HOT

5/recent/ticker-posts

promo-container

නන්දාමාලිනීය - ගීයෙන් සැම දන සැනසූ වීර මාතාව


අපි, ලොකු පොඩි හැමදෙනාම, හැමදාම උදේ අවදිවන්නේ, ගුවන්විදුලියෙන් ඇසෙන මේ ආශිර් වාද ගායනයෙනි. අප හැම දවස අරඹන්නේ නන්දාමාලිනීගේ මේ විශිෂ්ට ගායනය අසමිනි. මෙහි රචනය මහාචාර් ය සුනිල් ආරියරත්නගේය. තනුව ගායිකාව ගේය.
 
'බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී 
මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ 
නංවා ප්‍රභා ලොවතුරා රශ්මි මාලා 
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
 
'තණ්හා උපාදාන පරිදේව වියැකී 
අඥාන අඳුරේ දැල් වී ප්‍රදීපේ 
හඬවා රුවන් දැල් මංගල්‍ය ප්‍රීතී 
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී 

'භෘංගාවලීරාව ප්‍රතිරාව නංවා 
බන්දා ප්‍රශංසා ජය කේතු කේළී 
දසතින් ගලා ක්ෂීරපායාස ධාරා 
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී' 

මා එය හඳුන්වන්නේ නන්දා මාලිනීගේ ජයමංගල ගාථා කියායි. එයට හේතුව අපේ සාම්ප්‍රදායික ජයමංගල ගාථාත් ඇය විසින් ම ගයා පටි ගත කර ඇති නිසාය. 

දැන් නන්දා මාලිනීගේ ගීයෙන් අපේ කුඩා දරුවෝ අකුරු කියවති. ඒ 'අයන්න කියන්න ලොවට ම ඇහෙන්න! එන්න මගේ මල්ලී... දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගී' යන ගීතයෙනි. ළමයින් අමතන තවත් අපූරු ගීයක් නන්දා මාලිනීගේ ගී පොතේ ඇත. 'මල් කියන්නෙ කාට කාට ළමයින්ටයි පාට පාට' කියන, ගීය එකල ගුවන් විදුලියේ ළමාපිටියේ තේමා ගීතය විය. එය රචනා කළේ පී.බී. අල්විස් පෙරේරා කවියාය. අපේ ජීවිතයේ හැම ඉසව්වක්ම නන්දාමාලිනිය ඇගේ ගීයකින් සරසා තිබේ. 'අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා.' යන ගීයෙන් ඇය ලොකු කුඩා අප හැමදෙනා තුළ ම බලාපොරොත්තු ඇති කළාය. ඒ ගීය කරුණාරත්න අබේසේකරයන්ගේ රචනයකි. තනුව ප්‍රේමසිරි කේමදාසගේය. මේ දේශානුරාගී ගීය කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ 'ඉහත ආත්මය' (1972) චිත්‍රපටයෙනි. 

'අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා. 
අරුණළු කැන් හිනැහී තව දිනක් ලබනවා 
අඳුරෙන් බර ආකර තුළ මැණික් දිලෙනවා 
දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා' 

අම්මාවරුන් වෙනුවෙන් ඇය තරම් ගී ගැයූ තවත් අයෙක් නැති තරම්ය. ඇය 'යස ඉසුරු' චිත්‍රපටයෙන් කෙතරම් ආදරණීය ලෙස 'අම්මාවරුනේ! සම්මා සම්බුදු අම්මාවරුනේ!' කියා ඇමතුවේද යත් එය ඇගේ ගී අතරින් ලොව වැඩි ම දෙනකුගේ කනටත්, හදටත් සමීප වූ ගීය බවට පත් විය. ධර් මසිරි ගමගේ රචනා කළ ඒ ගීය ආචාර් ය ප්‍රේමසිරි කේමදාසගේ තනුවකින් හැඩ වූවකි. මෙයට ජනාධිපති සම්මානය හිමි විය. 

'අම්මා..ආ….වරුනේ..ඒ 
අම්මා..ආ…. වරුනේ 
සම්මා සම්බුදු අම්මාවරුනේ 

'දරුවන්ගේ දුක් කඳුළු දකින දා 
සුර ලොව සිට අත පා…… ආ 
ඒ කඳුළැලි පිසිනා 
අම්මා..ආ….වරුනේ..ඒ 
අම්මා..ආ…. වරුනේ 
අම්මාවරු නැති දරුවන්නේ 
සංකා දුක් කවුදෝ දන්නේ 
ඒ දුක දන්නා අම්මාවරුමයි 
යම් මතු දිනයක බුදු වන්නේ 
සංසාරේ මතු බුදු වන්නේ' 

නන්දා මාලිනී වෙනුවෙන් තවත් මව්ගුණ ගීයක් සුනිල් ආරියරත්නයන්ද ලියා ඇත. එය ඇය සැබැවින්ම මවක වූ මොහොත අපට සිහිපත් කරවයි. නන්දා මාලිනී එයට තමාගේ ම තනුවක් යොදා සිය ජීවිතය ගැයූ මිහිරිම අවස්ථාවකි. 

'පදවිය මට මව් ලැබුණු දිනේ දී 
නු‍ඹේ අගේ මට දැනුනේ 
අම්මේ නුඹේ - අගේ මට දැනුනේ... 
ඇතෙක් බරට දායාද නොසෙව්වද 
සිප් සයුරේ පර තෙරට නොයැව්වද 
මව්කම ලද දා දැරූ දුකම ඇති 
නුඹේ නමින් පා දූවිලි වන්නට... 
උඩට උඩු වියන් මවා නොදුන්නද 
සිරුරට මුදු සුව යහන් නොදුන්නද 
දස මස මා කුස දැරූ පිනම ඇති 
නුඹට බුදුන් දැක නිවන් දකින්නට...' 

‘අම්මාවරුනේ' ඇතුළු නන්දා මාලිනියට මිහිරි තනු රාශියක් නිර් මාණය කළ ආචාර් ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ දියණිය ගයත්‍රී කේමදාසත් නන්දා මාලිනියගේ මව් ගුණ ගීයක් සංගීතවත් කළාය. 'නිව්ස්පේපර්' චිත්‍රපටයේ එන එකම ගීතය වූ මෙය බණ්ඩාර ඇහැලියගොඩ ගේ රචනයකි. මෙහි ගායනයට නන්දා මාලිනී ජනාධිපති සම්මාන ලද්දාය. 

'දොළේ දියත් නැති විය නුඹ නහවන්නට 
තන කිරිත් හිඟ විය තොල් සඟවන්ට 
කටුසර බෝග තිබුණේ බඩ පුරවන්ට 
සමා වෙයන් පුතුනේ නුඹ වැදුවාට' 

'වෙසතුරු සිරිත' (1966) චිත්‍රපටයට නන්දා මාලිනී ගැයූ මේ ගීය මහගම සේකරගේ රචනයකි. අමරදේවයන්ගේ විශිෂ්ට තනුවකි. 

'රුවන් වලා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැලුම් 
සැලේ සැලේ මොළොක් සුළඟෙ සිහිල් සුවය රැඳී රැඳී 
තනිවන්නට තනිවෙන්නට පෙරුම් පුරා මග බලා සිටි 
නෙතු සනසන මතු දැක්මෙහි ඵල ගැනුණා අද වැනි දින 

'නොකී කතා දෙතොල් මගින් රහස් ලෙසින් මුමුණමින් 
සදාදර සෙනෙහෙ මහිම සිත් සතන්හි සඟවමින් 
සුමුදු සුමුදු අත් යුගලින් අත් පටලා බැඳෙන්නට 
දයාබරිත හදවත් එක නූලෙ ගැටෙන අයුරු බලා 

'සරාගයකින් නොව සෙනෙහසින් මනස පිරී යද්දී 
මිහිරි මිහිරි හැඟුම් රැසක් ලය තුළ ලියලද්දී 
මේ මිහිතලයේ අප තනිවූ මොහොතක් ලෙස දැනී 
ජීවිතයේ සොඳුරුතම දිනය උදාවූ වග හැඟේ' 

ප්‍රවීණ පත්‍රකලාවේදී ජෝර් ජ් ලෙස්ලි රණසිංහ 'සීයේ නෝට්ටුව' චිත්‍රපටයට ලියූ මෙයද නන්දා මාලිනියගේ හඬින් ඔපවත් වූවකි. 

'දේදුනු පායා පාට වැටෙනවා 
ජීවන අහස් තලේ 
ආදර පවනේ සුසුම් කුසුම් වැල් 
මා යන මඟට හැලේ 

'දෑසට දෑසක් හමුවුණු දවසේ 
නුපුරුදු හැඟුමන් කියැවේ රහසේ 
සිතිවිලි දහසක් එක් තැන් වූයේ 
පැතුම් ලොවට මගෙ ඇයි ඔබ ආවේ 

'මා කැඳවන ගොළු ඉඟියක් දැනුණා 
ආදර විමනේ රන්දොර ඇරුණා 
පොපියන හදකින් ආශා හිතුණා 
පිටුපා යන්නට බැරි බව හැඟුණා 

'උල්පත් හැදුණේ සිලිල උනන්නයි 
මල් කෙමි මැවුණේ රොන් වෑහෙන්නයි 
මීවද බැඳුණේ පැණි සුරකින්නයි 
හද මැවුණේ ආදරය කරන්නයි 

'මල් බර තුරු අතු සෙවණ සදනවා 
කුරුලු ගීත ආසිරි ගී දෙනවා 
තනිවම ගිය මග ඔබ හා යනවා 
පෙමට ඇරුණු හද ඔබට පුදනවා' 

'දියමන්තිය' චිත්‍රපටයට නන්දා මාලිනියම තනුව යොදා ගැයූ මේ ගීයත් යොවුන් වියේ චමත්කාරය මවා පාන එකක් වන අතර සුනිල් ආරියරත්නගේ රචනයකි. 

'යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ... 
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ... 
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා... 
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ... ' 

1976 දී 'දුහුළු මලක්' චිත්‍රපටයට නන්දා මාලිනී ගැයූ මේ ගීය අජන්තා රණසිංහගේ පදමාලාවකි. සංගීතය සරත් දසනායක ගේය. 

'රන් කෙන්දෙන් බැඳ - අතැඟිලි එක් කළ ආදරයයි 
පෙම් රැහැනින් බැඳ - සිතුම් වසඟ කළ ආදරයයි 
රන් කෙන්දෙන් බැඳ - අතැඟිලි එක් කළ ආදරයයි 
පෙම් රැහැනින් බැඳ - සිතුම් වසඟ කළ ආදරයයි' 

සුනිල් ආරියරත්නයන්ගේ මේ පදමාලාවට තනුව යෙදුවේ එච්. එම්. ජයවර් ධනයි. 

'කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී 
නැවතී බලනවා මොහොතක් කොහොම හරි 
කතා නැතුව සිටියත් ගොළු වෙලා අපි 
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී 

'ගහකොළවලට දාහක් ඇස් ඇති හින්දා 
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා 
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා 
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා 

'සයුර මොටද දිය දෝතක් බොන්න බැරි 
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි 
දෑස මො‍ටද සිතු සේ දැක ගන්න බැරි 
කුසුම ‍මොටද ළංවී රොන් ගන්න බැරි' 

මේ හැඟුම්බර පෙම් ගීය රත්න හෙක්ටර් දිසානායකගේ රචනයක් වන අතර ජයතිස්ස අලහකෝන්ගේ තනුවකි. 

'කප් සුවහස්කල් පෙරුම්පුරා ගෙන 
අනන්ත බාධක දුක් පීඩා විඳ 
භවෙන් භවය යන මංසලකුණු දැක 
ඔබව සොයා ආවා.

'සත්සමුදුරු තරණය කර ආවා 
සත්කුළු පව් අතරින් දිව ආවා 
තරු එළියෙන් පියවර මැන ආවා
ඔබව සොයා ආවා.' 

ඊට සමාන අදහසක් ගෙනෙන, උපමා රූපකවලින් සදිසි මෙම පදමාලාව සුනිල් ආරියරත්නගේය. තනුව නන්දා මාලිනියගේ ගීත සංඛ්‍යාවකට තනු සැපයූ ආචාර් ය රෝහණ වීරසිංහගේය. මේ රෝහණ-සුනිල් සුසංයෝගය නන්දාමාලිනියට විරහ ගී රැසක් නිර් මාණය කර දී ඇත. වියෝගී රහට ගයන්නට විශේෂ හැකියාවක් නන්දාගේ කට හඬෙහි තිබේ. ඒ නිසා අසන්නාට එය සත්‍යයයි හැ‍‍ඟ‍ෙයි. තමා වෙනුවෙන් ම ගයන දෙයක් ලෙස දැනෙයි. මෙය නන්දා මාලිනිය උපතින් ලද කුසලතාවකි. 


නන්දා මාලිනී වෙනුවෙන් වැඩි ගීත ගණනක් 
රචනා කළ මහැදුරු සුනිල් ආරියරත්න


'සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ 
කෑලි කැඩී බිඳී වැටෙයි නිල් කඳුරැල්ලේ 
කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී 
දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී' 

නන්දා මාලිනියගේ හැඟීම් කියවීම සුනිල් කෙතරම් අපූරුවට කරන්නේද! ඒවා නිරූපණය කරන්න තරම් ප්‍රමාණවත් වාංමාලාවක් ඇති බව මේ ගීවලින් පසක් වෙයි. නන්දාමාලිනිය ද ඒ හැඟීම් යළි ගායනයට පෙරළා දීමට සමත් වෙයි. 

'මේඝයක් සේ හුදෙකලා වී නීල අම්බරයේ 
නොදැන මගතොට බලා වටපිට 
අයාලේ යන ගමන කොතැනටදෝ 
පෑල දිග රතු ක්ෂිතිජ රේඛාවේ 
බුර බුරා නැඟි අග්නි ජාලාවේ 
දැවී අළු වී යාද මා 
අතරමං වී ඇදෙන මේ ගමනේ.. 
ආ... ආ ආ.. ආ.... 
මේඝයක් සේ හුදකලා වී... 
කෲර ව්‍යකුල චණ්ඩ මාරුතයේ 
ගසාගෙන ගොස් ගැටී ගිරි මුදුනේ 
වහා සුන් වී යාද මා 
අනන්තය ඇස ගැටෙන මතු දිනයේ... 
ආ... ආ ආ.. ආ.... ' 

මේ විරහ ගී ගායනයේ උච්චතම අවස්ථාවට එළඹෙන්නේ මේ ගීයෙනි. තම ප්‍රියයාගේ එකම එක වදනකින් තම ආත්මය සුවපත් වන ඇය ගයයි. ඊටත් වඩා ආදරය ප්‍රකාශ කළ හැකි තවත් මගක් තිබේද! 

'ලොවම එපා වී ලොවම කලකිරී 
දැවී දැවී හිඳිනා වේලේ 
ඔබේ දයාබර එකම වදනකින් 
මගේ ආත්මය සුවපත් වේ.... 
ඔබ නැති මේ රැයට, 
පුරසඳ එළිය කුමටද 
ඔබ නැති මේ බිමට, 
නළ මුදු සුවඳ කුමටද.. ' 

1965 දී 'සාරවිට' චිත්‍රපටයට ඇය ගැයූ මේ සම්මානිත ගීය ළමයින් සඳහා මහගම සේකර ලියා අමරදේවයන් සංගීතවත් කළ මේ ගීය බලන්න. 

'මේ සිංහල අපගෙ රටයි 
අප ඉපදෙන මැරෙන රටයි 
අප හද පණ ගැහෙන රටයි 
මුළු ලොව ඒ රටට යටයි... 

'අහස සිඹින ගිරි කඳුරූ 
පොළොව තෙමන වැව් සයුරූ 
මුහුද අවට බැඳි පවුරූ 
එරට අසිරි සිරි එයුරූ... 

'මව්බිම වෙනුවෙන් පොරණේ 
දිවි දුන් විරු දරුවන්නේ 
ලේ වලිනුයි ඒ දෙරණේ 
මිණි කැට මුතු කැට මැවුණේ...' 

මෙය ලොවපුරා වැඩිම පිරිසක් රස විඳි දේශානුරාගී ගීයකි. අපේ කාලේ මාපියන් නැලවිලි ගීයක් ලෙසත් පාවිච්චි කළ එකකි. 

නන්දා මාලිනිය මෙලොවින් නික්ම ගියේ අපේ හදවත් සනසාලූ මෙවන් විවිධ ගීත රැසකින් යුත් ඇගේ 'මහා සිංහල ගීත පොත' අපට ඉතිරි කර තබා ය. සුභාවිත ගීත රැසකින් පිරි, අපේ කාලයේ විසූ සියලුම ගේය පද රචකයන් දායකත්ව සැපයූ මේ ගීත දැන් අන්තර් ජාලයේ සුරැකිව ඇත. ඔබ ඕනෑම දෙයක් නම් කරන්න. ඊට සුදුසු ගීයක් මේ අරුම පුදුම ගී පොතේ ඇත. එදා අප ගුවන් විදුලියෙන්, ග්‍රැමෆෝනයෙන්, ජූක් බොක්ස් එකෙන්, එල් පී තැටියෙන්, කැසට් පටියෙන්, සීඩී තැටියෙන්, ආයාසයෙන් ඇසූ මේ නන්දාගේ ගී පොතේ ඕනෑම ගීයක් අද ඔබට ලොව ඕනෑම තැනක සිට, ඕනෑම වෙලාවක අන්තර් ජාලයෙන් බා ගෙන රස විඳිය හැකිය. අවශ්‍ය වන්නේ අඩුම තරමින් ස්මාට් ජංගම දුරකතනයක් පමණය. හැත්තෑ වසරක් තිස්සේ ඇගේ ජීවිතය පුරා ඇති වූ, හැල හැප්පිලි හා දුක්ඛ දෝමනසස්යන් මතින්, ඇගේ කඳුළු තුළින්, මහත් ආයාසයෙන් නිමවූ, නන්දා මාලිනියගේ ගී පොතේ ආරම්භය දකින්නට, විමසා බලන්නට, හැත්තෑවසරකට පෙර අතීතයට යමු. 

මීට වසර දශක හතකට පමණ පෙර ලංකා ගුවන් විදුලියේ ළමා පිටියේ කරුණාරත්න අබේසේකර සම්පාදනය කළ සරස්වතී මණ්ඩපයට මුල්වරට ගී ගයන්නට මාලිනී නම ඇති දැරියන් දෙපළක් ආහ. එක්කෙනෙක් ඇම්. ඒ. නන්දා මාලිනී පෙරේරා වූ අතර අනික් දැරිය බී. එස්. මාලිනී (බුලත්සිංහලගේ මාලිනී චන්ද්‍රලතා) විය. මාලිනීලා දෙදෙනෙක් සිටීම පටලැවිල්ලක් නිසා 'කරු අයියා' මුලින් ආ දැරිය 'නන්දා මාලිනී' කියා හැ‍ඳින්වූ අතර අනෙක් දැරියට 'මාලිනී බුලත්සිංහල' කියා කීවේය. සරස්වතී මණ්ඩපයෙන් ළමා ගායිකාවන් ලෙස මතු වූ මේ දෙදෙනා ම ගායන ක්ෂේත්‍රයේ ඉහළම ජනප්‍රියත්වයට පත් වූ අතර අද වන විට ඒ ‍දෙදෙනාම අප අතර නැත. එයින් මාලිනී බුලත්සිංහල මීට වසර 25කට උඩදී 51 හැවිරිදි වියේ දී එතෙරදී හදිසි අනතුරකින් ජීවිතය හැර ගියාය. නන්දා මාලිනී ඇගේ 83 වැනි උපන් දිනයට දින තුනක් තිබියදී අගෝස්තු 20 වැනිදා ඇගේ දිවි සැරිය ද නිම කළේ නාවල සිය නිවසේ දීය. ඇය අපෙන් වියෝ වුයේ මහා ගී පොතක් අපට උරුම කර දෙමිනි. 

නන්දාමාලිනිය මෙලොව හැර ගියේ ජාතියේ 'රන් ස්වරය' ලෙස යශෝරාවය නංවමිනි. හෙළයේ මහා ගායිකාව වුවද ඇය ගත කළේ ඉතා නිරහංකාර චාම් දිවියකි. හිසකේ නිතරම තනි කරලක් සේ ගොතා ගෙන චාම් සුදු සාරියකින් සැරසී සිටි ඇය සරල ජීවිතයක අගය ඒ මගින් ලොවට කියා පෑවාය. ඇය රජමැදුරකට ගියත්, දුගී දුප්පතුන් අතරට ගියත්, මහ උළෙලකට ගියත්, සම්මාන උළෙලකට ගියත්, මඟුල් ගෙදරකට ගියත්, ඇය ගියේ ඒ ඇඳුමිනි. ඇය ජනප්‍රියත්වය පතා හෝ මුදල් පතා හෝ ප්‍රාසාංගික වේදිකාවට නැග්ගේ නැත. තමාගේ ම ප්‍රසංග වලින් කළේද ශ්‍රාවකයන්ගේ බුද්ධියේ නිම්වළලු පුළුල් කිරීමය; ජාතියේ ඇස් පෑදීමය. ගායිකාවක ලෙස අන් කවරකුවත් නොකළ මහ මෙහෙයක් ඇය අතින් ඉටු විය. ඇය සිය ගීතයෙන් අපේ ජීවිතයේ හැම ඉසව්වක් ම ස්පර් ශ කළාය. ඒ සඳහා මහාචා ර් ය සුනිල් ආරියරත්න ප්‍රමුඛ ලංකාවේ ගේය පද රචකයන් හැමගේ ම සහය ඇයට ලැබුණි. 

නන්දා මාලිනී තරුණ වියේදී මාපිය දෙදෙනා සමග 
කොටහේනේ ඔවුන් නිවස ඉදිරිපිට.

ඇය උපන්නේ 1943 අගෝස්තු 23 වැනිදාය. කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, ලෙවන්දූව නම් ගම් පියසෙහිය. උප්පැන්නයේ නම ඇත්තේ මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනී පෙරේරා කියාය. ඇගේ පියා වින්සන්ට් පෙරේරාය. මව එමලින් ලියනගේ විය. පියා රැකියාව වශයෙන් කළේ ඇඳුම් මැසීමය. ඔහුට කොළඹ කුන්ඩන්මාල්ස් සාප්පුවේ රැකියාවක් ලැබුණෙන් පවුලේ උදවිය සමග කොටහේනේ හැටේ වත්තේ (කාසෙට්ටි වත්තේ) පදිංචියට ආවේය. කොළඹ නගරයේ 'වත්තක්' කියන්නේ දිළිඳු ප්‍රජාවට වෙන්වුණු කුඩා ගෙවල් වලින් පිරුණු ප්‍රදේශයකටය. 

ඇගේ පියා එකල ප්‍රසිද්ධව සිටියේ 'කෝට් බාස් උන්නැහේ' ලෙසටය. ඔහුට පඩි ලැබුණේ සතිපතාය. ඒ පඩිය දරුවන් 9 දෙනකුට කන්න දෙන්නට සතියකට ප්‍රමාණවත් නොවූ නිසා ඔහු ගෙදරදීත් කෝට් මැසුවේය. එසේ මසන කෝට් විකුණන්න ගෙනි යන්නේ නන්දා මාලිනීය. සමහර දවසක නිවස අසලින් පාරේ යන අයකු පෙන්වා 'මේ කෝට් එක අන්න අර යන මහත්තයට හරියටම හරි. ගිහින් කතා කරලා දීලා සල්ලි අරන් එන්න.' තාත්තා කියයි. බොහෝ විට සල්ලි එක පාර ගෙවන්ට ඔවුන්ට මුදල් තිබුණේ නැත. ඒ නිසා ඇයට කොටස් වශයෙන් ගෙවන මුදල ගන්නට කීප වතාවක් යාමට සිදු විය. ඇගේ අම්මා රැකියාවක් කළේ නැත. ඇය කළේ දරුවන් බලා ගෙන ගේදොර කටයුතු කිරීමය. දරුවන් 9 දෙනෙකු සිටි පවුලේ නන්දා හතර වැනියා විය. නන්දා මූලික අධ්‍යාපනය සඳහා කොටහේනේ ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළු වූවාය. (පානදුරා වාදයට මුල් වූ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් සිහිවීම පිණිස පිහිටුවන ලද්දකි.) 

ඒ පාසලේ සාහිත්‍ය සංගම් රැස්වීම්වල දී ඇගේ ගායන හැකියාව කැපී පෙනුනි. පන්ති බාර ගුරුතුමිය වූ ටී.එන්. මාග්‍රට් පෙරේරා මහත්මිය නන්දාව ලංකා ගුවන්විදුලියෙන් පැවැත්වුණු දීපව්‍යාප්ත ගී තරගයකට යොමු කළාය. ඒ 1956 දීය. එය 'එයාෂිප් මහා ගී ගායනා තරගය' නම් වූ ඒ වැඩ සටහන නිෂ්පාදනය කළේ ආරියසේන මිල්ලවිතානච්චි ය. වැඩ සටහන මෙහෙය වූයේ වෙළඳ සේවයේ ප්‍රෙස්පර් ප්‍රනාන්දුය. බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ පැවති එම තරගයෙන් පළමු වැනියා වුයේ නන්දා මාලිනීය. ඒ වන විට ඇය 13 හැවිරිදි වියේ පසුවූවාය. තරග ජයග්‍රහණය පුවත්පතක පළ වූ පසු ඒ තරගයෙන් දෙවැනි තැන් ගත් පිරිමි ළමයා ඇයට සුබ පතා ලියුමක් එවීය. 'ඇයට පළමුවන තැන ලැබීමත්, තමාට දෙවන තැන ලැබීමත් ගැන තමා සතුටු වන බව' දන්වා සිටියේය. ඒ අනිකකු නොව පසුව මහා ගායකයකු වූ වික්ටර් රත්නායක බව ඇය හෙළි කළේ වසර හැටකට පසු ඇය ඉගෙනගත් පාසලේ විශේෂ ආරාධිතයකු වශයෙන් සහභාගි වෙමිනි. 

"මට එයා ෂිප් ගී ගායනා තරගෙන් ප්‍රථම ස්ථානය හිමි වුණා. තෑග්ග හැටියට ලැබුණේ බොම්බයට යන්න එන්න ගුවන් ටිකට් පත් දෙකක්. ඒ තෑග්ග ගන්න මමයි තාත්තයි, ඒ තරගය පවත්වපු එයාෂිප් සබන් ජාතිය විකුණපු ඉම්පීරියල් ලෙදර් සමාගම සොයා ගෙන ගියා. ඒක තිබුණෙ පිටකොටුවෙ, ඔරලෝසු කනුව ළඟ. මමයි කථා කළේ. 'මම කිව්වා අපි හරිම දුප්පත් සර්! අපට ඒ වගේ ගමනක් යන්න බැහැ. දන්නෙත් නැහැ. අපට පුළුවන් නම් ඒ වෙනුවට යන මුදල දෙන්න' කියලා. ඒ ගොල්ලො සාකච්ඡා කරල එවේලේම අපට රුපියල් 1200ක් දෙන්න කැමති වුණා. ඒ සල්ලි අරගෙන මම තාත්තාට කිව්වා 'අපි හොඳ සරුවත් දෙකක් බොමු' කියලා. ඒවා බීලා එන ගමන් මම කිව්වා, 'අපි විදුලි ඉස්තිරික්කයක් ගමු' කියලා. 'ලයිට් නැතුව?' තාත්තා ඇහුවා. 'ඉතින් ලයිටුත් ගමු' මම කිව්වා. ඒ නිසා එ් මුදලින් අපි අපේ ගෙදරට ලයිට් ගත්තා, විතරක් නෙවෙයි, තාත්තා එයා මහන රෙදි මදින්න දැලි නාගන පාවිච්චි කරපු පොල් කටු ඉස්තිරික්කෙ වෙනුවට විදුලි ඉස්තිරික්කයකුත්, නිදිමරාගන වැඩ කරන නිසා තාත්තට උණුවෙන් තේ ටිකක් දමා ගෙන බොන්න ෆ්ලාස්ක් එකකුත් ගත්තා." නන්දා මාලිනී ඒ දේශනයේ දී කීවාය. 

නන්දා මාලිනී තම අම්මා ගැනත්, අම්මා තමාට ජීවිතය ගැන කියා දුන් හැටිත්, අපූරුවට ඒ දේශනයේ දී සිහිපත් කළාය. "අපේ අම්මට මං ඉස්කෝලදී කරන දස්කම් බලන්න එන්න හරි හමන් ඇඳුමක් තිබුණේ නෑ. ඒ නිසා ඒ උත්සවවලට ආවේ නෑ. ඒ වුණාට මං ගෙදර ගිහින් විස්තර කියන කොට තමයි අම්මා මට කියන්නෙ, 'මං කාටත් හොරෙන් ඇවිත් සෙනග අස්සෙ හැංගිලා බලන් හිටියා' කියලා." 

"අපට කොච්චර අගහිඟකම් තිබ්බත් අම්ම කවදාවත් ණයට ඉල්ලා ගත්තෙ නෑ. අතේ තියෙන ගානෙන් පිරිමහ ගත්තා. පුංචිම සන්දියේ දවසක් කඩේට ගිය වෙලාවෙ මං මුදලාලිට හොරෙන් ලූනු ගෙඩි දෙකක් අරන් ගියා. 'ගෙදර හරියෙ ලූනු බිකක්වත් නෑ, ඒකයි ගෙනාවෙ' කියලා මං අම්මට ඇත්තම කිව්වා. අම්මා හරියට තරහ ගියා. ලූනු ගෙඩි දෙකත් එක්කම මාව, අම්මා මග දිගට බැණ බැණ කඩේට එක්ක ගිහින් මුදලාලිට මං කළ වැරැද්ද කියල සමාව ඉල්ලලා මගේ අතින්ම ආපහු දෙන්න ඒක ආපහු දෙන්න සැලැස්සුවා. මුදලාලිත් ඒකට හිනාවුණා." 

එයා ෂිප් තරගය දිනුවාට පසුව, මාගරට් පෙරේරා ගුරුතුමිය ගුවන්විදුලියේ ළමා පිටියට නන්දාව කැන්දා ගෙන ගියේ අලුත් ගවුමක් මසා අන්දා ගෙනය. 'මේ ළමයා ගායනයට හරිම දක්ෂයි. ගිය සතියේ එයා ෂිප් තරගය දිනුවා. අන්තිම දුප්පත් පවුලක ළමයෙක්. පුළුවන් නම් උදවු කරන්න.' කියා කරුණාරත්න අබේසේකරයන්ට බාර කළාය.නන්දා මාලිනීට එහිදී නිතරම අවස්ථාව ලැබුණේ කවි ගායනා කරන්නටය. නැත්නම් වෙනත් අයගේ ගීවලට අත්වැල් අල්ලන්නටය. නන්දාමාලිනී තමාට තනිවම ගීයක් ගයන්න අවස්ථාව එනතුරු මහත් ඉවසීමෙන් බලා සිටියාය. අන්තිමේ දී ඒ අවස්ථාව උදා විය. එහිදී ඇයට ගයන්න ලැබුණු ප්‍රථම ගීතය ‘බුදු සාදූ' නම් බුදු බැති ගීයයි. ඒ ගීයෙන් ඇය එක රැයින් ජනප්‍රිය වූවාය. එපමණක් නොව වසර 72කකට පසු එය අදත් නිතර ඇසෙන ළමා ගීයක් බව කිවයුතුය. ඒ ගීය එවකට ළමා පිටියේම සාමාජිකයකු වූ අශෝක කොළඹගේ ගේ රචනයකි. සංගීතවත් කළේ ඩී. ඩී. ඩැනී ය. 

                                                        නන්දා මාලිනී රන්මුතුදූව 
                                                                  චිත්‍රපටයේ ගී ගැයූ කාලේ

ඒ දවස්වල අමරදේවයන් සේවය කළේ ලංකා ගුවන්විදුලියේය. ඒ ගීතයෙන් පසු නන්දා මාලිනීගේ දක්ෂතා හඳුනා ගත් අමරදේවයන් ඒ දිනවල ඔහුට සංගීතය බාර වී තිබුණු "රන්මුතු දූව" (1963) චිත්‍රපටයේ පසුබිම් ගායනයට එක්කර ගත්තේය. එහිදී ඇය මුලින්ම ගායනයෙන් හවුල් වූයේ බොදු බැති ගීයකටයි. ඒ අමරදේව ඇතුළු පිරිස සමග ගැයූ 'බුද්ධදිවාකරයාණෝ' නම් ගීතයටයි. අනතුරුව ඒ චිත්‍රපටය සඳහා යුග ගීයක් ගයන්නට ද ඇයට අවස්ථා සැලැසුණේය. ඒ එවකට ප්‍රකට ගායකයකු වූ නාරද දිසාසේකර සමගය. 'ගලන ගඟකි ජීවිතේ' නම් වූ ඒ ආදර ගීතයට එදා මෙදාතුර බිහිවූ ආදර ගීත අතර සුවිශේෂ තැනක් හිමි වෙයි. එහි රචනය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ගේ ය. තනුව අමරදේවයන්ගේ ය. මෙරට ප්‍රථම වර් ණ චිත්‍රපටය වූ රන්මුතු දූවට ගැයූ ඒ ආදර ගීතය වසර 65කට පසු අදත් එකසේ ජනප්‍රියය. නන්දා මාලිනී චිත්‍රපට පසුබිම් ගායිකාවක වශයෙන් එක රැයින් ජනප්‍රිය වූවා පමණක් නොව හොඳම චිත්‍රපට ගීතය ලෙස සරසවි සම්මානයෙන් ද පුදනු ලැබීය. 

ඇය සංගීතය ශාස්ත්‍රීය වශයෙන් හැදෑරීමකට ගියේ ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත් වීමෙන් පසුවය. ඒ, ප්‍රවීණ සංගීත ගුරුවරයකු වූ බී. වික්ටර් පෙරේරා යටතේය. ලංකා ගුවන් විදුලියේ ගායන පරීක්ෂණයෙන් ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක වූවාය. ඇය සංගීතය හැදෑරීමට එවකට මෙහි පැවති උසස්ම ආයතනය වූ හේවුඩ් කලායතනයෙන් ද වසරක කාලයක් සංගීතය හැදෑරුවාය. අනතුරුව 1963 දී ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීතායතනයට ඇතුළු වූවාය. 1984 දී ඇය විශාරද උපාධිය ගත්තේ ප්‍රථම පන්තියේ විශිෂ්ට සාමාර් ථයක් ද සහිතවය. 

ඇය 'නන්දා මාලිනී ආශ්‍රමය' නම් සංගීත ඇකඩමිය පටන් ගත්තේ ඉන්පසුවය. ඇය එමගින් වසර දශක හතරක් තිස්සේ නව පරම්පරාවේ දරුදැරියන් දහස් ගණනකගේ සංගීත කුසලතාව වැඩෙව්වාය. ඔවුනට තම දැනුම හා ආකල්ප බෙදා දුන්නාය. 

හෙළයේ මහා ගාන්ධර්වයා වූ අමරදේවයන් නන්දා මාලිනිය සිය සංගීත නිර් මාණ කටයුතුවලට එක් කර ගැනීම ඇගේ දිවියේ තවත් ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් විය. ඔහු සුභාවිත ගීතය වෙනුවෙන් කළ 'මධුවන්තී' වැනි වැඩසටහන්වල ගීත ගායනයට නන්දාමාලිනී හවුල් කර ගත්තේය. මහගම සේකර ලියූ 'සන්නාලියනේ ... සන්නාලියනේ' වැනි ගීත ගයන්නට ඇයට අවස්ථාව ලැබුණේ ඒ නිසාය. 

1971 දී 'ශ්‍රවණ ආරාධනා' නමින් ගීත ප්‍රසංගයක් කිරීමට නන්දා මාලිනී පණ්ඩිත් අමරදේව හා එක්වූවාය. එයින් ලැබූ පන්නරයෙන් පසු නන්දා මාලිනී 1973 සිට තනිවම ඒ ප්‍රසංගය පවත්වා ගෙන ගියාය. එය මෙරට ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගය විය. වසර හයක් තිස්සේ එහි ප්‍රසංග වාර 530ක් පැවැත්විණ. 

නන්දා මාලිනීට සුනෙත් ගෝකුල හමු වුණේ ගුවන්විදුලියේ සේවය කරද්දීය. ඒ කාලේ චිත්‍රසේනගේ 'කරදිය' මුද්‍රා නාට්‍යයේ අමරදේවයන්ගේ ගායන වාදන වෘන්දයට ඒ දෙදෙනා ද අයත් විය. ඒ කාලයේ දැන් මෙන් නොව නාට්‍යවල ගායනය හා වාදනය සජීවීව ඉදිරිපත් කිරීමට සිදු විය. ඒ සංචාරයේ දී ඔවුන්ගේ ඇසුර ආදරයකට හැරිණ. එය පසුව විවාහයෙන් කෙළවර විය. ඒ විවාහයෙන් නන්දා මාලිනීට වරුණි සරෝජා හා අමා සාරධා යන දියණියන් දෙදෙනකු ලැබිණ. පසුව සුනෙත් එයාගේ ගෝලයකු හා පෙමින් වෙළුණේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය මවක වූවාය. ඔහු ඇයට බාර දුන් නන්දා ඔහුගෙන් වෙන් වී දරුදෙදෙනා සමග තනිවම ජීවිතයට මුහුණ දෙන්නට තීරණය කළාය. එය නන්දා මාලිනියගේ සැබෑ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. 

නන්දා මාලිනී දරුදෙදෙනා සමග

ඇය සිය සංගීත ජීවිතයට වඩාත් කැපවී කටයුතු කළාය. ඇය සංගීතය පුහුණු වීම් කටයුතු මෙන් ම ගායන කටයුතුත් වඩාත් විධිමත්ව වැඩි ජවයකින් කර ගෙන ගියාය. ඇය ගීත සමුච්ච ගණනාවක් පටි ගත කළාය. එහිදී සුනිල් ආරියරත්නයන් වෘත්තිමය කැපවීම හා බහුශ්‍රැත කම ඇයට ලොකු ශක්තියක් විය. සුනිලුන් නන්දාගේ සිතැඟි තේරුම් ගෙන ඔහුගේ පෑන මෙහෙයවීය. නන්දා මාලිනියගේ මහා ගීත පොතේ සින්දු වැඩි හරියක් ලියැවුණේ මේ කාලය තුළ දීය. මේ ගීතාවලියේ වැඩි හරියක් ගීත සුනිලුන්ගේ පෑන් තුඩින් ලිියැවුණු ඒවාය. ඒවා 700කට වැඩි යැයි ඔහු වරක් මා සමග කීය. නන්දාමාලිනිය ගැයූ ගීත අතුරින් පන්සියයකට පමණ තනු සපයන්නට තමාට අවස්ථාව ලැබුණු බව රෝහණ වීරසිංහයන්ද පැවසීය. 

නන්දා මාලිනී - සුනිල් ආරියරත්න සුසංයෝගය ඇති වූයේ 70 දසකයේ ගුවන් විදුලියෙන් සරල ගීයේ මහ පෙරළියක් කළ 'සකුරා මල් පිපිලා' නම් ගීයෙනි. එය සුනිල් ආරියරත්න ලියූ ප්‍රථම සරල ගීයයි. ඊට කලින් ඔහු ගීත ලියා තිබුණේ නාට්‍යවලට පමණය. කලක් තිස්සේ තමාට ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණු සරල ගී නිර් මාණවල පැවති එකාකාර බව නිසා ඔහු හෙම්බත්ව සිටියේය. ඒ නිසා ඒ එකාකාර බව කඩන්නට ඔහුට ලැබුණු මුල් අවස්ථාවේ දීම පියවර ගත්තේය. දිගු ඉඩෝරයකට පසු වැටුණු වැස්සක් සේ රසිකයෝ ද ඉන් ප්‍රබෝධයට පත් වූහ. එහි ප්‍රතිඵලය වූයේ එදා මෙදාතුර ගුවන් විදුලියේ වඩාත් ජනප්‍රිය වූ සරල ගීය මෙය වීමය. මෙය ලියා ඇත්තේ උන්මාද යුවතියක් දකින සිහිනයක් ලෙසටය. නන්දා මාලිනී තමාම තනුවක් යොදා ගායනය කළාය. 

'සකුරා මල් පිපිලා හරි පුදුමයි 
ගේදාරකඩ වන නිල් පියසේ 
නිදිමත නැති වී හිරු පායා ඇත 
උමතුවෙසින් මහ රෑ යාමේ 

'මින් රළ වෙරළේ සක්මන් කළ සඳ 
පා සටහන් ඇති වැලි තලයේ 
නාග පිඹුරු රුදු සිංහ වලස් කැළ 
ඉගිලෙති නටමින් උඩු ගුවනේ 

'යන සෙල්ලම් රිය පෙළ අතරින් 
පාසල් යන විට බෝනික්කෝ 
අකුරු උගන්වති කූඹි සිසුන්හට 
වයසක ගුරුවර සූටික්කෝ' 

මේ ගීතය සුනිල් ආරියරත්නයන්ගේ ගීත රචනයෙහිත්, නන්දා මාලිනී ගේ ගීත ගායනයෙහි පමණක් නොව ගුවන්විදුලි සරල ගීයේද හැරවුම් ලක්ෂ්‍යයක් විය. මේ ගීයෙන් පසු නන්දා මාලිනී තවත් ඉතා විශාල සංඛ්‍යාවක් ගී ගායනා කළාය. ඒ ගීත හැම එකක් ම සමාජයේ හැම කෙනකුගේම හදවත ස්පර් ශ කළා පමණක් නොව ඒ හැමෝටම නව ජවයක් සැපයීය. ඒ හැම තැනකින් ම පාහේ අපට අසන්ට ලැබුණේ සුනිල් ආරියරත්නයන්ගේ දර් ශනය මය. නන්දා මාලිනියට ඉඳහිට වෙනත් රචකයෙක් ගීයක් ලියූවත් එ්වාද සුනිල් නන්දාට ලබා දුන් සන්නාමයට අපූරුවට පෑහුණේය. 

ඒවා අතරින් විශිෂ්ටතම ගීයක් ලෙස අමරදේවයන් තනුව සැපයූ, ඩෝල්ටන් අල්විස් ගේ මේ රචනය දැක්විය හැකියි. මේ ගීතය නන්දා මාලිනියගේ එක පැතුමක් එළි දැක්වීමක් ද විය. 

'උඬඟු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට 
මා පිපුනේ නැත....මේ දෙරණේ...// 

'හිස් මිනිසුන් - කුස් පුරවන 
සිත් පිනවන - බස් දොඩවන 
බොජුන් මේස මත...සුවඳ හලන්නට 
මා පිපුනේ නැත...මේ දෙරණේ 

'රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් 
රණවිරුවකුගේ අවසන් ගමනට 
යන මහජනතා පා දූවිල්ලෙන් 
තැලී වෙලී සැනහී මියයන්නෙම්.. 
'මගේ පරම පැතුම එයයි/// එමගට මා විසි කරන්න..........' 

තවත් ප්‍රකට ගීත රචකයකු වූ මහින්ද අල්ගම ලියූ ගුවන්විදුලි සරල ගීයකි. මෙයට යොදා ගෙන ඇත්තේ නන්දා මාලිනියගේ ම තනුවකි. 

'රුක් අත්තන මල මුදුනේ 
බඹරු නටන හැන්දෑවේ 
සැඳෑ අඳුර පියමන් කර 
කවුරුද එන්නේ පුතුනි බලන් - යොමා නුවන් 
කවුරුද එන්නේ…' 

ගේය පද නිර් මාණයේ දී රූප රචනයෙන් එය අලංකාර කිරීමේ සුවිශේෂ හැකියාවක් ඇති ලූෂන් බුලත්සිංහල රචනා කළ මේ අපූරු ගීය, තවත් එක් විශිෂ්ට නිදසුනකි. මෙහි තනුව ප්‍රවීණ සංගීතඥයකු වූ ඩන්ස්ටන් ද සිල්වාගේය. 

'පිපුණු මලේ රුව එ මල දනීදෝ 
පිපුණු මලේ රුව එ මල දනීදෝ 
මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා 
හැඩ රුව - බලන්නෙපා 
නැති බැරි කම මුතු මාල හතක් වී 
නැති බැරි කම මුතු මාල හතක් වී 
කඩුල්ල පැන එයි නුඹ අත කරලන දා...
නුඹ අත කරලන දා 
කටු මැටි බිත්තිය හැඩකර අඳිනා
රූ හෙවනැල්ලෙන් හිස පීරන්නේ 
නොතළන් හිත මා ආදර දියණියනේ.. 
පාළු කනට නුඹෙ අත නොගැටෙන්නයි 
වීදුරු කැඩපත බිම දැම්මේ 
ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ 
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ 
නොතළන් හිත මා ආදර දියණියනේ...' 

දිවයිනේ ප්‍රකට ගේය පද රචකයන්ට පමණක් නොව නන්දා මාලිනී නවක ගේය පද රචකයන් දිරිමත් කිරීම සඳහා ද පියවර ගත්තාය. ඇගේ 'අරලිය ලන්දට' නම් කැසට් පටයේ සියලු ගී නවකයන් විසින් රචනා කරන ලද ඒවාය. ඒ ගීතවලට තනු සැපයීමට නවක සංගීතඥයන් ද යොදා ගත්තාය. 

නන්දා මාලිනියට හාපුරා කියා ගුවන් විදුලියේදී ගයන්න ලැබුණේ 'බුදු සාදූ' යන ගීතයයි. ඊළඟට සිනමාවට පිවිසෙද්දී ඇයට මුලින් ම ගයන්න ලැබුණේ අමරදේවයන් සමග 'බුද්ධදිවාකරයාණෝ' ගීතයයි. ඒ නිසා ඇය බුදුගුණ ගීවලට විශේෂ ඇල්මක් දැක්වූවාය. ඒ නිසා ඇය 'සාදු නාද' කියා කැසට් පටයක් ද නිකුත් කළාය. ඒ සඳහා ඇය ලංකාවාසීන්ගේ නොමඳ ගෞරවය දිනා ඇති, සියවසකට වඩා පැරණි, රූපසිංහ මාස්ටර් ගැයූ 'දන්නෝ බුදුන්ගේ ගීතය' ද ප්‍රති ගායනා කර එක්කළාය. එය මීට වසර 120කට ඉහත දී නීතීඥ ජෝන් ද සිල්වා, තමන්ගේ සිරිසඟබෝ නාට්‍යය සඳහා විශ්වනාත් ලව්ජි සංගීතඥයා දුන් තනුවකට වචන යොදා සකසා ගත්තකි. (මේ පිළිබඳ විස්තරයක් මවිසින් මීට කලින් 'මල් කැකුළු' වලට ලියා ඇත.) නමෝ නමෝ මාතා ජාතික ගීය බිහිවන්නට පෙර හැම උත්සවයක ම වාදනය කළ ගීය මෙයයි. 'සාදුනාද' ගී සමුච්චයේ දී නන්දා මාලිනිය ගේ හඬින් මෙය ඇසිය හැකිය. 

නන්දා මාලිනියගේ 'හඳ හාමී' ගී සමුච්චයට ඇතුළත් වන්නේ ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස, පූජ්‍ය ඇස්. මහින්ද හිමි වැනි අපේ පැරණි කවීන් ළමයින් සඳහා ලියූ පද්‍ය ඇසුරෙන් සැකසූ ගීතයි. 1990 දී නන්දා මාලිනිය නිකුත් කළ සිංදු හෝඩියට කුඩා දරුවන්ට 'සිංහල හෝඩිය' හඳුන්වා දෙන්නට ගායනා කළ ගීත 16ක් ඇතුළත් වෙයි. 

නන්දා මාලිනිය මෙන් නොව සුනිලුන් උපන්නේ පීඩිත ජනතාව විසූ පරිසරයක නොවේ. ඔහු කුඩා කල ජීවත්වූයේ නුගේගොඩ තිලක උද්‍යානයේය. ඔහුගේ පියා නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඔහු දරුවන්ට හැමදේම නොඅඩුව ලබා දුන්නේය. පාසල තිබුණේ පයින් යන දුරකිනි. විශ්ව විද්‍යාලයට බසයෙන් ගියේද කෙටි දුරකි. ඒ නිසා පොදු ජන ඇසුර ඔහු ලැබුණේ නැත. ඔහුට සමාජය ඇසුරු කරන්න, සාහිත්‍යය ප්‍රගුණ කරන්න මග පෑදුවේ, ලේඛනයට නැඹුරු කරවූයේ ඔහුගේ ලොකු අයියා වූ තිලකරත්න කුරුවිට බණ්ඩාරය. ඔහු ප්‍රවීණ පුවත්පත් කතුවරයෙකි; සාහිත්‍යධරයෙකි; ලේඛකයෙකි. සුනිල්ට සමාජයේ විවිධ ස්තරවල ළමයින් ඇසුරු කරන්නට ලැබුණේ විශ්ව විද්‍යාලයේදීය. ඔහු සිය ආචාර් ය උපාධියට අමතරව ගායනය සඳහා විශාරද උපාධියක් ද ලබා තිබේ. ඔහු ගායනය කළේ ඒ විභාගයට පමණමය. ඔහු ගී ලීවාට කිසිදාක ගයා නැත. ඔහුට සංගීත දැනුම අවශ්‍ය වූයේ සංගීතය පිළිබඳ පොත පත ලියන්නටය. ඔහු දැනටමත් සංගීතය පිළිබඳ පොත්පත් රැසක් ලියා ඇත. ඔහුට සමාජය ගැන පුළුල් දැනුමක් ලැබුණේ නන්දා මාලිනිය ගෙනි. සුනිලුන් නන්දා මාලිනිය වෙනුවෙන් අඛණ්ඩව ගේය පද රචනා කරන්නට තීරණය කළේය. 

නන්දා මාලිනිය මිය යන්නට කලින් ම සුනිල් සම්මුඛ සාකච්ඡාවකදී කීවේ තමා දැන් ගීත ලිවීම නතර කර ඇති බවය. පොත පත ලිවීමත් චිත්‍රපට අධ්‍යක්ෂණයත් පමණක් ඉදිරියේ දී කරන බවය. සුනිල් ගී ලීවේ නන්දාටය. නන්දා ගායනය අත් හැර ඇති බව එයින් අපට ගම්‍ය විය. සුනිල්ගේ දැක්ම නන්දා මාලිනීගේ හා සමපාතී විය. සුනිල් කීවේ ඒ කාලයේ පැවති වතාවරණය අනුව තමා අතින් ඒ ගී ලියැවුණු බවය. නන්දා මාලිනිය ද ඒ ගී ඊට අදාළ කටහඬින් හැඟීම් මුසු කරමින් ගායනය කළාය. ඒ පළමු ගීයෙන් ම සුනිල්ට තවතවත් එවැනි ගී ලියන්නට සිතුණේය. 

සුනිලුන් මුලින්ම 1981 ආරම්භ වූ නන්දා මාලිනියගේ 'සත්‍යයේ ගීතය' නම් ප්‍රසංග මාලාවට ගී ලියුවේය. 1. මේ ජීවන ගංගාධාරයේ, 2. මා හඬනා කඳුළු ගලා, 3. අයියණ්ඩියේ, 4. ඔබේ පැල පැලේ පිළ, 5. බුදුහිමියන්ටත්, 6. කාලයේ වැලිතලා, 7. සඳලුතලේ, 8. පූජාසනයේ, 9. පෙම් ලොවේ දී දුටු, 10. ඔබයි රම්‍ය සඳ කිරණ, 11. මාගේ දේශය, 12. පෙරහර, 13. ලොවම එපාවී, 14. ගහ කොළ ද ඉකිබිඳියි, 15. ප්‍රේමය නම් කිමැයි, 16. කඩමණ්ඩියේ, 17. තුන් හෙළේ කැළෑ තුළ සිංහ පැටව්. මේ ගීතවලට තනුවෙන් දායක වූයේ එච්. එම්. ජයවර් ධන, ඔස්ටින් මුණසිංහ, මර් වින් පෙරේරා, රෝහණ වීරසිංහ, ස්ටැන්ලි පීරිස් යන සංගීතඥයින්ය. 

'පවන'ට ඇතුළත් ගීත 18 මෙසේ ය. 1. ඔබ මට කුමුදෙක් මැයි, 2. සාදු ජන ගණ මන, 3. අවුරුදු දෙදහස් පන්සියයක්, 4. සීතල පොළොවම, 5. ඒලයියා එලාඩො, 6. රණ දෙරණ, 7. යදමින් බැඳ, 8. බමුණා උනත්, 9. කවදා පායද්ද, 10. නිදහස් බයිලා, 11. දන්සැල් දොරේහි, 12. උපාසකම්මා, 13. සඳ එළිය ගගක් වී, 14. දසමසක් මා, 15. විරිදු (බුදුන්දහම්), 16. දනන් රුහිරු බී, 17. වහින්නට හැකි නම්, 18. මොගෝලියානුවනේ, යන මේ ගීතවලට තනුවලින් දායක වූයේ ඔස්ටින් මුණසිංහ, ස්ටැන්ලි පීරිස්, සරත් දසනායක, ගුණදාස කපුගේ, ෂෙල්ටන් ප්‍රේමරත්න, සුනිල් දයානන්ද කෝනාර යන සංගීතඥයින්ය. 

සුනිල්ගේ පර් යේෂණ කෘති අතරේ 'මහින්ද ප්‍රබන්ධ' කියා කෘතියක් තිබේ. ඒ කෘතියට පාදක වුණේ ටිබැට් ජාතික ඇස්. මහින්ද හිමියන් සිය ජීවිත කාලය තුළ කළ කාව්‍ය ප්‍රබන්ධ පිළිබඳ විග්‍රහයකි. උන්වහන්සේ ජීවත්වූයේ ඉංග්‍රීසින්ගේ යටත් විජිත පාලන සමයේය. ඒ කාලයේ උන්වහන්සේ ඉංග්‍රීසීන්ගේ මර් දනයට ලක්වූ සිංහලයන්ගේ නිදහස් සටනට පණ පොවන අදහසින් දේශවාත්සල්‍යයෙන් යුත් මෙවැනි විරෝධාකල්ප කාව්‍ය ප්‍රබන්ධ ගණනාවක් කළහ. 

'කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ 
උස් නිදහස පිණිස සටනට සැර‍ෙසන්නේ 
හිස් මොළ තියෙද්දිත් මේ ගැන නොතකන්නේ 
ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද සිහලුන්නේ' 

සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා පාලනය අතට ගත් අධිරාජ්‍යගැති සිංහල ධනේශ්වර පක්ෂ ඇති කළ පාලනයද අධිරාජ්‍යවාදීනට වඩා වෙනස් නොවීය. දුගී ජන පීඩනය වැඩි විය. යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා තරුණ හා ශිෂ්‍ය පරපුර උද්ඝෝෂණය කරන්නට පටන් ගත්හ. පාලකයෝ විරුද්ධ මතධාරීන් මෙන්ම ශිෂ්‍ය උද්ඝෝෂකයන් හා මාධ්‍යවේදීන් අනීතිකව අතුරුදන් කළහ. අතුරුදන් වූ දරුවන්ගේ අම්මලාට හඬක් වෙන්නට නන්දාට ඕනෑ විය. 'පවන' ගීත ප්‍රසංගය ආවේ ඒ අනුවය. සුනිලුන් ඒ සඳහා ඇස්.මහින්ද හිමියන් කළ ආකාරයෙන් ගී පද බඳින්නට කල්පනා කළේ ඒ කවිවලින් ලත් අනුප්‍රාණය නිසාය. 

1981 අගෝස්තු මාසයේදී ‘සත්‍යයේ ගීතය‘ නමින් ඇය ආරම්භ කළ, නව ආරේ ගීත රැගත් ඒ ප්‍රසංගයට සුනිල් ආරියරත්නගේ විප්ලවකාරී, විරෝධාකල්ප ගේය පද ගණනාවක්ම ඇතුළත් විය. එහි ප්‍රසංග වාර 500ක් පවත්වනු ලැබීය. ඊළඟට ඇය මෙරට මහත් ආන්දෝලනයක් ඇති කළ ප්‍රසංගයකට අත ගැසුවාය. 1987 දී ආරම්භ කළ ඒ ප්‍රසංගය 'පවන' නම් විය. එතෙක් ගායනා කළ ඒවාට වඩා හාත්පසින් වෙනස් ගීත සමුච්චයක් ඊට ඇතුළත් විය. තරුණ පරපුරේ හදගැස්ම එහි තේමාව විය. තරුණ හා ශිෂ්‍ය මර් දනයට එරෙහිව පළමුවරට හඬක් නැඟුණේ ඒ ගීතවලිනි. 

නන්දාමාලිනීගේ ඉල්ලීම මත 'පවන'ට ඒ ගී ලියද්දී සුනිලුන් ඇයට මෙසේ කියා ඇත. 'අපි මේ කරන්නේ භරත මුනිගේ රස නිෂ්පත්ති න්‍යායට සම්පූර් ණයෙන් ම පටහැනි දෙයක්. මේක ඇස්. මහින්ද හිමියන් ලියූ කවි රටාවට සමීප දෙයක්.' ඒ 'පවන' ප්‍රසංගය මාස 18ක් තුළ 200කට වැඩි වාර ගණනක් පවත්වනු ලැබූ අතර ඒ නමින් කැසට් පටයක් ද නිකුත් කෙරිණ. 'පවන' ප්‍රසංගයට එක් වූ ගීත එවකට තිබූ එකම විද්‍යුත් මාධ්‍යය වූ රජයේ ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් විකාශය කිරීම සපුරා තහනම් විය. ඒ වන විට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ නන්දා මාලිනිය ඉදිරිපත් කළ 'සුවඳ පද්ම' නම් ළමා සංගීත වැඩසටහනටද තහංචි වැටිණ. 

එකල තිබුණු එකම ගුවන් විදුලි මාධ්‍යය නන්දා මාලිනියට ඇගේ 'සත්‍යයේ ගීතය'ට හා 'පවන'ට තහනම වැටෙද්දී ඇය කැසට් පටිය වෙතට හැරුණාය. කසට් පටය හා එය වාදනය කළ හැකි යන්ත්‍රය ආවේ ඒ කාලයේය. කැසට් වාදනය කළ හැකි ගුවන්විදුලි යන්ත්‍රය ද මෙරටට ආවෙන් ගුවන් විදුලියෙන් අසනවාක් මෙන් ඒ ගී අසන්නට ශ්‍රාවකයනට හැකි විය. ඊළඟට ඇය කළේ 'සත්‍යයේ ගීතය' හා 'පවන' ප්‍රසංගයක් බවට පත් කර රටපුරා ගෙන යාමය. 

සුනිල් හා නන්දා මාලිනී එක්ව කළ නිර් මාණ හැම එකක්ම, සමාජයේ පවතින සෑම පැතිකඩකටම ආස්වාදයක් ගෙනාවේය. ඒ අතින් ඔවුන්ට මග හැරුණු කිසිවෙක් නැත. එයින් තරුණ පරපුර විශේෂය. 'පවන' ඉදිරිපත් කළේ ඔවුන් සඳහාය. එකාකාර බවින් මිදුණු ගී සංකල්පනා රැසක් ඊට ඇතුළත් විය. 

'පවන' ප්‍රසංගයේ ගීතාවලිය ඇරඹෙන්නේ තමන් ඉදිරියේ ඉන්නා තම සහෘදයා (ප්‍රේක්ෂක ජනයා) ඇමතීමෙනි; ඔහු ගැන කරන වැනුමකිනි. සොබාදහමේ හමුවන අපූරු සංකේතවලින් ඇය සිය ප්‍රේක්ෂකයා අමතයි. ඔබ මට අඳුරු රැයේ එළිය දෙන සුදු කුමුදු මලකි; පිපාසය නිවන දිය දහරකි, මාගේ දේශයේ දොස් දකින ප්‍රඥාවේ ඇස ඔබයි; ඒ නැති කරන අවියත් ඔබයි. රෝග නිධානය සොයා බේත් කළ යුතු බුද්ධදාස රජත් ඔබයි. බැලූ බැල්මට ප්‍රේම ගීතයක් යැයි පෙනුනත් මෙය ඊට එහා ගිය අරුතක් ගෙනෙයි. මට මතක් වෙන්නේ සංදේශ කාව්‍යවල සංදේශය ගෙනයන දූතයා ගැන කරන වැනුමයි. සුනිලුන්ට මිස මෙවැන්නක් ලිවිය හැක්කේ වෙන කවරකුටද? 

'ඔබ මට කුමුදෙක්මැයි - ළා සඳේ රෑ පිපී ආ 
ඔබ මට ගඟුලෙක්මැයි - සා පිපාසා නිවා ආ 
ඔබ මට පහනෙක්මැයි - මාසෙ පෝදා දිලී ආ 
ඔබ මට පවනෙක්මැයි - ගිම් සමේහී හමා ආ 

'ඔබ හට පණැසෙක්මැයි - මා දෙසේ දොස් දකින්ටා 
ඔබ මට අවියෙක්මැයි - ඒ දොසේ මුල් සිඳින්ටා 
ඔබ මට බුදදස්මැයි- රෝග පීඩා සොයන්ටා 
ඔබ මට ඔසුවෙක්මැයි - රෝ නිධානේ තබන්ටා' 

1955 සැඩසුළං චිත්‍රපටයට ලක්මවගේ වැලපිල්ලක් ප්‍රසංග වේදිකා දර් ශනයක් හැටියට ඇතුළත් විය. රටවැසියන්ගේ ඇස් අරවන්නට, මර නින්දේ සිටින ඔවුන් අවදිකරවන්නට විනාඩි හතක් තිස්සේ ගැයූ ඒ දිගු දේශාභිමානී ගීතය ඔබට මතකද? ලෝකයේ විශිෂ්ටතම ගායිකාව වූ ලතා මංගේෂ්කාර් සිංහලෙන් ගැයූ එකම ගීය එයයි. එහි තනුව හා පදමාලාව අපේ ජාතික ගීය ලියූ ආනන්ද සමරකෝන්ගේය. 

'ශ්‍රී ..... ලංකා .....මාතා .... මාතා....මා ප්‍රියාදර ජය භූමි// 
සිරි දැරු හෙළදිව පුරාතනේ ...... 
සිරි දැරු හෙළදිව පුරාතනේ ජය කොඩි 
නැංවු වීර විකුමැති මා රම්‍ය දරුවනේ 
කෝ අනේ අද දිනේ කිම වුණේද දරුවනි අහො... 
නෑ පෙනෙන්ට කිසි තැනේ- නෑ පෙනෙන්ට කිසි තැනේ 
කොයි ගියේද මා දමා - පෙම්බර මා පැටවුනේ// 
ලකඹර ජය කෙහෙළි නගා - සැමට සුසිරි සෙත සදා// 
කර ශ්‍රී සෞභාග්‍ය ළඟා - ගියේය මා දුකෙහි දමා 
කෝ අනේ අද දිනේ කිම වුණේද දරුවනි අහො...// 
නෑ පෙනෙන්ට කිසි තැනේ...// 
කොයි ගියේද මා දමා - පෙම්බර මා පැටවුනේ// 
ජන අද දුකඳුරෙහි ගිලී - ඇයි මේ ලෙස දිළිඳු වී..// 
ඇසැර බලව් හිඳ අවදිව ලක යයි පිරිහී...// 
හෝ ...... සැහැසි ක්‍රියා නිතර කෙරෙති....// 
දුසිරිතටම ඇදි ඇදී - නොඉඳ මෙ මර නින්දේ අද 
එනු එනු පිබිදී .../// ' 

මේ ගීය සංගීතය, තාක්ෂණය, ගායනය හා සෞන්දර් යාත්මක ගුණය අතින් ඉතා විශිෂ්ට එකක් වුවත්, වේදිකාවක කියැවෙන සටන් පාඨයකට වැඩි දෙයක් එහි නැත. නමුත් එම අදහසම ආචාර් ය සුනිල් ආරියරත්නයන් නන්දා මාලිනියගේ හඬින් 'පවන' වේදිකාවට ගෙනා මේ ගීය විමසා බලන්න. මේ ගී දෙකම ඔබට අන්තර් ජාලයෙන් අසන්නට පුළුවන. 

'අවුරුදු දෙදහස් පන්සිය වසරක් දැන් වයසකි මට මගේ පුතුනේ 
ලේ කිරි දුන් උන් ලේත් උරා බී ලේ කඳුළක්වත් නෑ දෙතනේ 

'දරුවන් හැදුවා දරුවන් වැදුවා උන් වැඩි හරියක් සොර දෙටුවෝ 
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට වින කෙරුවෝ 

'උනුන් කොටවාලා උගුල් අටවලා රජවෙති මගේ උන් හැමදාමත් 
මගේ රජදරුවන් මගේ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් 

'තමන් හැදුන මිස නංගිල්ලා මල්ලිලා හදන්ට ඕනෑකමක් නැතී 
ගේ දොර කනකර උගසට තියලා වළඳත් විකුණාගෙන බුදිතී 

'උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවන් මිය ඇදෙතී 
මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී 

'අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමා යුෂ මට ඇති බැවිනී 
මගේ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරුගෙන් මා ගලවා ගනු මැනවි' 

ඒ ගීයෙහි එන හී සර වන් වදන් ශ්‍රාවකයාගේ හදපත්ලටම වැදී එය කම්පනයට පත් කරයි. නන්දාමාලිනිය ගයන්නේ සත්‍ය බව වැටහෙයි; ඇස් ඇරෙයි. මර නින්දේ සිටින ජනතාව අවදි කරන්නට වඩා සමත් කොයි ගායනයද? 

එතැනින් නොනවතින නන්දා මාලිනිය ඊළඟට නඟන්නේ යුක්තිය හා සාධාරණය ඉල්ලා කෑ ගැසීමේ වරදට අනීතිකව අතුරුදන් කළ තම දරුවන් ගැන අම්මලාගේ හඬයි. සුනිල් මේ වදන්වලට පෙරළන්නේ මෑත අතීතයේ සිදු වූ දේවල් ය. ඔහු මේවා ලියන්නේ යළි මෙවන් දේ නොවන්නට පාලකයන් පොලඹවන්නටය. ඒත් 'පවන' තහනම් වූයේ මේ ගී නිසාය. 

'යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න 
ඉඳිකටු ඇණ ඇලි තලා දෙතිස් වධය පමුණුවන්න 
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදක් නම් 
කුමට මෙරට අධිකරණය, නීතිය හා විනිසුරන් 

'මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනූ 
කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන කොටනූ 
සංග්‍රාමයට නව ගුණ වැල නොගෙන එනූ 
සංග්‍රාමයෙන් පසු නව ගුණ වැල අගට ගනූ 

'බමුණා වුනත් දුදනෙකු නම් බිම හොවනු 
සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු 
හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු 
දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු 

'බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු 
දෑගොත් කුල නුදුටු උන් බණ පිළි පදිනු 
වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු 
වැදි බණ දෙසන සඟ ඝන උව පිටු දකිනු 

'සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු 
පාවා දෙන එවුන් මූනට කෙල ගසනු 
කසයෙන් තලා හිස පලඳා කටු ඔටුනූ 
ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ 

'රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු 
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු 
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු 
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු' 

ජන පීඩකයන්ට එරෙහිව ලියැවුණු හීසර වන් වදනින් සැරසුණු මේ ගීත ශ්‍රාවකයන්ගේ හද පත්ලට ම වැදෙන අයුරින් නන්දා මාලිනී ගායනය කළාය. 'පවන' ප්‍රසංගය එකල ලාංකීය සමාජ, දේශපාලනික සහ සංස්කෘතික පරිසරය තුළ දැඩි කම්පනයක් ඇති කිරීමට සමත් විය. ඒ ප්‍රසංගයේ එන විරෝධාකල්ප ගී ජනතාව අතරට යන එක වළක්වන්නට පාලක පක්ෂය තීරණය කළේය. ඒ ගී ගුවන් විදුලියෙන් විකාශය කිරීම තහනම් කෙරිණ. කසට් පටිය ව්‍යාප්ත වීම නිසා ජනතාව අතර උද්ඝෝෂණයන් ඇති විය. 80 දසකයේ අගභාගයේ දී මේ උද්ඝෝෂණ තීව්‍ර විය. එවකට සිටි පාලකයන් කල්පනා කළේ ඔවුන් ඔත්තු සේවාවන් ගෙන් දැන ගත් පරිදි විරෝධාකල්ප දරන්නන් ඇත්තේ ලක්ෂ දෙකහමාරක් තරම් වන බැවින්, එයින් තෝරා ගත් පනස් දහසක් මරා දැමුවහොත් ඔවුන්ට කරදරයක් නැතිව රට ඉදිරියට ගෙන යා හැකියැයි එවකට සිටි ආරක්ෂක ඇමතිවරයා කැබිනට්ටුවට කී බව අපට අසන්නට ලැබිණ. 

සුනිල්ට සහ නන්දාට අවශ්‍ය වූයේ බ‘ටෝල්ඩ් බ්‍රෙක්ට් මෙන් ජනතාවට ඇත්ත පෙන්වා දී වැරදි නිවැරදි කරවන්නටය. ඔවුන් දෙදෙනා කිසිම පක්ෂයකට, කිසිම පාටකට නතු වූයේ නැත. ඔවුන් දෙදෙනා උතුර දකුණ වෙනුවෙන් වෙනසක් නැතිව සිය නිර් මාණ තුළින් කතා කළේ එය යුගයේ අවශ්‍යතාවක් වූ නිසාය. අන්තිමේ භීෂණය ඔවුන් දෙදෙනා කරා ආවේය. ජීවිත බේරා ගැනීමට ඉන්දියාවට පැන යාමට ඔවුන්ට සිදු විය. ඒ ගැන නන්දා මාලිනී කීවේ මෙසේය: 

"88-89 භීෂණ කාලේ මට ජීවිතය බේරා ගන්න රට හැර යන්න වුණා. අම්ම කිව්වා ‘උඹ පලයන්. උඹ කවදහරි එනකන් මං මැරෙන්නෙ නෑ. පරිස්සමට ගිහින් වරෙන්‘ කියලා. අවුරුදු තුනකට පස්සෙ මං ආපහු ඇවිත් අම්මාට කෝල් එක්ක දුන්නා. 'අම්මෙ මං ආව. තව ටිකකින් අම්මාව බලන්න එනවා' කියලා. එහෙම කියලා අම්මා බලන්න ගියාට මට අම්මාව පණ පිටින් බලන්න හම්බ වුණේ නෑ. මං ගෙදරට ගොඩ වෙන කොට ම අම්මගෙ පණ ගිහින් තිබුණා. අම්මගේ හුස්ම ටික යන වෙලාවෙ එයා ගාව ඉන්න ලැබුණෙ නෑ."යැයි නන්දාමාලිනී පාලනය වෙනස් වූ පසු යළි ආවාය. 

ඉන්දියාවේ චෙන්නායි නුවරට ගිය සුනිලුන් පෙරළා ආවේ දෙමළ බස හා සාහිත්‍යය වැඩිදුර අධ්‍යයනයක් කිරීමෙන් පසුවය. ඔහු 1991 දී 'දෙමළ සාහිත්‍යය' ගැන පොතක්ද සම්පාදනය කළේය. 

වසර දශක කීපයක් තිස්සේ පීඩිත නිර් දන පන්තිය හා තරුණ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් යුක්තිය, සාධාරණත්වය ඉල්ලා නන්දා මාලිනී ගීයෙන් හඬගා කීවාය. ඒ ගීත සියල්ල ලියැවුණේ සුනිල් ආරියරත්නයන්ගේ පෑන්තුඩිනි. රජු ජනතා විරෝධී නම්, රජුගේ තීන්දු තීරණ නිතරම වැරදි නම්, ඒ රජු පලවා හරිනු යැයි ඇය ගීයෙන් එදා කී දෙය ජනතාවට අවබෝධ වූයේ දසක හතරකට පසුවය. 

2022 වසරේ දී පාලනයේ 'වෙනසක්' ඉල්ලා සාමකාමී ජන අරගලයක් දියත් කෙරිණ. එහි ප්‍රධාන උද්ඝෝෂණ පාඨය වූයේ 'Gota go home' යන්නයි. ගාලුමුවදොර පැවති ඒ අරගල භූමිය 'ගෝටාගෝ ගම' කියා නම් කෙරිණ. ඒ අවස්ථාවේ එහි පැමිණි ඇය සිය විරෝධාකල්ප ගී ගයා විරෝධතාකරුවන් දිරිමත් කළාය. 

ඒ අරගලයට එක්ව සිටි ජනතාව, දේශපාලනික වශයෙන් එක් පක්ෂයකට, එක් පාටකට සීමා වූ අය නොවූහ. නිර් දන පන්තිය පමණක් නොව මැද පන්තියත්, ධනපති පන්තියත් නියෝජනය කළ පිරිස් ද ඊට එක්ව සිටියහ. පීඩිතයන් පමණක් නොව පීඩනය බලා සිටිය නොහැකි ජනයාද රටට ආදරය කළ විප්‍රවාසීව සිටි පිරිස් ද ඊට අනුග්‍රහය දැක්වූහ. අරගලය පැවති මුළු කාලය තුළම රට පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වරින් වර පැමිණ ඊට මුළු හදවතින් ම අනුග්‍රහය දැක්වූහ. ඒ හදවත් එසේ ඒකාත්මික වන්නට නන්දා මාලිනියගේ මේ ගී හේතුවක් වූවා නිසැකය. වසර දෙකකට පසු යුක්තිය, සාධාරණත්වය, සමානත්වය රජයන ජනතාවාදී රජයක් බිහිවිය. ඇගේ ජීවිත කාලය තුළ එය දැක ගන්න හැකි වීම ගැන ඇය සිටියේ සතුටිනි. 

ඇය ගීත ක්ෂේත්‍රයට කළ මෙහෙය අගයමින් සෞන්දර් ය කලා විශ්ව විද්‍යාලය ආචාර් ය උපාධියක් පිරිනැමීය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් විසින් කාන්තා කලාකාරියක මෙසේ ඇගයූ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්වෙයි. නන්දාමාලිනීගේ 82 වන ජන්ම දිනය දා ඇයට උපහාර පිණිස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මැදිරි අංක 9 ‘නන්දාමාලිනී මැදිරිය‘ ලෙස නම් කෙරිණ. 

නන්දා මාලිනී ඇය වෙනුවෙන් 2004 දී නම් කළ 
විශේෂ ඕකිඩ් ප්‍රභේදය වූ නන්දා මාලිනී ඇස්කොසෙන්ඩා සමග

ශ්‍රී ලංකා ඕකිඩ් සංගමය ද ඇයට ගෞරව දැක්වීමට, ඇය ජීවත්ව සිටිය දී, 2004 දී දුර් ලභ ඕකිඩ් විශේෂයක් 'නන්දා මාලිනී ඇස්කොසෙන්ඩා' (Nanda Malini Ascocenda) කියා නම් කළේය. එය ගායිකාවකට එවැනි ගෞරවයක් පිරිනැමූ ප්‍රථම හා එකම අවස්ථාව විය. 

නන්දා මාලිනී සිය එකම පැතුම ගීයකින් ගයා ඇත. එයත් නන්දා මාලිනී සිය 'පවන' ප්‍රසංගයට එක්කර ගත්තාය. එහි පද රචනය සහ තනුව සුනිල් දයානන්ද කෝනාර ගේය. 

'වහින්නට හැකි නම් ගිගුම් දී 
වියළි ගම්බිම්වලට ඉහළින් 
ඉදෙන්නට හැකි නම් බතක් වී 
බතක් නොඉදෙන පැලක රහසින් 

'රැඳෙන්නට හැකි නම් ළමා කැළ 
හඬන දෙතොලග සිනහවක් වී 
පිපෙන්නට හැකි නම් තුරින් තුර 
නෙළා ගත හැකි වනමලක් වී 

'නිදන්නට හැකි නම් දෙනෙත් තුළ 
සැබෑ වෙන සුබ සිහිනයක් වී 
ගැයෙන්නට හැකි නම් දොරින් දොර 
ලොවම පුබුදන ගීතයක් වී' 

සුනිල් ආරියරත්න නන්දාමාලිනීට ගයන්නට, ගජමන් නෝනා ගැන ලියූ ගීයෙන් ද ඉස්මතු කළේ මේ සමාජ අසාධාරණයයි. ගජමන් නෝනා කිවිඳියගේ කවි ආර සුනිලුන් මේ සඳහා යොදා ගෙන තිබීම ද විශේෂයකි. 

'පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය 
ගමේ අයට නම් ගජමන් නෝනා ය 
කවි කර කියන්නේ දෑහින් දුටු දේය 
වට වන්දනාවෙදි නඩයම දුටු දේය 

'වඳිනට ගිය කල නුවරට දළදාව 
ගමේ චන්ඩි ඉස්ටැන්ලි ද සිටියාය 
යාළු නිළමෙලා දොර ඇර දුන්නාය 
ළගටම ගිහින් ඔහු දළදා වැන්දාය 

'හම්බන්තොටින් පසු කර ලුණු ලේවාය 
කතරගමට අපි යහතින් ආවාය 
සිටියදි පෝලිමේ අපි ගෙන පූජාව 
සීයේ කොළවලට මුල් තැන ලැබුණාය 

'සිරි මහ බෝධියට ගිය දා උදයේම 
කාර් ගොඩක් ආවා එක එක පාට 
තෙරපී සිටිය දී අපි පඩි පෙළ ගාව 
ඒ මහතුග රන් වැට පැන වැන්දාය' 

අද ඇය 'තමාට චෝදනා කරන අය' ගැනත් නන්දා මාලිනී ගීයක් ගයා තිබේ. සුනිල් ආරියරත්න ලියා ඇති ඒ ගීයට තනුව යොදා ඇත්තේ එච්. එම්. ජයවර්ධන ය. 

'පූජාසනයේ ඔබ හිඳුවා 
ඔබට පුදන ලෝකයමයි 
හෙට ඔබට එරෙහි වී නැගී සිටින්නේ 

'ඉසුරින් කිත් යසසින් බබළන දා‍ 
ඔබගේ බැණුමත් ගීතයක් වේ 
 ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා 
සිනාසුනත් එය වරදක් වේ 

'කිරියෙන් පැණියෙන් උතුරා යන කල 
ලොව ඔබ පාමුල හඬා වැටේ 
අතමිට හිග වී බෙලසුන් වන කල 
ලොව ඔබ හිස මත කඩා වැටේ 

තමාගේ මරණය ගැනත් නන්දා මාලිනිය ගීයක් ගයන්නට අමතක කළේ නැත. එය සුනිලුන් වචනවලට පෙරළා ඇත්තේ මෙසේය. 

'දහසක් ඉපදී මිය යන පොළොවේ 
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි 
මා මළ බව මුළු රටට දැනෙන ලෙස 
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි 

'ගස් ගල් ඇතිවී නැතිවී යන සඳ 
වන මැද දියවැල් මතුවී වීයැළේ 
එවන් ගසක් දිය දහරක් වන්නද 
මවකගෙ කුස තුළ මා පිළිසිඳුනේ 

'මගේ මුවින් එන වදන් වැලක් තුළ 
අනාගතේ සුබ සිහින මැවේවා 
මගේ සුසුම් වැල් සුළඟට මුසුවී 
උදාර ජීවන සුවඳ දැනේවා' 

ඇත්තට ම ඇය ලොවට දැනෙන ලෙස ජීවත් වූ අසම සම කාන්තාවකි. ඇය අපට ඉතිරි කර ගිය මහ ගී පොත නිසා අපට ඇගේ මුවින් ආ සුනිල වදනින් අනාගතයටත් සුුුුුබ සිහින මවාවි. ඒ වෙනුවෙන් නන්දා මාලිනියටත් සුනිලුන්ටත් අප සදා කෘතඥ වෙමු. 

නන්දාමාලිනී ඇගේ දිගු ජීවිතය තුළ සජීවී ඒක පුද්ගල ගී ප්‍රසංග මාලාවන් 25ක් පමණ පවත්වා ඇත. ඇගේ ගීත චාරිකාවේ සාර් ථක තැන් ලෙස කැපී පෙනෙන්නේ මේවාය: පෙරදා මහ රෑ, පහන් කන්ද, සත්‍ය යේ ගීතය, පවන, හේමන්තයේ දී, තාරුකා ඇස්, පාවෙනා, සින්දු හෝඩිය, කිඳුරියකගේ විලාපය, මඳු බඳුන්, තරු, මල්මඳ බිසව්, සිනමා ගීතාවලෝකන, කිරි මදු වැල්, ලන්ඩනයේ දී ගැයූ ගී, යතුර, හඳහාමි, සංඛ පද්ම, පෙම්බර ලංකා, කුංකුංකුම පොට්ටු, ග්‍රැමෆෝන් ගී, අරලිය ලන්දට, මලට රේණු, නිලම්බරේ, සාරි පොඩිත්තක් සහ පිරිත් පැන් ආදියයි. 

88-89 භීෂණ සමයේ මෙරට පැවති අබිරහස් රාජ්‍ය මර් දනයෙන් දිවි රැක ගැනීමට ඉන්දියාවට පළා ගොස් විප්‍රවාසීව සිටිය දී සුනිල් 'දෙමළ සාහිත්‍යය' නමින් පොතක් ලිවීය. ඒ පොත පිදුවේ, තමාසේ ම විප්‍රවාසීව සිටි නන්දා මාලිනියටය. එය එතෙක් මෙතෙක් පොතක මා දුටු කමණීය, රමණීය, ආදරණීය පිදුම වේ. මම එය මෙම ලිපිය අවසන් කිරීම හඳහා යොදා ගැනීමට කැමැත්තෙමි. 

'ජීවිතයට අමාවක ආ වෙලාවට 
කාටත් හොරා ඔබ පුන්සඳ වුණා මට 
මතු එන භවෙන් මට වෙන් කළ අපායට 
නෑවිත් ඉන්න ඔබ දෙව්ලෙව වලා පිට 

'අමිහිරි කවි ගයන මගේ ජීවිත පොතට 
කව් සිළුමිණ කවියක් විය ඔබ මුවට 
එනමුත් කුකවි මට කවිකම් නැති කමට 
නීරස මෙකවි පද බැන්දෙමි ඔබෙ නමට' 

1979 දෙසැ. 28 අංක 12 E ක්‍රිෂ්ණා පාර, මදුරාසිය. 






අදහසක් පළ කරන්න

0 Comments