HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

ඇන්ටාක්ටිකාවෙන් හමුවුණු පළමුවන ඩයිනොසෝරයා රහස් හෙළිවෙයි

අපි යමු ඇන්ටාක්ටිකාව පැත්තට. ඇන්ටාක්ටිකාව කියලා කියන්නේ, පෘථිවියේ දකුණුම කෙළවරේ, ඒ එහෙමත් නැතිනම් දක්ෂිණ ධ්‍රැවය වටා පිහිටලා තියෙන ලොව පස්වන විශාලතම මහාද්වීපයයි. සම්පූර්ණයෙන්ම පාහේ (සියයට 98 ක් පමණ) කිලෝමීටරයකට වඩා ඝනකම ඇති අතිදැවැන්ත අයිස් තට්ටුවකින් වැසී පවතිනවා. මෙය පෘථිවිය මත පිහිටා ඇති වඩාත් ශීතලම, වියළිම සහ දැඩිම සුළං හමන මහාද්වීපය ලෙසයි සැලකෙන්නේ. කිසිදු ස්ථිර මිනිස් පදිංචියක් නොමැති මෙහි පවතින්නේ විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථාන කීපයක් පමණයි. පෙන්ගුවින් සතුන්, සීල් සහ විවිධ මුහුදු පක්ෂීන් මෙම කර්කශ පරිසරයට හුරු වී ජීවත් වෙනවා. ඒත් අතීතයේ, වසර බිලියන ගණනකට කලින්, අද ඇන්ටාක්ටිකාව යනුවෙන් අප හඳුන්වන මේ මහද්වීපය සම්පූර්ණයෙන්ම වෙනස් තැනක් වන්නට ඇත. 
ඇන්ටාක්ටිකාවෙන් හමු වූ පළමු ඩයිනසෝරයා කෘත්‍රිම බුද්ධිය තුළින්

ඔන්න දැන්, පොසිල විද්‍යාඥයන්, ඇන්ටාක්ටිකාවෙන් හමු වූ පළමු ඩයිනසෝරයා ගැන අනාවරණයක් කර තිබෙනවා. මේ අනාවරණය සිදු කර ඇත්තේ පොසිල අස්ථි කොටසකි. මේක කොඳු ඇට පෙළේ අස්ථි කොටසක්. හැබැයි මේ පොසිල කොටස හමුවෙලා තියෙන්නේ නම් අද ඊයේ නම් නොවෙයි. මීට වසර 40කට කලින්. විද්‍යාඥයන් මුලින් සිතුවේ පොසිල අස්ථි කොටස අතීතයේ ජීවත් වුණු සාගර උරගයෙකුගේ කොටසක් ලෙසයි. ඒත් නව තාක්ෂණය භාවිතයට ගනිමින් කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස, එම පොසිල අස්ථිය ඩයිනසෝරයකුගේ බව තහවුරු වුණා. එපමණක් නොවෙයි; ඇන්ටාක්ටිකාවෙන් හමු වූ මෙම ප්‍රථම ඩයිනසෝර පොසිලය, පෘථිවිය මත මෙතෙක් ජීවත් වූ යෝධතම සත්ව කණ්ඩායමකට අයත් එකක් බවත් තහවුරු කර ගැනුනා. මේ වනවිට පොසිල අස්ථි කොටස, ‘ටයිටනසෝරයකුට’ (Titanosaur) අයත් බව විද්‍යාඥයන් තහවුරු කරගෙන අවසන්. ටයිටනසෝරයන් යනු දිගු බෙල්ලක් සහිත 'සෝරොපෝඩාවන්' (Sauropods) කාණ්ඩයට අයත්, (ඒ කියන්නේ කකුල් හතරෙන්ම ගමන් කළ) ලොව මෙතෙක් ජීවත් වූ විශාලතම ගොඩබිම් ඩයිනසෝර විශේෂයකි. 

ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ පොසිල විද්‍යාඥ පෝල් බැරට් පවසන්නේ, බැලූ බැල්මට සාමාන්‍ය එකක් සේ පෙනෙන මෙම පොසිලය, ඇන්ටාක්ටික් ගවේෂණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි. මීට අවුරුදු ලක්ෂ ගණනකට ඉස්සර අපේ පෘථිවියේ ජීවත් වුණු ඩයිනසෝරයෝ වගේ සත්තු සහ එක එක ජාතියේ ගස්කොලන් අද අපිට දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ අයගේ අස්ථි කොටස්, දත්, කොළවල සලකුණු වගේම සත්තුන්ගේ පියසටහන් පවා ගල්, පස් සහ අයිස් තට්ටු අස්සේ හැංගිලා සුරක්ෂිතව ඉතිරි වෙලා තියෙනවා. අන්න ඒ විදිහට අතීතයේ ජීවත් වුණු සතුන්ගේ සහ ශාකවල ඉතිරි වුණු මේ සුවිශේෂී සාක්ෂිවලට තමයි විද්‍යාඥයෝ 'පොසිල' (නැත්නම් පාෂාණභූත අවශේෂ) කියලා කියන්නේ. මෙම සුවිශේෂී කොඳු ඇට පෙළ අස්ථි කොටස සහිත පොසිලය ප්‍රථම වරට සොයාගනු ලැබුවේ 1985 වසරේදීයි. ඒ, බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ භූ විද්‍යාඥයකු වන මයික් තොම්සන්, ජේම්ස් රොස් දූපතේ සිදු කළ ගවේෂණයකදීය. 

මෙම දූපත පිහිටා ඇත්තේ දකුණු ඇමෙරිකාව සහ ඇන්ටාක්ටිකාව වෙන් කරන ඩ්‍රේක් සමුද්‍ර සන්ධියට දකුණින්, ඇන්ටාක්ටික් අර්ධද්වීපයට ඔබ්බෙන්. එකල තාක්ෂණික සීමා සහ පොසිලයේ ස්වභාවය නිසා, විද්‍යාඥයන් සිතුවේ මෙය සාගරයේ ජීවත් වූ උරගයකුගේ ශේෂයක් කියාය. ඒත් නූතන විද්‍යාඥයන් විසින් ඉහළ විභේදන බලයකින් යුත් සී.ටී. ස්කෑන් (High-resolution CT scans) තාක්ෂණය භාවිත කරමින් මෙම පොසිලයේ අභ්‍යන්තර ව්‍යුහය පරීක්ෂා කිරීමෙන් පසුව, එය ගොඩබිම විසූ යෝධ ඩයිනසෝරයෙකුගේ බව නිශ්චිතවම හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා. පොසිලයට හිමිකම් කියන ඩයිනසෝරයා දිගින් අඩි 20ත් 23ත් (මීටර් 6-7) පමණ වූ බව ගණන් බලා තිබෙනවා. උපරිම වශයෙන් අඩි 123ක් (මීටර් 37.5) පමණ දිගට වැඩෙන අනෙකුත් ටයිටනසෝරයන් සමඟ සැසඳීමේදී මෙය ඉතා කුඩා ප්‍රමාණයක්. කෙසේ නමුත්, විද්‍යාඥයන් පවසන්නේ හමු වී ඇත්තේ කොඳු ඇට පෙළක කුඩා කොටසක් පමණක් බැවින්, සත්වයා නිවැරදිවම කුමන විශේෂයකට අයත් දැයි හඳුනා ගැනීම අපහසු බවයි. එමෙන්ම, මෙම ටයිටනසෝරයා මියයන විට තරුණ වියේ සිටි ඩයිනසෝරයකු වීමට ද බොහෝ දුරට ඉඩ තිබෙනවා. මෙම ටයිටනසෝරයා ජීවත් වී ඇත්තේ ක්‍රිටැසියස් යුගයේ (Cretaceous Period) එනම්, වසර මිලියන 143ක් සහ මිලියන 66ක් අතර කාලයේදීයි. 

වසර මිලියන 66කට පෙර මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපයට කඩා වැදුණු දැවැන්ත උල්කාපාතයෙන් වඳ වී යාමට පෙර, පෘථිවිය පාලනය කළ අවසන් පක්ෂි නොවන (Non-avian) ඩයිනසෝර පරපුරට මොවුන් අයත් වෙනවා. 
 අද වන විට ඇන්ටාක්ටිකාව යනු අයිස් සහ හිමෙන් වැසුණු අතිශය ශීතල මහාද්වීපයක්. කෙසේ නමුත්, මීට වසර මිලියන ගණනකට පෙර ටයිටනසෝරයන් ජීවත් වූ යුගයේදී මෙහි තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එකල ඇන්ටාක්ටිකාව දකුණු ඇමරිකානු මහාද්වීපයට සම්බන්ධ වී තිබූ අතර, එය ඝන සෞම්‍ය කලාපීය වනාන්තරවලින් (Temperate forests) ගහන වූ හරිත පැහැති දේශයක්. ලන්ඩන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ වාර්තාවලට අනුව, මෙම ඩයිනසෝරයන් පෘථිවියේ අන්ත දක්ෂිණ දෙසින් ජීවත් වූ බැවින්, ශීත ඍතු මාසවලදී ඔවුන්ට දිගුකාලීන අර්ධ අන්ධකාරයේ ජීවත් වීමට සිදු වන්න ඇත. එවැනි අභියෝගාත්මක පරිසරයක පවා මෙම යෝධ සතුන් ඉතා සාර්ථකව ජීවත් වී ඇති බව මෙයින් පැහැදිලි වෙනවා. මේ සොයාගැනීම නිසා ඩයිනසෝරයෝ ලෝකය පුරාම පැතිරිලා ගියේ කොහොමද කියලා තේරුම් ගන්න විද්‍යාඥයන්ට ලොකු උදව්වක් ලැබෙනවා. ඒ කාලේ දකුණු අර්ධගෝලයේ තිබුණු හැම මහාද්වීපයක්ම 'ගොන්ඩ්වානා' කියන එකම එක යෝධ මහාද්වීපයක් විදිහටයි එකතු වෙලා තිබිලා තියෙන්නේ. 

ඉතින් මේ ටයිටනසෝර පොසිලය ඇන්ටාක්ටිකාවෙන් හම්බුණු එකෙන් තේරෙන්නේ, මේ සත්තු ඒ කාලේ දකුණු ඇමරිකාවේ ඉඳන් නවසීලන්තයට යන්න ඇන්ටාක්ටිකාව හරහා පාලමකින් වගේ යන්න ඇති කියන එකයි. ඇත්තටම ඇන්ටාක්ටිකාවෙන් හම්බුණු එකම ඩයිනසෝරයා මෙයා විතරක් නෙවෙයි. මීට කලින් 2011 අවුරුද්දෙත් තවත් ටයිටනසෝර පොසිලයක් හම්බවෙලා තියෙනවා. ඒ වගේම පොඩි ශාකභක්ෂක සත්තු, සන්නාහයක් වගේ සිරුරක් ඇති 'ඇන්කිලෝසෝරස්' (Ankylosaurs) සහ කකුල් දෙකෙන් ගමන් කළ දරුණු විලෝපිකයෙක් වෙන 'ඉම්පෙරොබේටර්' (Imperobator) වැනි ඩයිනසෝරයන්ගේ පොසිලත් මේ වෙනකොට ඇන්ටාක්ටිකාව ආසන්නයෙන් සොයාගෙන තිබෙනවා. ඒ හැමෝම එදා ඇන්ටාක්ටිකාවේ තිබුණු කැලෑවල එකට තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඇන්ටාක්ටිකාවේ ඉස්සර පරිසරය මොන වගේද කියලා විද්‍යාඥයෝ මේ වෙනකොට කරුණු හොයමින් හිටියත්, තවමත් හොයාගන්න ඕන රහස් ගොඩක් තියෙනවා. හැබැයි දැන් ලෝකයේ දේශගුණය වෙනස් වීම නිසා ඇන්ටාක්ටිකාවේ තියෙන අයිස් තට්ටු දියවෙන්න පටන් අරන් නේ. ඉතින් විද්‍යාඥයෝ හිතන්නේ අයිස් තට්ටු දිය වෙද්දි, ඉස්සර කාලේ සැඟවිලා තිබුණු තවත් ගොඩක් ඩයිනසෝර පොසිල වගේම ඒ කාලේ ජීවීන් ගැන තවත් අලුත් සාක්ෂි ඉස්සරහට මතු වෙයි කියලායි. 

 ලුසිත ජයමාන්න 

බීබීසී ඇසුරිනි

අදහසක් පළ කරන්න

0 Comments