HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

මිනිසාට මරු කැඳවන ලොව බිහිසුණුම සතා කවරෙක්ද?

 

මිනිසාට මරු කැඳවන ලොව බිහිසුණුම සතා කවරෙක්ද? ඒ සිංහයා, කොටියා, වලසා, කිඹුලා, හෝ වන අලියා නොවෙයි; නයි පොළොංගු නොවෙයි. ලෝකයේ බිහිසුණුම නැතිනම් මිනිස් අපට මාරාන්තිකම සතා ලෙස සැලකෙන්නේ මදුරුවාය. මැලේරියා, බරවා, කහ උණ, සිකා, චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි වයිරස මදුරු දෂ්ටනයෙන් අපට බෝ වෙයි. මදුරුවන්ගෙන් පැතිරෙන මෙම වයිරස නිසා ලොව පුරා වාර්ෂිකව 725,000 කට අධික පිරිසකට දිවි අහිමි වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලොව පුරා වසරකට මිලියන 100 ත් 400 ත් අතර පිරිසකට ඩෙංගු වෛරසය ආසාදනය වෙයි. 20,000 ත් 40,000 ත් අතර පිරිසක් වාර්ෂිකව ඩෙංගු නිසා මරණයට පත් වෙති. පුංචි මදුරුවාගේ කෙරුවාව අපට ආගන්තුක නොවෙයි. මේ වන විට අපි ඩෙංගු වසංගත තත්වයකට මුහුණ දී සිටිමු. රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පීරි ගොස් ඇත. සංඛ්‍යා ලේඛන අනුව, මෙම ජූලි මාසය වෙද්දී ඩෙංගු රෝගීන් ගණන 77,000 පසු කර ඇත. මරණ 57 පසු කර ඇත. අමුතුවෙන් කිව යුතු නැත; මාරාන්තික ඩෙංගු වයිරසයෙන් බේරීමට, අවට පරිසරය පිරිසුදුව තබා ගැනීම වැදගත්ය. මදුරුවන් බෝ වීමට ඉඩක් නොතැබිය යුතුය. 

ඩෙංගු වයිරසයේ ප්‍රභේද 4 කි. එයින් අදහස් වන්නේ කෙනකුට අවස්ථා හතරකදී ඩෙංගු වයිරසය ආසාදනය වන බවය. ඩෙංවී-1 (ප්‍රභේදය 1) ඩෙංවී-2 (ප්‍රභේදය 2) ඩෙංවී-3 (ප්‍රභේදය 3) ඩෙංවී-4 (ප්‍රභේදය 4) ආදී වශයෙන් මෙම ප්‍රභේද නම් කර ඇත. මැලේසියාවෙන් ඩෙංවී-5 නමැති 5 වන ප්‍රභේදයක් ද සොයාගෙන ඇති මුත්, එය ප්‍රධාන වශයෙන් වඳුරන් අතර පමණක් ව්‍යාප්ත වන එකක් යැයි සියයට 100 ක් මේ වන විට තහවුරු වී ඇත. එබැවින්, මනුෂ්‍ය අපට බලපාන ඩෙංගු වයිරස ප්‍රභේද ඇත්තේ 4 ක් පමණි. යම් පුද්ගලයකුට ඩෙංවී-1 ප්‍රභේදය ආසාදනය වී සුවවුවහොත්, එම ප්‍රභේදයට (ඩෙංවී-1) එරෙහිව පමණක් ජීවිතාන්තය දක්වා ප්‍රතිශක්තිය ලැබෙයි. ඒත් එම පුද්ගලයාටම පසුව වෙනත් ප්‍රභේදයක් (උදාහරණයක් ලෙස ඩෙංවී-2 හෝ ඩෙංවී-3) ආසාදනය වූවහොත්, සිරුරේ ඇතිවන අධික ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියාව නිසා රෝගය අධික ලෙස උග්‍ර වීමේ සහ එය මාරක වීමේ අවදානම වැඩිය. ඩෙංවී-2 සහ ඩෙංවී-3 යන ප්‍රභේද, අප ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල උග්‍ර ඩෙංගු තත්ත්වයන් සහ සංකූලතා වැඩිපුර ඇති කිරීමට හේතු වන ප්‍රභේද ලෙස හඳුනාගෙන තිබේ. 

වෛද්‍ය විද්‍යාවේ එන්නත් නිෂ්පාදනය වඩාත්ම සාර්ථක වී ඇත්තේ වයිරස මගින් ඇතිවන ආසාදන පාලනය කිරීම සඳහාය. බැක්ටීරියා මගින් සිදුවන ආසාදන සඳහා ප්‍රතිජීවක භාවිත කළ හැකි වුවද, වයිරස සෘජුවම විනාශ කිරීමට ඖෂධ සොයා ගැනීම ඉතා අභියෝගාත්මක බැවින්, වයිරස රෝගවලින් ආරක්ෂා වීමට ඇති හොඳම සහ ප්‍රධානතම මාර්ගය වන්නේ එන්නත්කරණයයි. එන්නත් ලබා දෙන්නේ වයිරසය ආසාදනය වීමට පෙර, එය ආසාදනය නොවී සිටීමටය. ඩෙංගු වයිරස ප්‍රභේද ආසාදනය වීම වැළැක්වීමට හෝ එම ප්‍රභේද ආසාදනය වුවහොත්, මාරක සංකූලතා ඇතිවීම හෝ රෝහල්ගත වීම අවම කිරීමට ද ඩෙංගු මර්දන එන්නත් නිපදවා ඇත. ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීම සඳහා දැනට ලොව පුරා අනුමත කරන ලද ප්‍රධාන එන්නත් වර්ග දෙකක් පවතී. ඒ, ප්‍රංශ සැනෝෆි පාස්ටර් ඖෂධ නිෂ්පාදන සමාගම මගින් නිෂ්පාදිත ‘ඩෙංග්වැක්සියා’ සහ ජපානයේ තකේඩා ඖෂධ නිෂ්පාදන සමාගම මගින් නිෂ්පාදිත ‘කියුඩෙංගා’ නමැති එන්නත් දෙකය. වෙනත් ඕනෑම එන්නතක් මෙන්ම ඩෙංගු එන්නත්ද ලබා දෙන්නේ රෝගය වැළඳීමට පෙර සිදුකරන පූර්ව ආරක්ෂණ පියවරක් ලෙසය. රෝගය සක්‍රියව පවතින අවස්ථාවක මෙම එන්නත් ලබා නොදෙන අතර, යම් අයෙකුට ඩෙංගු වැළඳී සුව වූ පසුව නැවත වෙනත් ප්‍රභේදයකින් ආරක්ෂා වීම සඳහා එන්නත ලබා දිය හැකිය. 

‘ඩෙංග්වැක්සියා’ එන්නත ලබා දිය හැක්කේ පෙර ඩෙංගු වැළඳී ඇති බව රුධිර පරීක්ෂාවකින් තහවුරු වූ අයට පමණි. පෙර ඩෙංගු වැළඳී නොමැති අයකුට එය ලබා දී, එම තැනැත්තාට ඩෙංගු වයිරසය ආසාදනය වුවහොත්, එය මාරක විය හැකි බව පැවැසෙයි. කෙසේ නමුත්, දෙවන පරම්පරාවේ එන්නතක් වන ‘කියුඩෙංගා’ එන්නත එසේ නොවෙයි. දෙවන පරම්පරාවේ එන්නතක් යනු ජෛව තාක්ෂණය සහ ජාන ඉංජිනේරු විද්‍යාව භාවිතා කරමින්, වඩාත් ආරක්ෂිත සහ නිවැරදි ඉලක්කයකට අනුව නිෂ්පාදනය කරන ලද එන්නත් වර්ගයකි. ‘කියුඩෙංගා’ ප්‍රතිශක්තිකරණ එන්නත, පෙර ඩෙංගු වැළඳී ඇති සහ නොවැළඳුණු යන දෙපිරිසටම ලබා දිය හැකි වීම විශේෂත්වයකි. 

ඉන්දියාව ද වාර්ෂිකව ඩෙංගු වයිරසයෙන් බැට කන ආසියානු රටකි. ඉකුත් 20 වැනිදා ඩෙංගු වයිරසයට එරෙහිව, ජපානයේ ටකේඩා ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති, සායනික පර්යේෂණවලින් ද සාර්ථක බව පෙන්නුම් කළ ‘කියුඩෙංගා’ නමැති එන්නතට, ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවිය. ඒ අනුව, ‘කියුඩෙංගා’ එන්නත, ඉන්දීය වෙළඳපොළට නිකුත් කිරීම සිදුවනු ඇත. ඉන්දියාව, ඩෙංගු මර්දන එන්නතකට අනුමැතිය දුන් පළමු අවස්ථාව මෙයයි. අවුරුදු 4 ත් 60 ත් අතර ඕනෑම අයකුට මෙම එන්නත සුදුසු බව ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. 

මීට අමතරව, ඩෙංගු මර්දනය සඳහා සායනික අත්හදා බැලීම් රැසක් ලොව පුරා සිදුකෙරෙමින් පවතී. ‘කියුඩෙංගා’ එන්නත මගින් ඩෙංගු නිසා සිදුවන රෝහල්ගත වීම් සියයට 80 කින් පමණ පාලනය වන බව විශාල සායනික පරීක්ෂණ මගින් තහවුරු වී ඇත. ඊට අමතරව, ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය මගින් නිපදවා ඇති ටීවී003/ටීවී005 එන්නත සහ බෙල්ජියම කේන්ද්‍රකොටගත් ජැන්සෙන් ඖෂධ නිෂ්පාදන සමාගම මගින් අත්හදා බලන ජේඑන්ජේ-1802 නමැති ඩෙංගු නාශක ප්‍රතිවයිරස පෙති වර්ගය ද දැනට සායනික පරීක්ෂණවල අවසන් අදියරවල පවතී. ලෝක මට්ටමින් සලකා බැලීමේදී, ‘ඩෙංග්වැක්සියා’ එන්නත සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ඖෂධ පාලන අධිකාරිය, යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය අනුමැතිය දී අවසන්ය. ඊට අමතරව, මෙක්සිකෝව, පිලිපීනය සහ තායිලන්තය ඇතුළු රටවල් 20 කට වැඩි ප්‍රමාණයක් ද අනුමැතිය ලබා දී අවසන් බව පැවැසෙයි. ‘කියුඩෙංගා’ එන්නත සඳහා යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, බ්‍රසීලය, ඉන්දුනීසියාව, තායිලන්තය සහ සිංගප්පූරුව අනුමැතිය ලබා දී තිබේ. වසර 7 ක් තිස්සේ ලබාගත් පර්යේෂණ සිදු කිරීමෙන් පසු 2022 වසරේ දී පළමු වරට හඳුන්වා දුන් ‘කියුඩෙංගා’ එන්නත මේ වන විට ලොව පුරා රටවල් 43 ක අනුමත වී ඇති අතර, එන්නත් මාත්‍රා මිලියන 32 කට වඩා බෙදා හැර ඇතැයි ද පැවැසෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ඩෙංගු අධික ලෙස ව්‍යාප්ත වන කලාපවල වයස අවුරුදු 6 ත් 16 ත් අතර ළමුන් සඳහා ‘කියුඩෙංගා’ එන්නත භාවිත කිරීමට නිල වශයෙන් නිර්දේශ කර ඇත. ලේ උරා බොන්නේ ගැහැනු මදුරුවන් පමණක් වීම විශේෂ විද්‍යාත්මක හේතුවක් මත පදනම් වූවකි. ගැහැනු මදුරුවාට තම ශරීරය තුළ බිත්තර (ප්‍රජනන සෛල) සාර්ථකව වර්ධනය කර ගැනීම සඳහා විශාල ප්‍රෝටීන් සහ යකඩ ප්‍රමාණයක් අත්‍යවශ්‍ය වේ. ලේ යනු එම පෝෂ්‍ය පදාර්ථයන් ඉතා පහසුවෙන් සහ බහුලව ලබාගත හැකි ප්‍රධානතම මාධ්‍යයයි. එම නිසා ගැහැනු මදුරුවා ලේ බොන්නේ ස්වකීය පෝෂණය සඳහා නොව, මීළඟ පරම්පරාව බිහිකිරීමේ ප්‍රජනනික අවශ්‍යතාව නිසාය. පිරිමි මදුරුවා කිසි විටෙකත් ලේ බොන්නේ නැත. උන්ගේ මුඛ කොටස් සතුන්ගේ සම විද ලේ උරා බීමට හැකි වන සේ සකස් වී නොමැත. ඩෙංගු මදුරුවා යනු ප්‍රධාන වශයෙන් ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩීස් අල්බොපික්ටස් නමැති මදුරු විශේෂ දෙකය. චිකුන්ගුන්යා, සිකා, කහ උණ සහ මායාරෝ රිෆ්ට් වැලි නමැති වයිරස ද මනුෂ්‍ය අපට බෝ කරන්නේ මේ මදුරුවන්ය. 

ලුසිත ජයමාන්න 

ස්තුතිය - ලෝක සෞඛ්‍ය සංවිධානයට

අදහසක් පළ කරන්න

0 Comments