මුද්‍රිත මාධ්‍යවල පළවූ විශිෂ්ට නිර්මාණාත්මක ලිපි ‘මල්කැකුළු’ පාඨකයන්ට හඳුන්වා දීමේ විශේෂාංගයක් අප කලක සිට පවත්වා ගෙන යනවා. අද ඒ වෙනුවෙන් පළ වෙන්නේ පොත් දොරට වැඩීමක් පිළිබඳවයි. පසුගිය දා සමන් අතාවුදහෙට්ටිගේ ‘ඉන්දියන් රේල් පීලි දිගේ’ නවතම කෘතිය දොරට වැඩීමේ උළෙල පැවැත්වුණේ 2026 සැප්. 11දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදියි. ඒ පිළිබඳ ලියැවුණු මේ අපූරු ලිපිය ලියා ඇත්තේ කීර්තිමත් සංගීතවේදියකු වුූ රෝහණ වීරසිංහයි. මේ ලිපිය අප මෙහි පළකරන්නේ ‘සතිඅග අරුණ’ (2026 සැප්. 20දා) පුවත්පතට කෘතඥතාපූර්වකවය.)
පීලිපැන්නේ නැති සමන්ගේ ඉන්දියන් රේල්ලු පොත් උත්සවය ගැන රෝහණ කියන කතාව
සාමාන්‍යයෙන් අපට හුරුපුරුදු පොත් එළිදැක්වීම් පවත්වන්නේම අප දිවා ආහාරය ගෙන හාන්සි පුටුවකට වී පැයක හමාරක ‘ඇලයක්’ දාන වෙලාවට මය. මෙවැනි උත්සව පැවැත්වෙන්නේ ඉඳහිට නිසාත්, ඇරයුම් ලැබෙන්නේ සමීපතමයන් වෙතින් වන නිසාත්, පැහැර නොහැර නියමිත වේලාවට විත් ශාලාව තුළ අසුන් ගත්තද, බොහෝ විට ඒවා ඇරඹෙන්නේ අඩුම වශයෙන් පැය භාගයක්වත් විනාඩි 45ක්වත් ප්‍රමාද වීය. ඉතින් ඉන්පසු ආරම්භයේ සිට නිමාව තෙක්ම අසන්නට දකින්නට ලැබෙන්නේ සාම්ප්‍රදායික න්‍යාය පත්‍රයකට අදාළව සිදුවන පොල්තෙල් පහන දැල්වීම, අමුත්තන් පිළිගැනීමේ කතාව, පොත පිළිබඳ දේශන, ගීත, සාකච්ඡා පොත පිළිගැන්වීම, ස්තුති කතා, තොරතෝංචියක් නැති නිවේදක සංවාද අංග බව අමුතුවෙන් කිවයුතු නොවේ.
සභාව තුළ සිටි බොහෝ දෙනා ගෙදරින් ගෙන නිදිමත නිසා එන ඈනුම් යාම වළක්වා ගන්නටත්, නොදැනුවත්වම නෙතු පිය වීම නතර කර ගන්නටත්, අසීරුවෙන් දරණ වෑයම ඕනෑම අයකුට පෙනෙයි. වුවමනාවෙන් අසා සිටිය ද සමහර දේශකයන්ගේ පඬිවදන් තේරෙන්නේ ම නැත. විහිළු කතාවලට හිනා යන්නේ ද නැත. සමහර කතාවල කාල කලමනාකරණයක් ද නැත. සමහරු මාතෘකාවෙන් පිට පනිති. ඉතින් ශාලාව තුළ සිටින සමහරු විටින් විට තම අත් ඔරලෝසු දෙස බලන්නේ නොඉවසිලිමත්ව බව පෙනෙයි. මෙවන් උත්සව සඳහා යන මා වාඩි ගන්නට රුචියක් දක්වන්නේ ඈත පිටුපස අසුනකය. එවිට නින්දක් ගියත් කැමරාවලට හසුවීමේ අවස්ථා අඩු නිසාය. අනික කම්මැළි හිතුණොත් සුදුසු අවස්ථාවක් බලා පිට විය හැකි නිසාය.
එවන් පසුබිමක මා ප්‍රිය මිතුරු සමන් අතාවුදහෙට්ටි වෙතින් ඇරයුමක් ලැබුණේ ඔහුගේ ‘සොඳුරු සැරිසර‘ පොත් පෙළේ නවතම නිර්මාණයක් වූ ‘ඉන්දියන් රේල් පීලි දිගේ’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය සඳහාය. දිනය 2026 සැප්තැම්බර් 11. වෙලාව 3.30. ස්ථානය ශ්‍රී ලංකා පදනම් ආයතනය විය. මා සමන්ගේ පොත්වලට ඉතා ප්‍රිය කරන්නෙක්මි. ඔහු විවිධ රටවල කළ චාරිකා පිළිබඳව තමා ලැබූ අත්දැකීම් රහ කර ලියන කෙනෙකි. සමන් ඇරැයුම් පතේ සඳහන් කර තිබුණේ 3.15ට පෙර අසුන් ගන්නා ලෙසත්, එසේ නොවුවහොත් රේල්ලුව වැදීමට ඉඩ ඇති බවත්ය. ඒ නිසාම හරියටම 3.10ට ශාලා පරිශ්‍රයට පිවිසුණු මා සුපුරුදු පරිදි පිටුපස කට අසුනකට පනින්නට සුදානම් ව ගිය ද, දොකඩදීම අසුන් ගැන්වීමේ රාජකාරියෙහි යෙදී සිටි ලාලිත්‍ර පල්ලෙගංගොඩ මගේ අතින් ඇද ගෙන ගොස් ඉදිරිපස දෙවන පේළියේ වාඩි කරවූයේ හරියටම කැමරාවකට මුහුණලාය.
සමන්ගේ දැනුම් දීම සාර්ථකය. 3.15 වන විට ශාලාව පිරීතිරී ගොස්ය. වේදිකාවේ විද්‍යුත් තිරය මත වෙළෙඳ දැන්වීම් ගණනාවක් එකිනෙක පෙළගැසෙමින් ප්‍රදර්ශනය වු අතර මගේ බලවත් කුකුසට හේතු වූයේ, වේදිකාව මත කිසිදු අසුනක් හෝ පුද්ගලයකු ද නොමැතිව වම්පස සිට දකුණු පස දක්වා එක පෙළට මයික්‍රෝෆෝන දහයක් පමණක් බිම තබා තිබීමය. වම් කෙළවරේ තබ්ලාවක් සහ මධ්‍යයේ සර්පිනාවක් පමණක් තබා තිබුණු නිසා ඉදිරි හෝරා දෙක තුළ අමුතුතාලේ යමක් සිදුවනු ඇතැයි මම වටහා ගත්තෙමි. ඒ සමන් එවැනි අමුතු වැඩවලට දක්ෂයෙක් බව මා දන්නා නිසාය. හරියට ම 3.30 වෙද්දී වෙළඳ දැන්වීම් ප්‍රචාරය නැවතී තිරය මත දිස්වූයේ මහ හඬ නගමින් ඉදිරියට දිවෙන දැවැන්ත රේල්ලුවකි.
අදාළ පරිසර හා එහි දිස්වූ නාමපුවරු ආදිය තුළින් මේ දිවෙන්නේ ඉන්දියන් රේල්ලුවක් බව පසක් විණි. දැන් අප සියලු දෙනාද ඉන්දියන් රේල්පිලී දිගේ’ ඉදිරියටම යන්නාක් මෙනි. ඒ දසුන් නිමවනවාත් සමගම වේදිකාව ඉදිරියේ පහළ බිම සකසා තිබූ දේශන පුවරුව වෙත ඉක්මන් ගමනින් පැමිණියේ ප්‍රවීණ රංගවේදිනී උමාලි තිලකරත්නයි. ඇය පැමිණ කෙළින් ම කියවා ගෙන ගියේ සමන්ගේ අලුත් පොතේ 248 පිටුවේ සඳහන් ‘කුරසිඕං’ රේල්ලු පොළේ සිට ඩාර්ජලිං දක්වා දිවෙන සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනූ ‘සෙල්ලම් කෝච්චිය’ පරිච්ඡේදයේ මුල් කොටසයි. ප්‍රසිද්ධ ඉන්දීය ආරාධනා චිත්‍රපටයේ ‘මෙරේ සප්නොකි රානී’ ගීතය තිරේ දිස්වෙද්දී වැටහුණේ කිලෝමීටර් 13,000ක්, ප්‍රාන්ත 17ක්, රේල්ලු කලාප 9ක්, රේල්ලු 25ක් තුළ දින 40ක් පුරා සැරිසැරූ සමන් ඒ අතුරින් ප්‍රේක්ෂක අපට වඩාත් සමීප විය හැකි සුන්දරතම ආකර්ෂණීය ආරම්භයක් වෙත අපව තල්ලු කළ අපූරුව.
තිරයේ ගීතය නිමවූ සැණින් දේශන පුවරුව වෙත ආ බිම්සරා ප්‍රේමරත්න ඉංගීසියෙන් හා සිංහලෙන් ඉතා සංක්ෂිප්තව, ව්‍යක්ත ලෙස කතා ඇරැයුම් කළේ පළමු වන දේශකයා වූ හින්දි භාෂා විශාරදයකු වන මහාචාර්ය උපුල් රංජිත් විදානගමගේ වෙතයි. එතුමන්ගේ දේශනයට පාදක වූයේ ‘සමන් නමැති සංචාරකයා සහ ඉන්දියාව’ යන මාතෘකාවයි. තමන්ගේ සංචාර පිපාසාව පිළිබඳ මෙන්ම ඉන්දියානු සංස්කෘතීන්, භාෂා, ඇදහිලි ආදිය පිළිබඳ හසළ දැනුමක් ඇති ඔහු ඉතා සරලව කරුණු දක්වමින් සභාව තමා නතුකරගත් අයුරු ප්‍රශංසනීයය. මහාචාර්යවරයා, සංචාරක යන විශේෂණ පදයට අදාළ සංස්කෘත භාෂාවේ ‘සුමක්කඩ’ වචනය ගෙනහැර දක්වමින් සමන් වෙත එය ආදේශ කළේ ඉතා ප්‍රියජනක ලෙසය. එතැන් සිට ‘අපේ සංචාරක සමන්’, සුමක්කඩ සමන්’ නමින් කීපවරක්ම හඳුන්වාදෙනු ඇසිණි.
උමාලි හා බිම්සරාට අමතරව විටින්විට මේ පොතේ කොටස් ඉතා සිත්ගන්නාසුලු අන්දමින් ඉදිරිපත් කිරීමට සහය වූ තවත් ප්‍රවීණ නිවේදකවරයකු වූයේ මාධ්‍යවේදී චන්දන තිලකරත්නය.
ඊළග ඇරයුම යොමුවූයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් වෙතය. ඔහු කතා කළේ රේල්ලුවක දී සුසංයෝග වන සිරිත් විරිත්, භාෂා, ඇදහිලි, ආහාරපාන, සහෝදරත්වය සහ මනුෂ්‍යත්වය පිළිබඳවය. මේ තරම් විවිධ භාෂා, විවිධ ආගම් ඇදහිලි හා විවිධ සංස්කෘතීන් බහුල ඉන්දියානු රාජධානිය තුළ දින ගණන් දිවා රෑ එක දිගට දිවෙන මේ රේල්ලුව තුළ මේ මාතෘකාවට අදාළ වූ උදාහරණ එකලස් කර ගැනීමට මහාචාර්යතුමාට එතරම් අපහසු නොවූ බව ඔහුගේ හරබර දේශනයෙන් මනාව පසක් විය. බිම්සරාගේ ඊළග ඇරැයුම වූයේ ප්‍රවීණ ඉංග්‍රීසි හා සිංහල ලේඛිකා කියාරි මන්දුලි මෙන්ඩිස් වෙතය. ඇය ඉංග්‍රීසියෙන් පැවැත්වූ දේශනයට පාදක වී තිබුණේ ‘සංචාරයක තැවරුණු ආදරය, අපේක්ෂාව හා ගැඹුර’යි. ඉතා කෙටියෙන් පැහැදිලිව ඒ මාතෘකාව තුළ සැරිසැරූ ඇය ද තම යුතුකම මැනවින් ඉටු කළාය.
ඊළඟට වේදිකාව මත දිස්වූයේ පෙර අප නොවිඳි අන්දමේ නවමු සංගීතමය අරුමයකි. අර මුලින් ම මා කුකුසට පත් කළ ‘අවිධිමත්ව’ තබා තිබූ මයික්‍රෝෆෝන වෙත සුදුවතින් සැරසී පැමිණ හිඳ ගත්තේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ, සංගීත අංශයේ ආචාර්ය මණ්ඩලයේ විශිෂ්ට සංගීතවේදීන් කිහිපදෙනෙකි. මා එවිට සිතූයේ හොඳ රසවත් භාරතීය ශාස්ත්‍රීය සංග්‍රහයක් අපට විඳිය හැකිවෙතැයි කියාය. නැත. එය එසේ නොවීය! සමන් මේ රේල්ලු ගමන යද්දී පසු කළ හා ගත කළ මෙන්ම නිරීක්ෂණය කළ විවිධ ප්‍රාන්තයන්හි ඔහු රසවිඳි විවිධාකාර සංගීත ශෛලීන් හා සංගීතාංග කිහිපයක අපූරු ‘ඇමුණුමක්’ මේ අංගය තුළට ඇතුළත් කර තිබිණි. විද්‍යුත් තිරය මත එක් එක් ප්‍රාන්තයන්හි පිහිටි රේල්ලුපොළවල්වල නාම පුවරු මාරුවෙන් මාරුවට දිස්වෙද්දී ඒ ඒ ප්‍රාන්තයන්හී ප්‍රචලිත ශාස්ත්‍රීය ගී, භජන් ගී, සිනමා ගී ආදිය ප්‍රාන්ත නාම පුවරුවට අනුකූලව බද්ධ කරමින් ගැයූ ඒ ගීතාවලිය අපව මිහිරෙන් මුසපත් කළා කිවහොත් සැබැවින් අතිශයෝක්තියක් නොවේ.
ආචාර්ය අරුනන්ති අරුනන්, විශාරද ගයානාත් දහනායක, සංගීත් නිපුන් අසිත් අතපත්තු, වාද්‍ය නිපුන් මංචන තරුෂාන්, විශාරද රවීන්ද්‍ර අලගියවන්න, සංගීත් නිපුන් සංචලා රත්නායක, සංගීත් නිපුන් පමල්ක මංජිත කරුණානායක යන සංගීතවේදීහු මහාචාර්ය කෝලිතභානු දිසානායකයන්ගේ උපදෙස් මත මීට දායක වූහ.
ඊළග දේශනය සඳහා මයික්‍රෝෆෝනය භාර ගත්තේ විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරාය. ඔහු මාතෘකා කොට ගත්තේ ‘ප්‍රේම ත්‍රිකෝණයක් බව කියැවිණ. සංචාරක ප්‍රේමය, ඉන්දියානු ප්‍රේමය හා චාරිකාලංකාර ප්‍රේමයයි. මා හොඳින් දන්නා පරිදි සමන් මෙන් ම මේ වෛද්‍යතුමා ද සංචාර ප්‍රේමයෙන් උන්මාදයට පත් වූවෙකි. විශේෂයෙන් ඉන්දියානු සංචාරයට ඉතා ප්‍රියමනාප බව ඔහුගේ මුවින්ම ප්‍රකාශ විය. සමන් මේ දේශකයන් අතරට හේමන්ත පෙරේරා තෝරා ගැනීම සුදුස්සාටම සුදුසු දේ ලැබීමකි. ඒ බව ඔහු හාස්‍යය හා උපාහාසය ද මුසු රසවත් දේශනයෙන් සනාථ කොට පෙන්වීය. මේ වන විට වේලාව 5.20 වී තිබිණි. ඊළගට අපට අත්විඳින්නට ලැබුණේ .ව.් අනපේක්ෂිත අති මිහිරි ආශ්වාදයකි. සමන් මේ චාරිකාවේ දී ඉන්දියාවේ අසාම් ප්‍රාන්තය හරහා ගමන් ගනිද්දී ඊට යාඉද මේඝාලය ප්‍රාන්තයේ සිටි එක් සුප්‍රසිද්ධ සංගීතවේදියකු සිහිපත් වී ඇත. ඒ නීල් නොකින්රි නම් ලෝ ප්‍රකට නිර්මාණකරුවෙකි.
ඔහුගේ නායකත්වයෙන් යුතු ‘ෂිලොං චේම්බර් සංගීත කණ්ඩායම’ ලවා ඔහු ගැය වූ ලෝක ප්‍රකට ‘ඩොක්ට ෂිවාගෝ’ චිත්‍රපටයේ එන ‘ලාරාගේ තේමා වාදනය’ හා ඉන්දියාවේ ප්‍රකට ‘මධුමතී’ චිත්‍රපටයේ එන ‘දිල් තඩප් තඩප්’ ගීතයේ නාද මුසුකොට තැනූ නව නිර්මාණය සමන්ට සිහිපත්ව ඇත. ඒ මිහිර අපට ද රසවිඳින්නට ඉඩ හරිමින් ගීතය අවසාන වෙත්ම උත්සවය නිමා විය. මෙතරම් සීරුවට, අපූරුවට මොනයම් හෝ කෘතියක් එළිදැක්වීමේ උත්සවයක් මින්පෙර මා අත්විඳ නැත. එය එතරම් හදබැඳගත් උත්සවයකි.
සභාව තුළ හිටපු ජනාධිපතිවරයෙක් ද, අගමැතිවරයෙක් ද, තවත් හිටපු මැති ඇමතින් රැසක් ද සිටියත් ඔවුන් ලවා පහන් දැල්වීමක් හෝ පිළිගැනීමේ කතාවක් න්‍යාය පත්‍රය තුළ නොතිබිණි. දේශකයන් කිසිවකුත් තමන්ගේ දේශනයට පෙර මෙම ප්‍රභූන්ගෙන් අවසර ගත්තේ ද නැත. පොත් පිළිගැන්වීමේ පෙරහරක් නැත. ස්තුති කතා ද නැත. නිවේදක නිවේදිකා හුරතල් ද නැත. සමන් පේනමානයකට ආවේද නැත. සියලු කටයුතු කිසියම් විද්‍යුත් ස්විචයක් දල්වා ආරම්භ කොට ඒ ස්විචය හරියට පැය 2කින් නිවා අවසන් කළාක් මෙනි.
දේශකයන්ට ඒ ඒ මාතෘකා ලබා දී තිබුණේ සමන් විසින් ම බව මා දැන ගත්තේ පසුවය. මොනතරම් ඥානාන්විතද එය? එසේ නොවන්නට දේශකයන්ගේ කතාවල දී එකම කරුණ කීපදෙනකු අතින් කීප වරක් කියවෙන්නට ඉඩ තිබිණි. කතා කළ අයගේ කාල කලමනාකරණය විශිෂ්ටය. ඔවුන් කිසිවිටෙකත් තමන්ට දී තිබුණු පීලි දිගේ ඉදිරියට ගියා මිස පීලී පන්නා ගත්තේ නැත. මොහොතින් මොහොත අලුත් අලුත් දේ සිදුවූ නිසා සභාවේ කිසිවකුට ඈනුම් ගියේත්, නිදිමත දැනුනේත් නැත. කුතුහලය, වින්දනය, දැනුම උපරිමයෙන් ලැබිණි. උත්සවයක් සංවිධාන කළ යුත්තේ මේ අයුරින් නොවේදැයි මම තරයේ සිතට ගතිමි.
ආචාර්ය රෝහණ වීරසිංහ
0 Comments