කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස සැලකෙන ආචාර්ය ජෙෆ්රි හින්ටන් (Dr Geoffrey Hinton) දැන් ලෝකය යන අත දෙස බැලුවහොත් කිසියම් පාලනයක් ඇති නොකළොත් කෘත්‍රිම බුද්ධි (AI) පද්ධති නිසා මිනිසා වඳවී යා හැකියි බ්‍රිතාන්‍ය රජයට අනතුරු ඇඟවීමක් කර තියෙනවා. ඔහු මේ ප්‍රකාශය කරන්නේ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඉදිරිපත් කර ඇති පනතක් ගැන අදහස් දක්වමිනුයි.
අපේ අනාගතය ගැන අනතුරු හඟවන, කෘත්‍රිම බුද්ධියේ පියා
ආචාර්ය ජෙෆ්රි හින්ටන්
ආචාර්ය ජෙෆ්රි හින්ටන් කෘත්‍රිම ස්නායුක ජාල (artificial neural networks) පිළිබඳව කරන කටයුතු සඳහා ප්‍රසිද්ධියට පත් බ්‍රිතාන්‍ය-කැනේඩියානු පරිගණක විද්‍යාඥයෙකි. ඔහු දැනට මේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස සැලකෙයි.
ඔහු අනතුරු අඟවන්නේ අති-බුද්ධිමත් හෙවත් සුපිරි බුද්ධි පද්ධති (Super intelligent) බිහිකිරීම දැන් පවත්නා තත්වය අනුව 'මිනිස් වර්ගයාගේ වඳවී යාමට' හේතු විය හැකි බවයි. ඒ නිසා එමෙන්ම එවැනි පද්ධති සංවර්ධනය කිරීම තහනම් කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටිනවා. මෙසේ කියන්නේ මේ ක්ෂේත්‍රයෙන් දැනට ඔහු ලබා ඇති අත්දැකීම් හා ඥානසම්බාරය අනුවයි.
සුපිරිබුද්ධිය (Superintelligence) යනු කෘත්‍රිම ඥාන පද්ධතියක් ඕනෑම පුද්ගලයෙකුට, සමාගමකට හෝ ජාතියකට වඩා බලගතු මට්ටමකට පත්වන අවස්ථාවයි. දැනට අප අත් විඳින්නේ අපේ පාලනයට නතු වූ කෘත්‍රිම බුද්ධි අවස්ථාවකි. දැන් ඊළඟ පියවර වශයෙන් කෘත්‍රිම බුද්ධි නිර්මාපකයන් යොමු වී ඇත්තේ සුපිරිබුද්ධිය බිහි කරන්නටයි.
‘කෘත්‍රිම බුද්ධිය ආරක්ෂිතව සහ පාලනය කළ හැකි ආකාරයකට සංවර්ධනය කළ හැකි බවට විද්‍යාත්මක එකඟතාවක් ඇති කරගෙන නොමැති මෙවැනි අවස්ථාවක, සුපිරි බුද්ධිය සංවර්ධනය කිරීමට ඉඩ හැරීම ඉතා මෝඩ ක්‍රියාවක් වනු ඇතැ‘යි ආචාර්ය හින්ටන් පවසනවා.
ඔහු තවදුරටත් කියන්නේ ‘අපට වඩා බුද්ධිමත් AI පද්ධතිවල පාලනය අප අතින් ගිලිහී යාම ඉතාමත් විනාශකාරී ප්‍රතිඵල ගෙන ආ හැකි බවයි. එය මිනිස් වර්ගයාගේ වඳවී යාමට පවා හේතු විය හැකි බවයි.‘
ආචාර්ය හින්ටන් මෙසේ අදහස් දැක්වුයේ 'ControlAI' නම් ස්වේච්ඡා සංවිධානය විසින් කෙටුම්පත් කළ පනතක් කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන ඇලෙක්ස් සෝබල් (Alex Sobel) විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අවස්ථාව සිහිපත් කරවමිනුයි.
කෘත්‍රිම සුපිරිබුද්ධි රොබෝලාට අපේ පාලනයෙන් තොරව
ක්‍රියා කිරීමට අවස්ථාව නොදිය යුතුයි.
මේ පනත හඳුන්වා ඇත්තේ 'කෘත්‍රිම සුපිරිබුද්ධි ආරක්ෂණ පනත් කෙටුම්පත' (UK Artificial Superintelligence Security Bill) කියායි. පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ඒ පනත සම්මත වුවහොත්, එමගින් එක්සත් රාජධානිය තුළ සුපිරිබුද්ධි AI පද්ධති සංවර්ධනය කිරීමට තහංචි වැටෙනු ඇති.
'ControlAI' ආයතනයට අනුව, එක්සත් රාජධානියේ විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 135 දෙනෙකුට අධික සංඛ්‍යාවක් දැනටමත් මෙම ව්‍යාපාරයට සහාය පළ කර තියෙනවා.
"නොබෙල් ත්‍යාගලාභීන්, AI විද්‍යාඥයින් සහ ප්‍රමුඛ පෙළේ AI සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් (CEOs) ප්‍රකාශ කර ඇත්තේ AI හේතුවෙන් ඇති විය හැකි වඳවී යාමේ අවදානම අවම කිරීම සඳහා ගෝලීය ප්‍රමුඛතාවක් ඇති විය යුතුයයි," කියා 'ControlAI' සිය ව්‍යාපාරික ප්‍රකාශයේ සඳහන් කර තියෙනවා.
මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවා මේ කෘත්‍රිම සුපිරිබුද්ධිය නිපදවීම ගැන අදහස් පළ කර තියෙනවා. ඔහු කියන්නේ මෙය නිපදවීමට පෙර පරමාණු බල අධිකාරිය වැනි ජගත් බල අධිකාරියක් ස්ථාපිත කොට දැඩි නීතිරීති හා අධීක්ෂණයක් යටතේ එය කළයුතු බවය. ඔහු කියන්නේ සුපිරිබුද්ධිය මගින් රෝග පාලනය සඳහා නිපදවන ඔසු හා විවිධ පිළියම් හොඳ වුවත් ඒ සමගම මිනිසාට පාලනය කළ නොහැකි දේද පහසුවෙන් සංවර්ධනය කළ හැකි බවය. ඒ නිසා කෘත්‍රිම බිහිකිරීමට තාම කල් වැඩි බව කියන ඔහු ඒ සඳහා පළමුව, ලෝක බුද්ධිමතුන්, කෘත්‍රිම බුද්ධි විශේෂඥයන්, දේශපාලකයන් එක්ව එවැන්නක් ඇති කිරීමේ ප්‍රතිවිපාක විමසා බලා ඒ සඳහා විශේෂ නීතිරීති හා ප්‍රතිපත්ති සම්පාදනය කරගත යුතු බවයි.
"විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව විසින් වැඩි දියුණු කරන ලද, විශේෂිත AI පද්ධති මගින් නව ක්‍රමවේදයන් හා නවෝත්පාදනයන් මගින් දැනටමත් මහජන සෞඛ්‍ය සේවාවන් දැනටමත් ඉහළ නංවා තිබෙනවා. නමුත් ඉදිරියේ දී ඇති කෙරෙන නව සුපිරි බුද්ධි AI පද්ධති මගින් ජාතික සහ ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකියි." ආචාර්ය හින්ටන් තව දුරටත් කියනවා.
වඩාත්ම බලගතු AI පද්ධති සඳහා අනිවාර්ය නියාමන ක්‍රමවේද හඳුන්වා දීමට අවශ්‍ය පියවර නොගෙන, කෘත්‍රිම සුපිරිබුද්ධිය බිහිකිරීමට තතනන අයට ඒ සඳහා ඉඩ හැරියහොත් ඒ අප කරන ඒ අමන ක්‍රියාව නිසා අනාගතයේ එහි ප්‍රතිඵලයක් වශයෙන් මානව වර්ගයා මුළුමනින්ම විනාශ වී යා හැකි බවට ආචාර්ය හින්ටන් තර්ක කරනවා.
පසුගිය වසරේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මෙසේ කියා තිබෙනවා: "කෘත්‍රිම බුද්ධිය (AI) අපට වඩා බෙහෙවින් බුද්ධිමත් හා බලවත් වන විටත් අපට දිගටම පැවතිය හැකි ආකාරය පිළිබඳ විසඳුමක් සොයා ගැනීමට අපට නොහැකි වුවහොත්, අපගේ විනාශය නියත වශයෙන් ම සිදු වෙනවා ඇති."
"කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් කිසිදු නියාමනයක් නොතිබිය යුතු යැයි පවසන තාක්ෂණික ක්ෂේත්‍රයේ පුද්ගලයින්ට එරෙහිව ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති කිරීම අපට හැකියාව තිබිය යුතුයි." ඔහු වැඩිදුරටත් කියනවා.
පර්සි ජයමාන්න
0 Comments