නස්රුදින් ගහකට නැගලා අත්ත කෙළවරේ හිඳ ගෙන ඒ අත්තෙම මුල කපන්න පටන් ගත්තා. ඒ අසලින් ගිය මිනිහෙක් දැක්ක නස්රුදින් කරන වැඩේ. ටිකක් වෙලා ඒ දිහා බලා උන් ඒ මිනිහා නස්රුදින්ට කතා කළා.
“හා! හා! උන්නැහේ තමුසෙ ඔය මොකක්ද කරන්නෙ? බලාගෙනයි! ඔහෙ ඔය ඉන්නෙ අත්තෙ වැරදි පැත්තෙ. ඕක කපලා ඉවර වෙන කොට ඔහේව බිමට වැටෙයි! පස්ස බිම ඇනෙයි!” කියලා කිව්වා.
නස්රුදින් ගහ උඩ ඉඳන් ඒ මිනිහා දිහා බැලුවා. “තමුසෙ අනාගතය කියන්න පුළුවන් පේන කාරයෙක්ද? එහෙම නැත්නම් මං තමුසෙව විශ්වාස කරන්න තරම් මෝඩයෙක් කියලා හිතුවද?” කියලා ඒ මිනිහගෙන් ඇහුවෙ තමාගේ වැඩේට බාධා කරන්න ආපු කරදරකාරයෙක් යැයි හිතලයි. නස්රුදින් තමන්ගෙ පාඩුවේ ආපහු ගහ කපන්න පටන් ගත්තා. මිනිහා පුදුම වෙලා නස්රුදින් දිහා බලලා යන්න ගියා.
ChatGPT ඇඳ දුන් චිත්‍රයක්
නස්රුදින් අත්ත කපන්න පටන් ගත්තා. ටික වෙලාවකින් නස්රුදින් කැපූ අත්තත් එක්කම බිමට වැටුණා. පස්ස බිම ඇනුණා.
නස්රුදින් පුදුම වෙලා අර මිනිහා දිහා බැලුවා. මිනිහා ඈත යනවා, පස්ස නොබලාම. නස්රුදින් මිනිහ පසුපස එළවා ගෙන ගියා.
“ඔහොම නවතින්න! මං මේ ඔහේටයි කියන්නෙ. ඔහොම නවතින්න!” නස්රුදින් හති දා ගෙන ගිහින් මිනිහව අල්ලා ගත්තා. “හරියට හරි! ඔහේ නම් පේනකාරයෙක් තමයි! දැන් කියන්න මං මැරෙන වෙලාව. කවද්ද මං මැරෙන්නෙ?” නස්රුදින් ඒ මිනිහව අල්ලාගෙන බැගෑපත් වුණා.
“මං පේන කාරයෙක් නෙවෙයි, මං පේන දේයි කිව්වෙ. මට ඔහේ මැරෙන වෙලාව කියන්න බෑ. මේ දැන් වුනත් ඔහේ මැරිලා වැටෙන්න පුළුවන්!” ඒක ඇහුවා විතරයි නස්රුදින් එක පාරටම ඇද ගෙන වැටුණා. වැටිලා නිසොල්මනේ හිටියා. “කොහෙද යන පිස්සෙක්!” කියලා මිනිහා යන්න ගියා.
නස්රුදින් නිසොල්මනේම හිටියා. ඒ අතර නස්රුදින් ගෙදර ආවෙ නැති හින්දා ඔහු සොයා ගෙන ආ අසල්වාසීන් දුටුවා ඔහු නිසොල්මනේ වැටිලා ඉන්නවා. “නස්රුදින්! නස්රුදින්!” කියලා කතා කළා. නස්රුදින් උත්තර දුන්නෙ නැහැ. කිසි හැලහොල්මනක් නැතුව හිටියා.
ඉතින් නස්රුදින් මැරිලා කියලා හිතපු ඔවුන් ජනාසාවක (මිනී ගෙනියන මැස්සක) තියා ගෙන සොහොන් පිට්ටනිය අරන් ගියා. අතරමගදි හතර මං හන්දියක් හමු වුණා. එතෙන්දි ඔවුන් අතර වාදයක් ඇති වුණා. සොහොන් පිට්ටනියට යන කිට්ටුම පාර ගැනයි වාදය ඇති වුණේ. මිනිය කර තියා ගෙන ඔවුන් දිගටම වාද කරන්න පටන් ගත්තා.
ජනාසාව උඩ හිටපු නස්රුදින්ට මේ වාදෙ තවත් ඉවසන් ඉන්න බැරි වුණා. ජනාසාවෙන් හිස ඔසවලා බලපු නස්රුදින්, “මං පණ පිටින් ඉඳිද්දි වමට හැරිලයි ගියේ ඒ පාර කිට්ටුයි” කියා කිව්වා.

0 Comments