HOT

5/recent/ticker-posts

promo-container

පුදුමයි! හරියට වෙලාවට වැඩ කරන හෙක්ටර්

අපි කොයි කවුරුත් කැමතියි නේද වෙලාවට වැඩ කරන අයට? රස්තියාදු කරන්නේ නැතුව හරියටම නියමිත වෙලාවට වැඩ කරන අයට සමාජයේ ලොකු ගෞරවයක්, පිළිගැනීමක් ලැබෙනවා. ඔන්න ඉතින්, ඔස්ට්‍රේලියාවේ ඉන්නවා හැමදාම හරියටම වෙලාවට වැඩ කරන හරිම අපූරු චරිතයක්. ඒත් පුදුමෙ කියන්නේ, මේ හෙක්ටර් කියන්නේ සැබෑ මනුස්සයෙක් නම් නෙවෙයි. ‘හෙක්ටර්’ කියන්නේ හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසයේ ඉඳන් මාර්තු දක්වා කාලයට, හරියටම හැම දවසකම සවස 3 ට ඔස්ට්‍රේලියාවේ ඩාවින් නගරයට ඔබ්බෙන් පිහිටි ටිවි දූපත්වලට කඩාපාත්වෙන ගිගුරුම් සහිත වැසි කුණාටුවකටයි. 

<
හෙක්ට ර් ග්‍රීක පුරාවෘත්තවල එන වීරයෙක්

කාලගුණය කියන්නේ කොහොමත් හැමතිස්සෙම වෙනස් වෙන දෙයක්නේ. ඉතින්, මේ විදිහට හැමදාම හරියටම එකම වෙලාවට බිහිවෙන නිසා කාලගුණ විද්‍යාඥයෝ මේ කුණාටුවට ආදරයට ‘හෙක්ටර්’ කියලා නම තියලා තියෙනවා. සුළි කුණාටු ගැන නම් කල්තියා අනාවැකි කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ නිසා කාලගුණ විද්‍යාඥයන් දෙන උපදෙස්වලට අප හැමෝම අවනත වීම හරිම වැදගත්. මේ ‘හෙක්ටර්’ කියන්නේ විනාශකාරී සුළි කුණාටුවක් නෙවෙයි; සාමාන්‍ය ගිගුරුම් සහිත වැසි කුණාටුවක්. සාමාන්‍යයෙන් පොඩි වැහි කුණාටුවලට නම් තියන්නේ නැහැ. ඒත් මේක හරිම අපූරුයි. 

දෙවන ලෝක යුද සමයේදී (1940 ගණන්වල මුල) ඩාර්වින් සහ පැපුවා නිව්ගීනියාව අතර ගුවන් ගමන් ගිය නියමුවන්, ටිවි දූපත්වලට උඩින් අහස උසට නැඟෙන මේ දැවැන්ත වැසි වලාකුළ තම ගමන් මඟ බලාගන්න පාවිච්චි කළා. දිනපතාම හරියටම සවස 3 ට එකම තැනක මේක පෙනෙන නිසා, ග්‍රීක පුරාවෘත්තවල එන වීරයෙක් වන ‘හෙක්ටර්’ගේ නමින් ගුවන් නියමුවන් මේකට ‘හෙක්ටර්’ කියලා නම් තැබුවා. පස්සේ කාලගුණ විද්‍යාඥයෝ මේක නිල වශයෙන්ම ‘හෙක්ටර් ද කොන්වෙක්ටර්’ කියලා හැඳින්වුවා. හරියටම සවස 3 ට හෙක්ටර් එන්නේ කොහොමද? මෙන්න මේකට තමයි පුදුම හේතුව තියෙන්නේ! 

උදේ වෙද්දී සූර්යාලෝකයත් එක්ක දූපත්වල ගොඩබිම හොඳට රත් වෙනවා. එතකොට අවට මුහුදේ තෙතබරිත වාතයට වඩා ගොඩබිම් වාතය වේගයෙන් ඉහළට ප්‍රසාරණය වෙනවා. දවල් කාලයේදී මුහුද පැත්තෙන් තෙතබරිත සුළං එක එක දිශාවලින් දූපත උඩට ඇදී එනවා. අන්න ඒ එන සුළං දූපත මැද්දේදී එකිනෙකා ගැටෙනවා. ගැටුණාම ඉතින් උඩට යන්න හැර වෙන මඟක් නැති නිසා, මේ වායු ධාරා මුහුදේ තෙතමනයත් අරගෙන අහස උසට ඉහළටම ඇදී යනවා. උඩට යද්දී සිසිල් වෙන මේ වාතය දැවැන්ත ජල බිංදු සහ වලාකුළු බවට හැරිලා අන්න එහෙමයි සවස 3 වෙද්දී හෙක්ටර්ව නිර්මාණය කරන්නේ. 

අපි අහලා තියෙනවානේ ‘දිට්වා’ වගේ භයානක සුළි කුණාටු ගැන. මේ සුළි කුණාටුවලට නම් දාන එක නිකම්ම නිකන් අහඹු දෙයක් නෙවෙයි; ඒකට ලොකු විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. ඉස්සර කාලේ නම් කුණාටු හැඳින්වුණේ ඒවා ඇති වුණු දවස්වලින්, අවුරුදුවලින් නැත්නම් ආගමික උත්සවවලින්. උදාහරණෙකට, 1825 දී කැරිබියානු දූපත්වලට ආපු කුණාටුවක් හැඳින්වුණේ ‘සැන්ටා ඇනා’ කියලයි. ඒ, ඒක සාන්තුවරයකුගේ මංගල දවසේ ආපු නිසා. පස්සේ කාලෙක ඇමරිකානු හමුදා නිලධාරීන් තමන්ගේ බිරිඳගේ හෝ පෙම්වතියගේ නම් කුණාටුවලට දාන්න පුරුදු වුණා. ඒත් පස්සේ කාලෙක, “ඇයි හැමතිස්සෙම කාන්තා නම් විතරක් දාන්නේ?” කියලා විරෝධතා මතු වුණා. ඒක නිසා 1979 ඉඳන් ලෝක කාලගුණ විද්‍යා සංවිධානයෙන් ගැහැනු නම් වගේම පිරිමි නමත් මේකට එකතු කළා. 

දැන් ලෝකේ පුරාම සුළි කුණාටුවලට නම් දාන්නේ රටවල් එකතු වෙලා හරිම පිළිවෙළකටයි. අපේ රට අයත් වන උතුරු ඉන්දියානු සාගර කලාපයේ රටවල් 13 ක් (ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, මියන්මාරය, ඕමානය, පාකිස්තානය, තායිලන්තය, ඉරානය, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය) එකතු වෙලා නම් ලැයිස්තුවක් හදාගෙන තියෙනවා. ඉංග්‍රීසි අකුරුවල පිළිවෙළට, රටවල නම්වලට අනුව මේ නම් වරින් වර භාවිත කරනවා. එක වරක් පාවිච්චි කළ නමක් ආපහු කවදාවත් පාවිච්චි කරන්නේ නැහැ. හුඟක්ම විනාශකාරී වුණොත්, ඒ නම සදහටම ලැයිස්තුවෙන් අයින් කරනවා. ඉතින් බලන්න, එකම වෙලාවට එන අපූරු ‘හෙක්ටර්’ වගේම, කාලගුණ අනතුරු ඇඟවීම් ජනතාවට පහසුවෙන් මතක තියාගන්නයි මේ නම් තැබීමේ ක්‍රමවේදයන් උදව් වෙන්නේ. අනාගතයේදී කාලගුණය කොච්චර වෙනස් වුණත්, මේ විද්‍යාත්මක ක්‍රම සහ අපේ එකමුතුකම නිසා අපිට එවැනි උවදුරුවලට හොඳින් මුහුණ දෙන්න පුළුවන් වේවි. 

ලුසිත ජයමාන්න 

බීබීසී සයන්ස් ඇසුරිනි

අදහසක් පළ කරන්න

0 Comments