් ද හැඳින්වෙයි. ඊට හේතුව, එය රතු පැහැයෙන් පෙනෙන බැවිනි. අඟහරුට මෙම රතු පැහැය ලැබී ඇත්‌තේ, අඟහරු පෘෂ්ඨය මත යකඩ ඔක්සයිඩ් හෙවත් මලකඩ ස්වභාවයෙන් යුත් දූවිලි හා පාෂාණ බහුලවීම නිසාය. සූර්යයාගේ සිට, පෘථිවියට පසු, සිවුවැනි ස්ථානයේ පිහිටන අඟහරු ප්‍රමාණයෙන් අප පෘථිවියට වඩා තරමක් කුඩාය. අද අඟහරු නිසල ජීවයෙන් තොර තැනකි. ඒත් විද්‍යාඥයන් අනුමාන කරන්නේ අතීතයේ අඟහරු මත ජීවය පවතින්නට ඇති බවය. පෘථිවියේ, මෙන්ම අඟහරු මත ද ගිනිකඳු හෙවත් යමහල් දකින්නට ලැබේ. අප සූර්යයා ඇතුළු ග්‍රහ මණ්ඩලය හෙවත්, සෞරග්‍රහ මණ්ඩලයේ, උසින් වැඩිම ගිනිකන්ද ඇත්තේ ද අඟහරුටය. අපි ඒ ගිනිකන්ද ගැන වෙනත් වෙලාවක කතා කරමු. ඒකත් හරි අපූරු කතාවකි. මේ කතාව අඟහරුගේ චන්ද්‍රයන් ගවේෂණය ගැනය. 

ජපානයේ ෆෝබෝස් චන්ද්‍රයාගෙන් පස් ගෙන එන ගමන 

පෘථිවියේ සිට - 1. MMX යානය අඟහරු බලා ගමන් අරඹයි. අඟහරුගේ චන්ද්‍රයා  ෆෝබෝස්ගේ කක්ෂයකට යයි. 2. පොබෝස්ගේ කක්ෂයට පිවිස රෝවරය පහළට යවයි. 3. MMX යානය ගොඩබෑම සිදුකර පස් සාම්පල ලබා ගනී. 4. පස් සාම්පලය රැගෙන ආපසු එයි.

ඔබ දන්නවා අප පෘථිවියට සඳක් නැතිනම් චන්ද්‍රයෙක් ඇත. තාරකා විද්‍යාත්මකව ග්‍රහයකුට ඇති චන්ද්‍රයා හැඳින්වෙන්නේ උප ග්‍රහයකු ලෙසය. එසේනම් පෘථිවියට ඇත්තේ එක් උප ග්‍රහයකි. අඟහරුට පුංචි ප්‍රමාණයේ උප ග්‍රහයන් දෙදෙනෙකි. ෆෝබෝස් (Phoebus) සහ ඩීමෝස් (Deimos) යනු ඒවාය. මේවා අපේ සඳ මෙන් රවුම් හැඩැති උප ග්‍රහයන් නොවෙයි. ෆෝබෝස් සහ ඩීමෝස් බැලූ බැල්මට අක්‍රමවත් හැඩැති යෝධ අල ගෙඩි දෙකක් වැනිය. මෙම උප ග්‍රහයන් දෙදෙනා අනෙක් උපග්‍රහයන්ට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා යැයි කීවත්, ෆෝබෝස්ගේ පළල කිලෝමීටර 20 ක් පමණ වන අතර, ඩීමෝස්ගේ පළල කිලෝමීටර 10 කි. 1877 වසරේ අගෝස්තු මාසයේදී ඇසෆ් හෝල් නම් ඇමෙරිකා තාරකා විද්‍යාඥයා, මෙම චන්ද්‍රයන් දෙදෙනා පළමු වරට සොයා ගත්තේ ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි එක්සත් ජනපද නාවික හමුදා නිරීක්ෂණාගාරයේ ඇති දැවැන්ත දුරේක්ෂයේ ආධාරයෙනි. ග්‍රීක පුරාවෘත්තවලට අනුව, ෆෝබෝස් සහ ඩීමෝස් යනු යුද්ධයට අධිපති ඒරීස් (Ares) දෙවියන්ගේ සහ ආදරයට අධිපති ඇෆ්‍රොඩයිට් (Aphrodite) දෙවඟනගේ පුතුන්ය. ඉංග්‍රීසියෙන්, අඟහරු හැඳින්වෙන්නේ මාර්ස් (Mars) යනුවෙනි. රෝම පුරාවෘත්තවලදී යුද්ධයට අධිපති දෙවියන් හැඳින්වෙන්නේ මාර්ස් කියාය. අඟහරුගේ පරිවාර චන්ද්‍රයන්ට ෆෝබෝස් සහ ඩීමෝස් කියා නම් තබා ඇත්තේ ඒ ග්‍රීක ප්‍රවාදය අනුව යමිනි. ඒ චන්ද්‍රයන් බිහිවූයේ කෙසේදැයි යන්න වසර ගණනාවක් තිස්සේ තාරකා විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක් නැතිනම් අබිරහසක් විය. 

මේ අබිරහස විසඳීමටත්, අඟහරු ගැන තවත් අලුත් තොරතුරු සෙවීමටත්, ජපාන අභ්‍යවකාශ ඒජන්සිය (JAXA) පසුගිය දා 'එම්.එම්. එක්ස්' (MMX - Mars Moons Exploration) යන නමින් නම් කළ ප්‍රබල රොබෝ අභ්‍යවකාශ ගවේෂණ යානයක් පිටත් කර හැරියේය. MMX යානයේ ප්‍රධානම අරමුණ, පළමුවෙන්ම අඟහරු ආසන්නයට ගොස් පසුව ෆෝබෝස් චන්ද්‍රයා මතට ගොඩබෑමක් කර, එහි මතුපිට පස් සහ දූවිලි ස්වල්පයක් එකතු කරගෙන ආපසු පෘථිවියට රැගෙන ඒමය. මේ මෙහෙයුම සාර්ථක වුණොත්, අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයකුගෙන් පස් සාම්පලයක් පෘථිවියට අරන් එන පළමු අවස්ථාව එය වනු ඇත. ජපාන විද්‍යාඥයන් මීට පෙර අවස්ථා දෙකකදී ග්‍රහකවලට රොබෝ යානා යවා, දූවිලි සහ පස්, සාම්පල පෘථිවියට ගෙන්වා ගෙන ඇත. එහෙයින් මෙම මෙහෙයුම ද සාර්ථක වනු ඇත.

ජපාන අභ්‍යවකාශ ඒජන්සිය, MMX යානය රැගත් රොකට්ටුව උඩු ගුවනට විදීම සිදු කළේ පසුගිය ඔක්තෝබර් 19 වැනිදාය. ඒ, ජපානයේ තනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටය. MMX යානය ඵහි කක්ෂයට තල්ලු කිරීම සහ අභ්‍යවකාශයට මුදා හැරීම සිදු කළේ ජපානය සතු නවීන තාක්ෂණයෙන් නිපදවන ලද ප්‍රබල 'H3' රොකට්ටුවක් ආධාරයෙනි. පෘථිවි කක්ෂයට ගිය MMX යානය, ඊට ලබා දුන් උපදෙස් අනුව රොකට්ටුවෙන් මිදී අඟරු බලා ගමන් ආරම්භ කළේය. MMX අභ්‍යවකාශ යානය, ලබන වසරේ එනම් 2027 වසරේ අගෝස්තුවේදී අඟහරුගේ සීමාවට ළඟා වනු ඇත. අඟහරුට සමීප වීමෙන් පසු යානය පළමුවෙන්ම ඩීමෝස් චන්ද්‍රයාව පරීක්ෂා කර අධ්‍යයනය කරනු ඇතැයි පැවැසෙයි. ඉන්පසු යානය තම ප්‍රධාන ඉලක්කය වන ෆෝබෝස් චන්ද්‍රයා දෙසට ගමන් කිරීමට නියමිතය. 

ෆෝබෝස් චන්ද්‍රයා මතට යානය ගොඩබෑමට පෙර, යානය එහි භූමිය පරීක්ෂා කිරීමට කුඩා රෝවරයක් (Rover) ෆෝබෝස් මතට හෙළීමට සැලසුම් කර ඇත. ඒ විශේෂිත ක්‍රමයකට පැරෂූට් ආධාරයෙනි. කුඩා චන්ද්‍රයෙක් මතට රෝවරයක් පතිත කරවීම සිදු කරන පළමු අවස්ථාව වනු ඇත්තේ ද මෙයයි. එමෙන්ම එය ලේසි පහසු කටයුත්තක් වන්නේ ද නැත. හේතුව ෆෝබෝස් චන්ද්‍රයාට ලොකු ගුරුත්වාකර් ෂණ බලයක් නොතිබීමය. මෙහිදී MMX යානය, මවු යානයක් ලෙස ක්‍රියාත්මක වෙයි. රෝවරයක් යනු රෝද සහිත රොබෝ යානයකි. මෙයට එහෙමෙහෙ යෑම කළ හැකිය. කුඩා රෝවරය, ෆෝබෝස් චන්ද්‍රයා පරීක්ෂා කර බලා MMX යානයට ගොඩබෑමට සුදුසු ස්ථානයක් තෝරා දෙනු ඇත. MMX මවු යානය ෆෝබෝස් මතට ගොඩබසින්නේ රෝවරයෙන් ලැබෙන උපදෙස් අනුවය. ඉන්පසු MMX යානය, ඊට සම්බන්ධ යාන්ත්‍රික අතක් සහ විශේෂ උපකරණ දෙකක් භාවිත කර ෆෝබෝස්ගේ පස් සහ දූවිලි සූරා එක් රැස් කරනු ඇත. යානය පෘථිවියට ආපසු රැගෙන එනු ඇත්තේ පස් ග්‍රෑම් 10ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයකි. ඒත් එහි වටිනාකම කොතරම්දැයි කීමට නොහැකි බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. එකතු කරගන්නා පස් සාම්පලය කුඩා කැප්සියුලයක තැන්පත් කෙරේ. ආපසු පෘථිවියට පතිත කරනු ඇත්තේ මෙම කැප්සියුල කොටසය. ඒ, 2031 දීය. මෙම කැප්සියුලය දකුණු ඕස්ට්‍රේලියාවේ පිහිටි වුමෙරා කාන්තාරයට ආරක්ෂිතව පතිත කෙරේ. ඒ, පැරෂූට් ආධාරයෙනි. 

අඟහරුගේ චන්ද්‍රයන්, නිර්මාණය වූ ආකාරය ගැන විද්‍යාඥයෝ විවිධ අදහස් පළ කරති. ඈත අතීතයේදී අති දැවැන්ත ග්‍රහකයක් අඟහරු මත ගැටීමෙන් විසිවුණු සුන්බුන්වලින් මෙම චන්ද්‍රයන් නිර්මාණය වන්නට ඇතැයි යන්න ප්‍රකට පිළිගැනීමය. තවත් අදහසක් ද පවතී. එනම්, අභ්‍යවකාශයේ සැරිසරමින් තිබුණු යෝධ ග්‍රහක දෙකක් අඟහරුගේ ගුරුත්වාකර්ෂණයට හසුවී අඟහරු වටා කැරකෙන්න පටන් ගන්නට ඇති බවය. කෙසේ නමුත් මෙම චන්ද්‍රයන් නිර්මාණය වූ අයුරු ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට පෘථිවියට රැගෙන එන ඒ පස් සාම්පල උදවු වෙනවා ඇත. විද්‍යාඥයන් පස් සාම්පලවල අඩංගු රසායනික ද්‍රව්‍ය සහ ඛනිජ වර්ග පරීක්ෂා කර බලනු ඇත. 

ෆෝබෝස් චන්ද්‍රයා පිහිටා ඇත්තේ අඟහරුට බොහෝ ආසන්නයේය. එබැවින් අතීතයේ අඟහරු මතට උල්කාපාත කඩා වැටෙද්දී අඟහරුගේ පෘෂ්ඨයෙන් විසිවුණු පස් සහ පාෂාණ කැබලි ෆෝබෝස් මතටත් පතිත වෙන්නට ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කරති. ඒ කාලයේ අඟහරු මතුපිට දියුණු ජීවීන් සිටියේ නම්, එදා අඟහරු සරසාර බිමක් වූයේ නම්, එහි ධාන්‍ය වගාවන් තිබුණේ නම්, අඟහරුගේ පෘෂ්ඨයෙන් විසිවුණු පස් සහ පාෂාණ කැබලි අතරේ ධාන්‍ය ඇටවල ශේෂයන් පවා තිබිය හැකි බවට අනුමාන කෙරේ. 

මිනිසා අඟහරු ග්‍රහයා ගැන සෙවීමට පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. දශක ගණනාවක සිට ලෝකයේ අභ්‍යවකාශ ආයතන ගණනාවක් අඟහරු වෙත යානා යවා තිබේ. 

මැරිනර් සහ වයිකිං මෙහෙයුම් (Mariner & Viking): 1960 සහ 1970 දශකවලදී ඇමෙරිකාවේ නාසා (NASA) ආයතනය විසින් යැවූ මැරිනර් යානා මගින් අඟහරුගේ ඡායාරූප ලබාගත් අතර, වයිකිං 1 සහ 2 යානා අඟහරු මතට සාර්ථකව ගොඩබැස පළමු වරට එහි භූමියේ ඡායාරූප පෘථිවියට එවීමද සිදු කළේය. 

සෝජෝනර්, ස්පිරිට් සහ ඔපෝචූනිටි (Sojourner, Spirit, Opportunity): අඟහරු මත යමින් පරීක්ෂණ පැවැත්වූ කුඩා රෝවර වන අතර, ඒවා මගින් අඟහරු මත අතීතයේ ජලය තිබූ බවට සාක්ෂි ද සොයාගනු ලැබීය. 

කියුරියෝසිටි සහ පර් සිවරන්ස් (Curiosity & Perseverance): නාසා ආයතනය විසින් යැවූ ඉතාමත් දියුණු රෝවරයන් දෙකකි. 2012 දී ගොඩබැස්ස කියුරියෝසිටි රෝවරය තවමත් ගවේෂණ සිදු කරමින් සිටී. 2021 දී අඟහරු මතට ගිය පර් සිවරන්ස් (Perseverance) රෝවරය තවමත් අඟහරු මත ඔබමොබ යමින් පස් සහ පාෂාණ නළවල අසුරා සුරක්ෂිතව තබාගැනීමේ මෙහෙයුමක නිරත වී සිටියි. 

චීනයේ ෂුරුං (Zhurong) රෝවරය: 2021 දී චීනය විසින් 'Tianwen-1' මෙහෙයුම හරහා ෂුරුං රෝවරය අඟහරු මතට සාර් ථකව ගොඩබස්වා පරීක්ෂණ සිදු කළේය. 

ඔබ දන්නෙහිද? විද්‍යාඥයන්ට, පෘථිවිය මතදීත් අඟහරුගේ කැබලි හමුවී ඇති බව. ඒ අඟහරු මතට උල්කාපාත ගැටීමෙන් විසිවී අභ්‍යවකාශයේ පා වී, අවසානයේ පෘථිවියට කඩාවැටුණු 'අඟහරු උල්කාපාත' (Martian Meteorites) මගිනි. මේවා ඉතාමත් කලාතුරකින් හමුවන අතර, ඒවා පෘථිවියේ වායුගෝලය, පස සහ ජලය සමග ගැටීම නිසා ඒවායේ මෙහි එන්නට පෙර පැවති ස්වාභාවික පවිත්‍රතාවට හානි සිදු වී ඇති බැවින් ඒවා පරීක්ෂා කිරීමෙන් සාර් ථක ප්‍රතිඵල අත්කර ගැනීම අසීරුය. එම නිසා විද්‍යාඥයන්ට අවශ්‍ය වන්නේ කිසිම දේකට නිරාවරණය නොවූ, කෙළින්ම ලබාගන්නා අදූෂ්‍ය සාම්පල ය. ‍

නාසා ආයතනය පර්සීවරන්ස් රෝවරය මගින් එකතු කළ පස් එකතු කරගෙන ඒමට සැලසුම් කර තිබූ 'Mars Sample Return' මෙහෙයුම මේ වන විට මුදල් ප්‍රතිපාදන නොමැතිකමින් අතරමඟ නතර වී තිබේ. චීනයද 2028 දී අඟහරු වෙත යානයක් යවා 2031 වසරේ දී පස් ගෙන ඒමට සැලසුම් කරමින් සිටින බව දැන ගන්න තිබේ. ඒ අනුව බලද්දී, ජපානයේ MMX මෙහෙයුම කියන්නේ මුළු ලෝකයේම අවධානය දිනාගත්, අභ්‍යවකාශ විද්‍යාවේ අලුත් පිටුවක් පෙරළන ඉතාමත් අභිමානවත්, වික්‍රමාන්විත මෙහෙයුමක් බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. 2031 දී අඟහරුගේ චන්ද්‍රයාගෙන් පෘථිවියට එන ඒ අමුත්තා දෙස මුළු ලෝකයම දෑස් දල්වා බලා සිටී. 

ලුසිත ජයමාන්න 

බීබීසී ඇසුරිනි. 

අදහසක් පළ කරන්න

0 Comments